වාණිජමය ප්‍රයෝජනයක් ගත හැකි අඩු වියදම් නිවාස සැලසුමක්

අප්‍රේල් 21, 2021

 

අලුත් අවුරුද්ද තරමක් සංකීර්ණයි. එක් පැත්තකින් කොරෝනා වසංගතය. අනෙක් පසින් ආර්ථික අපහසුතා. මේ දෙකෙන්ම ගොඩ එන්න අපට විශාල අරගලයක් කරන්න සිද්ධ වෙලා.

සමහරු අලුත් බලාපොරොත්තු, නැවුම් සිතුවිලි සමඟ මේ අවුරුද්දේ ජීවිතය වෙනස් කරන්න සිතනවා. ඒ සිතුවිලි අතර තමුන්ටම කියා සිහින නිවහනක් තනා ගැනීමත් තිබෙනවා.

හැබැයි තමුන්ගේ ආර්ථික ගැටලු හා ජීවන අරගලයට දෙකටම ගැළපෙන ලෙසින් නිවහනක් තනා ගන්න තිබුණොත් තමයි වඩාත් වටින්නේ. තමුන්ටම කියා නිවහනකුයි ආර්ථිකයට පුංචි ශක්තියකුයි වෙන්න පුළුවන් නම් මේ කාලේ එය කොයි තරම් වටිනවාද?

ඒ නිසාම නිවෙසක සැලසුම නිර්මාණය කිරීමට පෙර ඉඩමේ පිහිටීමත්, ප්‍රමාණයත් සේවා දායකයාගේ අවශ්‍යතාවයත් මැනවින් ග්‍රහණය කර ගැනීම දක්ෂ නිර්මාණ ශිල්පියකුගේ හැකියාවයි. විශේෂයෙන්ම නාගරික ප්‍රදේශයක නිවෙසක් තැනීමේදී එයින් වානිජ ප්‍රයෝජනයක් ද තිබීම විශාල වාසියකි. ඒ සඳහා තම නිවෙස නිර්මාණය කිරීමේදීම සැලසුම් කළ යුතුය.

ඔබ මෙහි දකින සැලසුම ද එවැන්නකි. මෙය පර්චස් 7 ක් පමණ වූ ඉඩමකි. එම ඉඩ සීමාව තුළ ව්‍යාපාරික කටයුත්තකට ද ඉඩ වෙන්කර ගැනීම තරමක අභියෝගයකි. එම අභියෝගය ජය ගැනීම සඳහා මෙම නිර්මාණ සැලසුමට තාක්ෂණික උපක්‍රම කිහිපයක් අනුගමනය කර ඇත්තේ් ඉතාම සූක්ෂම ලෙසිනි.

මෙහි එක් සීීමාවක විශාල රථගාලකි. එය රථ දෙකක් පමණ නවතා තැබිය හැකි වෙයි. විශේෂයෙන් නාගරික ප්‍රදේශක රථ වාහන නවතා තැබීමට විශේෂිත ස්ථානයක් තිබීම වැදගත්ම පියවරකි. ඉතිරි කොටස් සියල්ලම සාමාන්‍ය නිවෙසක අයුරින් නිර්මාණය වී ඇත්තේ ඉතාම සරල ආකාරයෙනි.

නිවෙසේ ඉදිරි සීමාව තුළ L හැඩයට නිර්මාණය වූ වැරැන්ඩාවක් වෙයි. මෙම වැරැන්ඩාවෙහි නිවෙසට ඇතුළු වූ පසුව කුඩා සාලයකි. එයට අමතරව නිදන කාමර දෙකක් මෙහි දක්නට ඇත. එම කාමර දෙක අතුරින් පැන්ට්‍රියකි. නාන කාමරය ඇත්තේ පසුපස වූ කාමරයට ඉදිරියෙනි.

අප දැන් පිවිසෙන්නේ ඉහළ මහලටය. එය සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගැනීම වෙනුවට විශාල ප්‍රමාණයක් හිස් අවකාශය ඉතිරිවන ලෙසින් නිර්මාණ්‍ය කර ඇත්තේ තනි කාමරයක් පමණක් පිහිටන ආකාරයටය. එහි දිගු ලොබියක් ද වෙයි. එසේම එක් කොටසක් තරමක් විශාල ටෙරසයකි. පසුපස සීීමාව සම්පූර්ණයෙන්ම වහළයකින් ආවරණය කර තිබේ.

මේ සැලසුම විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ සේවාදායකයාගේ ආර්ථිකයට ගැළපෙන අයුරින් නිම කළ හැකි ලෙසිනි. සේවාදායකයාගේ මූලික අවශ්‍යතාව වී ඇත්තේ නිවෙසේ පහළ කොටස ප්‍රයෝජනයට ගැනීමය. ඒ අනුව නිර්මාණය වූ මෙහි පහත මහලේ ඉඩ ප්‍රමාණය වැඩි වශයෙන් ප්‍රයෝජනවත් ආකාරයට සකස් කර ඉහළ මහල කුලී පදනම මත වෙනත් අයකුට ප්‍රයෝජනයට ගත හැකි අයුරින් සකස් කර ඇත්තේ් අවම වියදමකිනි.

ඔබට ද මෙවැනි නිවාස සැලසුමකින් ලබාගත හැකි ආදර්ශයන් කිහිපයකි. ප්‍රධාන වශයෙන් නිවෙසින් තවත් ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගැනීමට හැකි ලෙසින් නිර්මාණයයි. දෙවැන්න ඔබට මුදල් විශාල වශයෙන් වැය කිරිමට නොහැකි නම් පසු කාලීනව සැලසුම් වෙනස් කිරීමේ අපේක්ෂාවෙන් පහත මහල පමණක් වැඩි වශයෙන් ප්‍රයෝජනයක් ගත හැකි අයුරින් සැලසුම් කිරීමය. මේ සියලු දේ අවධානයට ගනිමින් නිර්මාණ ශිල්පියා මෙය සකස් කර දීමට හැකියාව ලැබී ඇත්තේ සේවා දායකයාගේ අවශ්‍යතාව හා සීමාව මැනවින් අවබෝධ කර ගැනීමෙනි.

 

 

 

උපදෙස්

කැදැල්ල හෝම්ස්හි අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය

මහින්ද ඒකනායක