මිසිස් ශ්‍රී ලංකා යුනිවර්ස් - 2023

අගෝස්තු 15, 2022

 

ඉන්ටෙලිජන්ට් හා ටැලෙන්ට් කිරුළු දිනූ ටීෂා ප්‍රනාන්දු

 

බුද්ධිමත්ම කාන්තාව වීම තමයි මගේ අම්මට දෙන්න පුළුවන් හොඳම තෑග්ග.

පසුගිය දා නිමාව දුටු " මිසිස් ශ්‍රී ලංකා යුනිවර්ස් - 2023" තරගාවලියේ " මිසිස් ඉන්ටෙලිජන්ට්" සහ " මිසිස් ටැලන්ට්" කිරුළු දෙකම හිමි කර ගත්තේ එක් වාසනාවන්තියකි. ඇය ටිෂා දිනිති ප්‍රනාන්දු. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක ලෙසින් කටයුතු කරන ටිෂා ආදරණීය බිරියක්. ඒ වගේම සෙනෙහෙබර මවක්.

 

සුවහසක් දූ දරුවන්ට දැනුම බෙදාලන ආචාර්යවරියක ලෙසින් සිය වෘත්තිය නිසිලෙස ඉටු කරන අතරතුරේ මවක, බිරියක ලෙසින් ද ඈ තම භූමිකාව හරි අපූරුවට රඟ දක්වන්නීය. ඒ සියලු කටයුතු අතරතුර තම දක්ෂතාව, හැකියාව, කැපවීම මත හිමි වූ මේ ජයග්‍රහණය පිළිබඳ ඈ සතු වන්නේ නිහතමානී ආඩම්බරයකි.

 

වෘත්තීය ජීවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේ වගකීම් රැසක් ඉටු කරන කාර්යබහුල කාන්තාවක් වූ ඔබට මේ ජයග්‍රහණය ගැන පවසන්නට බොහෝ දේ ඇති.

" ඇත්තටම මට මේ ජයග්‍රහණයන් පිළිබඳ තියෙන්නෙ නිහතමානී සතුටක්. කාන්තාවක් විදිහට මගේ දක්ෂතාවන් ඉදිරිපත් කරමින් ලබාගත් ජයග්‍රහණයක් නිසා ඒ සතුට වඩාත් දැනෙනවා. ඒ වගේම තමයි මේ තරගයට ඉදිරිපත් වුණේ මගේ සැමියාගේ සහ මගේ මවගේ දැඩි ඉල්ලීම මත.

විශේෂයෙන්ම මගේ අම්මා තමයි සාර්ථක ගැහැනියක් ලෙසින් මේ තරම් දුරක් මාව රැගෙන ආවේ. ඉතින් " මිසිස් ඉන්ටෙලිජන්ට්" වීම ඒ කියන්නෙ බුද්ධිමත්ම කාන්තාව වීම තමයි මගේ අම්මට දෙන්න පුළුවන් හොඳම තෑග්ග."

 

මේ තරගාවලියේ දී ඔබට තවත් කිරුළක් හිමි වුණා

" ඔව්. මිසිස් ටැලන්ට් විදිහට තේරුණෙත් මමයි. ඒ සඳහා මේ තරගයේ දී අප සතු විවිධ කුසලතාවන් තමයි ඉදිරිපත් කරන්න තිබුණේ. එහිදී මම උඩරට වාගේම පහතරට නර්තනයක්, බෙර වාදනයක් සහ දැල්වූ ගිනි සහිත පන්දම් උපයෝගී කරගෙන ගිනි සිසිල සංදර්ශනයක් පැවැත්වූවා. ඇත්තටම ඒ වාගේම හොඳ ඉදිරිපත් කිරීමකට මට ගුරුහරුකම් ලබා දුන් ලක්ෂිත පීරිස් සහ ශාලිකා කෞශල්‍යාට මගේ ස්තූතිය මේ අවස්ථාවේ පිරිනැමිය යුතුමයි. "

 

ඔබ වෘත්තියෙන් ආචාර්යවරියක්.

" ඔව්, විවෘත විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්යවරියක්. ඒ නිසා තරුණ සිසු පිරිසක් සමඟ තමයි නිරතුරුවම කටයුතු කරන්නේ. එයත් හේතුවක් වෙන්න ඇති මේ ඉන්ටෙලිජන්ට් කිරුළ දිනාගන්න. ඊට අමතරව විවෘත විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යා උපාධියත්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය සහ පශ්චාද් (අධ්‍යාපන) උපාධියත් හිමි කරගෙන තියෙනවා."

 

ඔබ ආදරණීය බිරියක්. මවක්. ඒ වාගේම රැකියාවක නියුතු කාන්තාවක්. මේ සියලු කටයුතු අතරතුරේ මෙවැනි තරගයකට ඉදිරිපත් වීම අභියෝගයක් වුණේ නැතිද?

" ඇත්තටම කිව්වොත් මම අභියෝගවලට හරිම කැමැති ගැහැනියක්. ඒ වගේම තමයි කාලය කළමනාකරණය කරගෙන හැමදේම උපරිම හොඳට සිදු කරන්න උත්සාහ දරනවා. මගේ දරුවන් තුන්දෙනාම තාම පුංචි වයසේ. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු, ගෙදර දොරේ වැඩ, රැකියාවේ වගකීම්, නෑ හිත මිතුරන් අතර පවතින සබඳකම් මේ සියල්ලම සමබරව කරගෙන යන්න නම් අපි කාලය උපරිමයෙන් කළමනාකරණය කරගත යුතුමයි. නිවෙසේ වැඩට උදව් කරන්න අය නෑ. අපේ වැඩ අපිම කරනවා. සැමියා ඒ සඳහා මට විශාල සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම මගේ දරුවන්ට කුඩා කාලයේ සිටම ඔවුන්ගේ කටයුතු කරගැනීමට හුරු කරනවා. එවිට ඔවුන් හරිම ස්වාධීනයි. තව කෙනකුට බරක් වෙන්නෙ නැහැ."

 

එය අපේ අම්මලාට දෙන පණිවුඩයක් වාගෙයි.

" මම හැමදාමත් හිතනවා ගැහැනු හෝ පිරිමි දරුවන් වේවා තමන්ගේ කටයුතු තමන්ට හැකි ආකාරයට කරගත යුතුයි කියන කාරණය. අම්මලා ඒ විදිහට ඔවුන් සමාජගත කරනවා නම් ඔවුන්ගෙන් සමාජයට බරක් නැහැ.

ඒ වාගේම පවුලක් තුළ ගැහැනු, පිරිමි දෙදෙනාම ගැටලුවක් ආ විට සුහදව සාකච්ඡා කිරීම තුළින් එය දුර දිග යාම වළක්වා ගත හැකියි කියලා මම විශ්වාස කරනවා. අර කතාවටත් කියනවානේ " නිය පොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න තියා ගන්න එපා." කියලා. එවිට අපේ මේ සමාජයේ තියෙන විවාහක පවුල් තුළ පවතින ගැටලු බොහොමයක් විසඳා ගත හැකියි කියලත් මම හිතනවා."

 

මේ ගමනේදී ඔබට ශක්තියක් සැපයූ අය ගැනත් සඳහන් කළ යුතුයි නේද?

ඇත්තටම ඔව්. විශේෂයෙන්ම කියන්න ඕනේ අම්මා, අයියා, අක්කා, මල්ලි ඇතුළු මගේ පවුල පුංචි කාලේ ඉඳන්ම මගේ ශක්තිය එයාලා. ඊට පස්සෙ මගේ සැමියා ඩිලාන්. මේ ලෝකයේ සිටින හොඳම සැමියා තමයි මට හිමිවෙලා තියෙන්නෙ කියලා මම හැමදාමත් හිතනවා. ඒ වගේම මගේ සැමියාගේ මව. ඇය කවදාවත් සාම්ප්‍රදායික නැන්දම්මෙක් වුණේ නෑ. අපි හොඳ යාළුවෝ වාගෙයි. ඇයගෙන් සහ පවුලේ හැමදෙනාගේම ලැබෙන සහයෝගය නිසා තමයි මේ හැමදේම උපරිමයෙන් කරන්න හැකියාව ලැබුණේ.

ඊට අමතරව මම ඉගෙනගත් පානදුර ශ්‍රී සුමංගල බාලිකාවත්, වැලිපිටිය ශ්‍රී චන්ද්‍රමුනි දහම් පාසලත් කවදාවත් අමතක කරන්න බෑ. කුඩා කල පටන් ලැබුණු ඒ විනය, ශික්ෂණය, කුසලතා වැඩි දියුණු කිරීම වාගේ දේවල් නිසා තමයි අපේ ජීවිත මේ තරම් සාර්ථක වුණේ."