නිරෝගී පැළයක් හඳුනා ගන්නේ කෙසේද?

අප්‍රේල් 4, 2022

 

ගෙඋයනත් නිවෙස ඇතුළතත් අලංකාර කරගන්නට උපකාරීවන ඇන්තූරියම් ශාකය මනරම් මල් නිසාම කා අතරත් ජනප්‍රියයි. මේ සුන්දර මල් කුමරිය තම නිවෙසට කැඳවාගෙන ආවත් එය නිසියාකාරයෙන් නඩත්තු කරන්නට බොහොමයක් දෙනා දැනුවත් නැහැ. ඒ වගේම ස්වයං රැකියාවක් ලෙස ඇන්තූරියම් වගාව අරඹන වැඩි පිරිසකට ද මේ වගාව පිළිබඳ නිසි අවබෝධයක් නැත. ඒ නිසාම මේ සියලුදෙනා විවිධ ගැටලුවලට නිරන්තරවම මුහුණ දෙති.

නිසි අවබෝධයකින් වගා කළෝතින් හොඳ ආදායමක් උපයා ගත හැකි ඇන්තූරියම් වගාව පිළිබඳ අපේ මේ දැනුවත් කිරීම ඔබ සියලු දෙනා සඳහාමයි. ගිය සතියේ අපි පඳුරු, කට් කළ හැකි පැළ හා මව් ශාක හඳුනාගත් අතර මේ සතියේ දී අපේ විග්‍රහය නිරෝගී ඇන්තූරියම් පැළයක් හඳුනා ගන්නා ආකාරය පිළිබඳයි.

කොළ, දලු, මුල් ආදිය නිරෝගී සාරවත් කුඩා පැළයක දැකිය හැකියි. එම පැළය ගසක් ලෙස නිරෝගීව වැඩෙන විට කොළ, දලු හා මුල්වලට අමතරව පොහොට්ටු හා මල් දැකිය හැකියි. එමෙන්ම ශාකය වයසට අනුව උස ගිහින් තිබිය යුතුයි. අවම වශයෙන් කොළ තුනක් සහ එක් දල්ලක් සහිත වීම, ඒ කොළ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වීම හා කුණු නොවූ මුල් පැළයක් තෝරාගැනීමේ දී සැලිකිල්ල දැක්විය යුත කරුණුය.

ඇන්තූරියම් වගාව සඳහා නිරෝගී පැළ යොදා ගැනීම වගාවේ ගුණාත්මකභාවයට සෘජුව බලපායි. ඒ නිසා රෝග කාරකවලින් තොර, මනා වර්ධන වේගයක් සහිත, නිරෝගී මූල පද්ධතියක් සහිත, පත්‍ර නියමිත කොළ පැහැයෙන් යුතු ශාක නිරෝගී ශාක ලෙස දැක්විය හැකියි.

එමෙන්ම මුල් පද්ධතියේ මුල් කුණුවීමේ සහ කළු වීම්වලින් තොර කිරි මුල් සහිත වීම වඩාත් සුදුසු වේ. පත්‍රවල වයිරස්, පළිබෝධ සහ කෘමි හානි රහිත වීම සහ ප්‍රබෝධවත්ව පැවතීම වැදගත් වෙයි. ඊට අමතරව පත්‍ර නියමිත ලෙස බෙදී වෙන්වී පැවැත්ම, පත්‍ර මනා කොළ පැහැයෙන් යුතු වීම, ශාකය නියමිත වර්ධන වේගය පෙන්වීම, කොළ කොඩවීම් ආදියෙන් තොර වීම, විශේෂයෙන් මයිටා වැනි කෘමී හානියෙන් තොර වීම දැක්විය හැකියි. කඩා හැළුණු පත්‍ර, කොළ කොඩ වී තිබීම, කහ පැහැ වී තිබීම, අව්වට පිලිස්සී ගියාක් වැනි පෙනුම, කළු හෝ දුඹුරු පැහැති කැළැල් කොළ මත තිබීම ආදිය නිරෝගී පැළයක් නොවන බවට ලක්ෂණ වේ. ඒ නිසා ඔබ මිලදී ගැනීමට හෝ විකිණීමට අපේක්ෂා කරන පැළ හෝ ශාක රෝග ලක්ෂණ රහිත වීම වඩාත් වැදගත් වෙයි.

ඉහත ලක්ෂණ ගැන දැනුවත් නම් නීරෝගී ඇන්තූරියම් ශාකයක් කුඩා කාලයේ දී ම හඳුනා ගත හැකියි. ඒවායේ හොඳින් කඳ ඉස්සී නීරෝගී පත්‍ර සමඟ පොහොට්ටු ද පීදේ. නමුත් එසේ කුඩා කාලයේ එන පොහොට්ටු නිසා ශාකයේ වර්ධනය බාල වෙයි. ඒ නිසා පොහොට්ටුව කඩා දැමීමෙන් ශාකය නීරෝගීව සාර්ථක ලෙස හදාගත හැකියි.

උපදෙස් - මාතලේ යෝ ෆ්ලවර්ස් හිමිකරු යොහාන් මීගහගේ