ඇඟලුම් ආරක්ෂාකාරීව ගබඩා කරන්නේ කොහොම ද?

ජුනි 6, 2022

 

පසුගිය සතියේ අපි ප්‍රවේශයක් ලබා ගත්තේ ඇඟලුම් ක්ෂේත්‍රයේ දී ප්‍රමුඛතම අමුද්‍රව්‍යය වන 'රෙදි' පිළිබඳ කතිකාවතටයි. රෙදි තෝරා ගැනීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු රැසක් පිළිබඳ අවබෝධය මේ වන විට ඔබට ලැබී තිබෙනවා. ව්‍යාපාරයක් ලෙසින් පමණක් නොව, පාරිභෝගිකයකු වශයෙන් රෙදි හෝ ඇඟලුම් මිලට ගැනීමේ දී මෙම දැනුම අනිවාර්යයෙන්ම ඉවහල් වෙනවා. ඔබ වෙළෙඳපොළට ඉදිරිපත් කරන නිෂ්පාදනයක් වේවා, මිලදී ගනු ලබන්නක් වේවා,  එය උසස් ප්‍රමිතියෙන් යුතුව සැපයීමට සහ මිලදී ගැනීමට කටයුතු කිරීමෙන් අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු වෙනවා.

 

ඉහත දෙආකාරයෙන් කවරකු හෝ වේවා මිලදී ගත් රෙදිපිළි, ඇඟලුම් ආරක්ෂාකාරීව ගබඩා කිරීමත් හරිම වැදගත් කාරණයක්. වැඩි කාලයක් ප්‍රවේසම් කර ගැනීම තමයි මෙහි මූලික පරමාර්ථය.

 

තෙත්ව ගබඩා කළොත්

මෙය තරමක් සංකීර්ණ ක්‍රියාවලියක්. ඔබ අත්දැකීමෙන් ම දන්නවා, වියළි ඇඳුමකට වතුර බිඳුවක් හෝ වැටී තිබිය දී අසුරා තැබුවහොත් පුස් කන බව. අඳින ලද ඇඳුමක් දහඩිය පිටින් දින දෙක තුනක් නොසෝදා තැබුවහොත් පුස් කනු ලබනවා. එසේම අසුරා තබන ලද රෙදිපිළීවලට යම් ලෙසකින් සිරිකඩ වැදීමකින් හෝ තෙතමනය ඇල්ලුවහොත් පුස්කෑම පමණක් නොව වර්ණ වෙනස්වීම පවා සිදුවිය හැකියි. නිතර පාවිච්චි කරන ඇඳුම් සෝදා පිරිසුදු කිරීමෙන් පසුව තද අව්වේ වියළා ගැනීම තුළින් ද වර්ණ වියැකී යාම සිදුවෙනවා.

එසේම අසුරා ඇති ඇඳුම්, රෙදිපිළී දිගු කාලයක් භාවිතයට නොගෙන තිබෙන විට නැවුම් දාර දුර්වර්ණවීම සිදුවිය හැකියි.

 

හානිකර සතුන්

එසේම සතුන් මඟින් සිදුවිය හැකි බලපෑම ද කිසිසේත් අමතක කරන්නට බැහැ. එහිදී හානිකර කෘමීන් අතරින්,

* කුහුඹුවන්

* වේයන්

* මීයන්

* කාවුන්

* කැරපොත්තන්

ඉදිරියෙන් ම සිටිනවා. රෙදිපිළී කා දැමීම, සිදුරු කිරීම සහ අපවිත්‍රවීම මොවුන් වෙතින් සිදුවෙනවා.

නිවෙසක වුවද ඇඳුම් අසුරා තැබීමේ දී එක් එක් සාමාජිකයාට වෙනම අල්මාරියක් සහ කාමරයක් තිබේ නම් වඩාත් උචිතයි. නමුත් ලංකාවේ පවතින ආර්ථික මට්ටම නිසා බහුතරයක් පවුල් සඳහා මෙවැනි පෞද්ගලිකත්වයක් පවත්වාගෙන යාමේ හැකියාවක් නැහැ. එකම අල්මාරියක් දෙදෙනකු භාවිත කරනවා නම් තට්ටු හෝ වෙන් කර ගන්න. අල්මාරි ඇත්තේම නැත්නම් පෙට්ටියක් හෝ ඒ සඳහා යොදා ගන්න. කවරක් හෝ වේවා නිදන කාමරයේ මෙය තබා ගැනීම වැදගත්. (වෙන් වශයෙන් තබා පොදු සාලයක් මිස එකදු කාමරයක් හෝ නොමැති නිවාස දහස් ගණනක් තිබෙනවා.)

 

පත්තර පිටු එපා

අල්මාරියක් තිබෙනවා නම් තට්ටු මත පත්තර කඩදාසි අතුරන්නට එපා. ඒ සඳහා සෝදා හොඳින් වේළා ගත් පරණ රෙදි යොදා ගන්න. ඔබට වෙනම අල්මාරියක් තිබෙනවා නම් ඇඳුම්වල වර්ණ අනුව තට්ටු වෙන් කර ගන්න. ස්කර්ට් සහ ජීන්ස් සඳහා වෙනම තට්ටුවක් ද, බ්ලවුස්, ටී ෂර්ට් සඳහා වෙනම තට්ටුවක් ද සකස් කරගන්න. එසේම එක ගොඩේ මේ වර්ග දෙකම නොදමා, තට්ටුව දෙකට බෙදා ස්කර්ට් වෙනමත්, ජීන්ස් වෙනමත් එකම තට්ටුවේ දෙපස අසුරන්න. මෙලෙස කිරීමෙන් ඇඳුම් ගැළපීමේ දී විශාල පහසුවක් අත්වෙනවා.

මෙසේ අසුරන ලද ඇඳුම් අතර පරණ රෙදිවල දැවටූ කපුරු බෝල, කරාබු නැටි, (මඳක් තළන ලද) වියළි සැවැන්දරා මුල් තැබීමෙන් කාවුන් සහ කුහුඹු ආක්‍රමණයෙන් ගැළවීමට මෙන් ම රෙදිවලට සුවඳක් ද එක්කර ගැනීමට හැකියාව ලැබෙනවා.

 

පැල්ලම්

දිරාපත් නොවූ හොඳ ඇඳුමක බාහිර කරුණක් හේතුවෙන් සුළු ඉරීමක් ඇති වූ විටෙක විගසින් පිළිසකර කර ගන්නට අමතක කරන්නට එපා. පැල්ලම් වැටුණු විගසම ඒවා ඉවත් කර ගැනීමට කටයුතු කිරීමත් කළ යුතුම දෙයක්. තීන්ත, ඉඳුල්, මඩ ආදී දෙයකින් පැල්ලමක් ඇතිවූ සැණින් පිරිසුදු ජලයෙන් පැල්ලම හැකි උපරිමයකට බොඳ කර හරින්න. නිවෙසට ගිය විගසම ඇඳුම සෝදා පැල්ලමේ ඉතිරිය ඉවත් කර ගන්න.

නිතර භාවිත නොවන විශේෂ අවස්ථා සඳහා අඳින ඇඳුම් සහ ඇඳ ඇතිරිලි, පොරෝනා, කොට්ට උර, තුවා ආදිය සති තුන හතරකට වරක් පිටතට ගෙන මඳ වේලාවක් අව්වේ දමා නිවුණු පසු නමා අසුරන්න. මෙමඟින් කාලයක් යාමේ දී ඇතිවන දැරීමට අපහසු වියළි ගන්ධය මඟහැරීමට හැකි වෙනවා.

 

 

උපදෙස් - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී

එරංග රණසිංහ

ඔයාමා ෆැෂන්ස් සහ ග්‍රැෆික්ස්