සුරතලෙක් රැගෙන ඒමට පෙර සිතිය යුතු දේවල්

අගෝස්තු 8, 2022

 

සුරතල් සතුන්ට අපි හැමෝම ආසයි. ආදරෙයි. නිවෙසක සුරතල් සතකු ඇති කිරීම වර්තමානයේ ට්‍රෙන්ඩ් එකක් වෙලා. ඒත් එහෙමයි කියලා කොහේ හරි ඉන්න සුරතල් සතකු නිවෙසට ගෙනත් ඇති කිරීම නම් හරි ක්‍රමයක් නොවෙයි. ඒ නිසා සුරතලෙක් නිවෙසේ ඇති දැඩි කිරීම ගැන නම් වරක් දෙවරක් නොව කිහිපවරක්ම හිතන්න වෙනවා. අද අපි බලමු සුරතලෙක් ගෙදරට ගේන්න කලින් දැනගත යුතු ඉතා වැදගත් කරුණු මොනවාද කියලා.

 

කාලය තිබේද?

ඔබ දන්නවාද පුංචි සුරතලෙක් ගෙදරට ගෙන ආවිට එයාට හොඳ අවධානයක් ලබා දෙන්න ඕනෙ. ඔබ නො සිතුවාට එයාලටත් පාළුව කාන්සිය දැනෙනවා. එබැවින් දවසේ පැය 1/2ක කාලයක්වත් මේ පුංචි සුරතලා හුරතල් කිරීම අනිවාර්යය වෙනවා. ඒ තුළින් සුරතලා තම මවගෙන් වෙන්වීමේ දුක හෝ අලුත් පරිසරයට යොමු වීමේ දුක හෝ අලුත් පරිසරයට යොමු වීමේ කාන්සිය මඟින් ඇතිවන මානසික ආතතිය පහවී යනවා. එවිට හොඳ ජවසම්පන්න ගතියකින් සුරතලා ඔබේ නිවෙසේ ඇති දැඩි වෙනවා. එබැවින් පුංචි සුරතලකු ඔබේ ගෙදරට ගේන්න කලින් එයා වෙනුවෙන් ඔබට අවධානය දෙන්න කාලය තිබේද කියලා සිතා බලන්න.

 

කෑම වට්ටෝරුව

දෙවැනි වැදගත් කාරණාව තමයි එයාගෙ කෑම වට්ටෝරුව. පුංචි බලු පැටියකුට අඩුම තරමේ දිනකට කෑම වෙල් 5ක් වත් අත්‍යවශ්‍යයයි. ඒවා ඔබට හිතුණ හිතුණ ලෙසින් දෙන්නත් බැහැ. කිසිදාක බිමට කෑම දෙන්නත් එපා. එමඟින් සුරතලාට කෑම කෙරෙහි ඇති රුචිකත්වය නැති වී යනවා. ඒ විතරක් නෙවෙයි සෞඛ්‍ය ආරක්ෂිත බවටත් තර්ජනයක්. ජලයත් සැලකිය යුතු ප්‍රමාණයක් ලබා දිය යුතුයි. එයත් පුංචි පිරිසුදු භාජනයකට දිය යුතු වේ.

 

කෑම දෙන්නේ සීමාවකටයි

මේ ලෙසින් කෑම බීම දෙනවාට අමතරව ඔබලා මෙයාලට හිතු හිතු ලෙස නැවත නැවත ආහාර දෙන්න පටන් ගත්තොත් එයාල නම් කෑම කයි. ඒත් ඒකෙන් ඔයාලට අප්‍රසන්න අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ තමයි වත්ත සහ ගේ පුරාවට එයා එයාගෙ කැත කුණු දාලා හැමතැනම අපවිත්‍ර කිරීම. එහෙම වුණොත් ඉතා ඉක්මනින් ඔයාලට එයාව එපා වේවි. ඉතිං මේ කාරණාව ගැනත් හොඳින් සිතා කටයුතු කළොත් තමයි සුරතලාගේ නීරෝගිකම වගේම ඔබට එයාව තවදුරටත් නිවෙසේ රඳවා ගැනීමට ආසාවක්, ආදරයක් ඇති වෙන්නේ.

 

ව්‍යායාම හා පිරිසුදුකම

තුන්වැනි කාරණාව තමයි මේ සුරතල් බලු පැටියාට ව්‍යායාම කිරීමට සහයෝගය ලබා දෙන්න ඕනේ. ඒ කටයුත්ත නම් අනිවාර්යයි. වැඩි ආයුෂක් ලබා දීමට ව්‍යායාම අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙනුත් ඔබ කාලය වෙන් කරගන්න අමතක කරන්න එපා.

හතරවැන්න තමයි පවිත්‍රතාවය, මඩගා ගැනීම, කෙළ ගා ගැනීම, නිතර නිතර සිදු කර ගන්නවා. ඉතිං එයාලව පිරිසුදු කර නඩත්තුව මැනවින් ලබා දෙන්නත් ඕනෙමයි. නැතිනම් මේ සුරතලා ජරා වුණොත් ඔබටම එපා වේවි. එබැවින් එයාලගේ පිරිසුදු කිරීමේ කටයුතු ඉතාමත් ක්‍රමවත්ව කාලසටහනකට සිදු කරන්නට අමතක කරන්න එපා.

 

පුහුණුව

ගේජ් ට්‍රේනිං කියන දේ ඊළඟට ඉතාමත් වැදගත්. එයින් එයා ඉගෙන ගන්නවා එයාට අයිති තැන, අයිති නිවහන මෙයයි කියලා. ඒ හුරුව නම් ලබා දෙන්නම ඕනේ. එම පරිසරයට සුරතලා හුරුවීම මඟින් ඔබේ නිවහන හැඩිවන, අපිරිසුදු වන එකත් වැළකෙනවා. එමෙන්ම වෙනත් බඩු මුට්ටු අදින එක වැනි කරදරවලිනුත් අත් මිදෙන්නට හැකියි.

මේ කරුණු කාරණා ඔබේ සුරතලාගේ යහපැවැත්මට වගේම සුරතලාව ඔබට ආදරණීය වන්නට ඉතාම වැදගත් වේවි.

 

උපදෙස්

පශූ වෛද්‍ය

නුවන් වික්‍රමසිංහ

Dr. pet Hospital