මෝස්තර කියන්නේ පාට විතරක්ම නෙවෙයි

මෝස්තර නිර්මාණ ශිල්පී ප්‍රනීත් රණවීර
දෙසැම්බර් 12, 2022

 

රූපලාවණ්‍යයට, කලාවට, විශේෂ අවස්ථාවන්ට වගේම සාමාන්‍ය ජීවිතයටත් විලාසිතාව එක සේ බලපානවා. මේ ඕනෑම අවස්ථාවකට තමාට ගැළපෙනම විලාසිතාව තෝරා දෙන්නත්, ගැළපෙන මෝස්තර නිර්මාණය කර දෙන්න්නෙත් මෝස්තර නිර්මාණ ශිල්පයට හැකියාව තියෙනවා.

 

වර්තමානයේ මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රය තුළ තම නාමය නොවෙනස් සන්නාමයක් සේ රඳවා තබාගෙන සිටින මෝස්තර නිමැවුම්කරුවෙක් තමයි ප්‍රනීත් රණවීර. ප්‍රනීත් රණවීර ඩිසයිනර් වෙයාර් නාමය ඕනෑම ක්ෂේත්‍රයක් තුළ නිතර ඇහෙන සන්නාමයක්. තරුණියන් සුන්දර ලියන් කරන, තරුණයන්ගේ කඩවසම් බව ඔප්නැංවෙන ආකාරයට මෝස්තර නිර්මාණය කරන ඔහු සමඟයි මේ කතාබහ.

 

මේ දවස්වල ක්ෂේත්‍රයේ වැඩ කටයුතු මොනවාද?

මේ දවස්වල සුපුරුදු විදිහට බාර ගත් මංගල උත්සවවල ඇඳුම් නිර්මාණය කරගෙන යනවා. පසුගිය දවස්වල නම් බියුටි පැජන්ට් කිහිපයක වැඩ කටයුතුවලට සහභාගි වුණා. දැන්නම් ඒ කටයුතු අවසන්.

ඇත්තටම කවුද මේ ප්‍රනීත් කියන්නේ?

මම වෘත්තියෙන් මෝස්තර නිර්මාණ ශිල්පියෙක්. ලංකාවේ තිබෙන බොහෝ රියැලිටි ප්‍රෝග්‍රෑම්ස්වල බොහෝ කලාකරුවන්ගේ වෙඩින් සහ ඇඳුම් නිර්මාණ මගේ අතින් කෙරෙන්නේ. ඒ වගේම මම කලා කටයුතුවලටත් සම්බන්ධ වෙනවා. සචිත්‍ර රාහුබද්‍රගේ පාසල, නාඩගම සහ ඔහුගේ තවත් වේදිකා නාට්‍ය කිහිපයකට සම්බන්ධ වෙලා හිටියා. ඒ වගේම සිරස සහ දෙරණ නාලිකාවල විකාශය වූ ඉන්දියන් ටෙලිනාට්‍ය කිහිපයක හඬකැවීම් ශිල්පියකු ලෙසත් කටයුතු කළා. රූපවාහිනී, මුතුහර, ළමාපිටිය වැඩසටහන්වලට සම්බන්ධ වෙලා හිටපු නිසයි කලාවෙන් ද ඉස්සරහට යන්න හැකි වුණේ. ජාතික රූපවාහිනී අභ්‍යාසස ආයතනයේ ළමා පුවත් නියෝජිතයෙක් විදිහටත් කුඩා කාලයේ කටයුතු කළා.

ඇයි ෆැෂන් ඩිසයිනර් වැනි ක්ෂේත්‍රයක් තෝරා ගන්න හිතුවේ?

මගේ ආච්චි අම්මා මැහුම් ටීචර් කෙනෙක්. පොඩි කාලේ ඉඳලම මම ඒ දේවල් දැක්කා. ඉතින් පොඩි කාලෙදිමයි ඒ ආසාව හැකියාව ආවේ. මගේ පාසල මාතර තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලය. මම ඉගෙන ගත්තේ විද්‍යාව අංශයෙන්. ඒත් මගේ ඩිග්‍රි එක කළේ ෆැෂන් ඩිසයිනින්. ඉන්දියාවේදී තමයි ඩිග්‍රි එක කළේ.

පාසල් කාලෙදි මගේ මිතුරන් මගෙන් තමයි අහන්නේ ඇඳුමක් තෝරා ගනිද්දි ඒක ගැළපෙනවද කියලා. ඉතින් ඒ කාලෙ ඉඳලම මට ඒ හැකියාව තිබුණා. අද මම ප්‍රනීත් රණවීර ඩිසයිනර් වෙයාර් නමින් මගෙම ව්‍යාපාරයක් කරගෙන යනවා. ;

 

මේ ක්ෂේත්‍රයෙන් ලබාගෙන තියෙන ජයග්‍රහණ මොනවාද?

Mrs Sri Lan¼ha World 2021 Offical Designer Sri Lanka Next Top Model 2021 Oficial Designer, Mr And Miss Teen Sri Lanka 2021 Official Designer හිරු අවුරුදු කුමරා, කුමරිය නිල මෝස්තර නිර්මාණකරු 2022 මීට අමතරව සමස්ත ලංකා සහයෝගිතා පදනමෙන් දේශ ශක්ති ලංකා පුත්‍ර මෝස්තර නිර්මාණ කලාසූරී කියන ගෞරව නාමයත් ලබා ගන්න හැකි වුණා.

 

තමන්ගේ අතින් හැඩ ගැන්වුණ අයගේ ලස්සන දකිද්දී, මොකද හිතෙන්නේ?

මම කරන වෘත්තියට ඇත්තටම කෙනෙක්ව ලස්සන කරන්න පුළුවන්. කෙනෙක්ගේ ලස්සන දකින්න පුළුවන් ක්ෂේත්‍රයක්. හැබැයි කෙනෙක්ව ලස්සන කරන්න වගේම ලස්සන දකින්නත් හැමෝටම බැහැ. ඒක බොහොම හිත හොඳින් හිත පිරිසුදුව කරන්න ඕන දෙයක්. මමත් ලස්සනට අඳින්න කැමැති කෙනෙක්.

 

ලංකාවේ මෝස්තර නිර්මාණකරුවෙක්ට තියෙන තැන කොහොමද?

ඉස්සර නම් ෆැෂන් ඩිසයිනර් කෙනෙක් කිව්වම ලොකු පිළිගැනීමක් තිබුණේ නැහැ. ඒත් දැන් ඒ පිළිගැනීම තියෙනවා. තමන්ගේ වෙඩින් එක හරි ඉවෙන්ට් එකකට සූදානම් වෙද්දි හැම කෙනාම වගේ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් තෝර ගන්න පෙලඹිලා ඉන්නවා. මොකද ඒ කෙනාගෙන් අදහස් අරගෙන තමයි තමන්ගේ ඇඳුම නිර්මාණය කර ගන්නේ. ගොඩක් වෙලාවට මිස් ශ්‍රී ලංකා ටොප් මොඩ්ල්, මිසිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා, මිසිස් යුනිවර්ස් මිස්ට ඇන්ඩ් මිසිස් ශ්‍රී ලංකා වගේ පැජන්ඩ් ලංකාවේ තියෙනවා. ඒ හැම පැජන්ට් එකකම ඔෆීෂියල් ෆැෂන් ඩිසයිනර් විදිහට මම තමයි වැඩ කරන්නේ.

 

ලංකාවේ තරුණ පරපුර වැඩි කැමැත්තක් දක්වන්නේ මොන වගේ ෆැෂන්වලට ද?

ඉස්සරට වඩා තරුණ පරපුර ෆැෂන් ගැන ලොකු උනන්දුවක් දක්වනවා. ගොඩක් වෙලාවට Smart Casual පැත්තට යන්න තමයි එයාලා කැමැති. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ට ගැළපෙන හරිම ඇඳුම තෝරාගන්න තේරෙන්නේ නැති එක. ඉතින් ගැළපෙනම දේ තෝරගත්තොත් පෙනුමට ලොකු වටිනාකමක් එකතු කරගන්න පුළුවන්.

 

මෝස්තර නිර්මාණ ශිල්පියා සහ ටේලර් අතර තිබෙන වෙනස මොකක්ද?

ටේලර් කෙනෙක් කරන්නේ අපි දෙන මෝස්තරය මහලා දෙන එක. නමුත් මෝස්තර නිර්මාණ ශිල්පියෙක් කියන්නේ තව නිර්මාණයක් කරන කෙනෙක්. ශරීරයේ හැඩය, සමේ පැහැය වගේ හැමදේම සැලකිල්ලට අරගෙන ඒකට ගැළපෙන නිර්මාණයක් කරන්න මෝස්තර නිර්මාණ ශිල්පියකුට හැකියාව තිබෙන්න ඕනෑ. හැබැයි මෝස්තර නිර්මාණ ශිල්පියකුටත් අනිවාර්යයෙන්ම ඇඳුම් මැසීමේ හැකියාව තිබිය යුතු යි.

 

මොනවද ඔබේ ඉදිරි වැඩකටයුතු?

මගේ කළුබෝවිල ෂොප් එක වගේම ලන්ඩන්වලත් ෂොප් එකක් දාලා තියෙනවා දුලංජලී අලහප්පෙරුම අක්කා එක්ක. ලංකාවේ තවත් ශාඛා කිහිපයක්ම විවෘත කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.