ගෘහ ආර්ථික විද්‍යාව විෂයයක් පමණක් නොවේ සෑම කාන්තාවකටම වැදගත්

ගෘහණියගේ දැනුම යාවත්කාලීන විය යුතුයි
ජූලි 11, 2022

 

අපි සියලු දෙනා නිරන්තරයෙන් වෙනස් වන සමාජයක ජීවත් වන්නෙමු. ඒ නිසා විවිධ සමාජ ප්‍රවාහයන්ට මුහුණ දීමට සිදු වේ. ඒ සඳහා සූදානම් වීම අත්‍යවශ්‍ය කරුණකි.

අපේ අධ්‍යාපන ක්‍රමය යටතේ "ගෘහ ආර්ථික විද්‍යාව" ලෙසින් විෂයයක් හඳුන්වා දෙයි. එය කැමැති අයට පමණක් තෝරා ගත හැකියි. එසේම ගැහැනු දරුවන් පමණක් හදාරන විෂයයක් ලෙස ද ප්‍රචලිතයි. එහෙත් එය එසේ විය යුතු නොවෙයි. පෙරදාටත් වඩා මේ විෂයයෙහි වටිනාකම වර්තමානයේ හොඳින්ම දැනී තිබේ.

ඇත්තෙන්ම මේ අපි ගෙවන්නේ සංක්‍රාන්ති සමයක් කියලත් සිතේ. එබැවින් අපි අපේ පවුල ආරක්ෂා කර ගත යුත්තෙමු. මේ අර්බුදකාරී වාතාවරණය තුළ පවුලේ සාමාජිකයන්ගේ කායික, මානසික, ආර්ථික, සමාජයීය අවශ්‍යතා පවුල තුළදීම සංතෘප්ත කිරීමට මව, පියා, වැඩිහිටියන් ක්‍රියා කළ යුතුය. මේ දැනුම ගෘහ ආර්ථික විද්‍යාව තුළ හරි අපූරුවට අන්තර්ගතව තිබේ. දැනුම් සම්භාරයක් ලබා ගැනීමට කොයි කවුරුත් වයස් භේදයකින් තොරව මේ විෂයය හැදෑරීමට අවස්ථාව ලබා ගන්නේ නම් ඉතා අනගිය.

ගෘහ ආර්ථික විද්‍යාව ඔබ හොඳින් හැදෑරුවහොත් එය ස්වයං රැකියා ආරම්භ කිරීමටත්, අමතර ආදායම් ඉපැයීමටත් ආර්ථිකය සංවර්ධනයටත් බෙහෙවින් උපකාරි වේ. සීඝ්‍රයෙන් ඉහළ යන ආහාර මිල හමුවේ මන්දපෝෂණයෙන් මිදී අපගේ දරු පැටවුන්ට, පවුලේ අයට විවිධ පෝෂණ අවශ්‍යතා ඇති අයට පෝෂණය ලබා දෙන්නේ කෙසේද? නාගරිකව ජීවත්වන අයට මෙය මහත් ගැටලුවක් වන නමුත් නුවණැසින් විමසා බලා සහනයක් සපයා ගත හැකියි.

ග්‍රාමීය අයට මේ පවත්නා උග්‍ර අර්බුදය හමුවේ කළ හැකි දේවල් මොනවාදැයි විමසා බලමු.

මුළුතැන්ගෙය තුළ කටයුතු කිරීමේ දී අරපිරිමැස්මෙන් කටයුතු කිරීමේ මූලික වගකීම පැවරෙන්නේ ගෘහණියටයි. නැතිනම් මවටයි. සැමියාටත් මෙහි වගකීම නැතුවා නොවෙයි. ඔබ දෙදෙනාම සමගියෙන් එක්ව මේ කටයුතු සිදු කිරීම තුළ ප්‍රසන්න පවුල් පරිසරයක් ඉබේම ඇති වේ. මුලින්ම මුළුතැන්ගෙය කළමනාකරණය කර ගැනීම කළ යුතුය. ඔබට තියෙන මුළුතැන්ගෙය කොහොම එකක් වුවද එය පිරිසුදුව පිළිවෙළකට තබාගන්න. ඒ සඳහා පොඩි කාලයක් වෙන් කර ගත හැකියි. එසේ නො වුණ කල ඉඳුල් වතුර රැඳි භාජන, අළු පිරී අපවිත්‍ර වී ඇති ළිප, දින ගණනක් පිරිසුදු නො කළ පිඟන්, කෝප්ප, මුළුතැන්ගෙයි ඇති කුණු මුල්ල ඔබේ නිවෙසටම මැස්සන්, මදුරුවන්, කුහුඹුවන්, කැරපොත්තන්, මීයන් වැනි සතුන් බෝ කරන තෝතැන්නක් වේවි.

බෙහෙත් අර්බුද, තෙල් අර්බුද ඇති මේ කාලයේ දරුවන් එසැණින් රෝහලට ගෙන යා නොහැකියි. ඒ නිසා වැඩිහිටියකුට ද ඖෂධයක් කරා යොමුවිය නො හැකියි. ඉතින් ඔබ, ඔබේ ආදරණීයයන් ආරක්ෂා කර ගත නොවෙයිද? මුළුතැන්ගෙයි ආහාර ආරක්ෂිතව ගබඩා කරගන්න. ඉක්මනින් නරක් වන ආහාර වර්ග මුලින් සකසා පිළියෙල කරගන්න. කුළුබඩු බෝතල් ටික ලේබල් කරගන්න. නිසිතැන උපකරණ සහ මෙවලම් අසුරාගන්න. පාවිච්චියෙන් පසු සෝදා පිරිසුදු කර අදාළ බඳුන් නියමිත ස්ථානයේ තබන්න. 5s ක්‍රමය ඔබ අසා ඇති. ජපන් රට දියුණු වූයේ මේ 5s සංකල්පයටයි. එය ඔබත් අත්හදා බලන්න. වෙනස ඔබටම අත්විඳිය හැකියි. ගෑස් හිඟ මේ කාලයේ විකල්ප ළිපක් භාවිතයට හුරුවන්න. නිවෙස ආසන්නයේ ලී මෝලක් වේ නම් කැපී ඉවතට යන ලී කුඩු, දහයියා ඉන්ධන ලෙස භාවිත කරමින් කුඩා ළිපක් සාදා ගන්න. ළිප ගිනි මෙලවීමට භූමිතෙල් යොදන පුරුද්දක් අපේ ඇතැම් ගෘහණියන් ට තියෙනවා. එයින් හැකිතාක් ඉක්මනින් අත් මිදෙන්න. ඒ වෙනුවට වියළා ගත් පොල් කටු, ලී කුඩු, වියළි තණකොළ, ශාක පත්‍ර, ඉවතලන කඩදාසි යොදා ගන්න පුළුවන්. තවද පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය පරිදි ප්‍රමාණවත් පරිදි පමණක් ආහාර පිස ගැනීමට හුරුවන්න. ඉතිරි වෙන්න ආහාර පිසින්න එපා. රාත්‍රියේ පිසූ බත් ඉතිරි වූ දවසක පසුවදාට දිය බතක් හදාගන්නත් අමතක කරන්න එපා. අපගේ මුතුන් මිත්තන් ආහාර සංරක්ෂණය කර ගත්තේ මේ ආකාරයටයි. ඔවුන් වස විසෙන් තොර පෝෂ්‍යදායි ආහාර අනුභව කළ අයයි. එබැවින් එකළ දැන් පවතින බෝ නොවන රෝගවලින් පීඩා විඳින අය සිටියේ නැත. ඒ දැනුම මුළුතැන්ගෙය තුළින් නැවත යාවත්කාලීන කරන්න ආදරණීය ගෘහණියකට හැකියි. එය එසේ කළ යුතුම කාලය දැන් එළැඹී ඇත.

 

 

උපදෙස් -

ශාස්ත්‍රවේදී උපාධි, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා,

පශ්චාත් උපාධි අධ්‍යාපනපති (පේරාදෙණිය විශ්වවිද්‍යාලය)

හඟුරන්කෙත කලාප අධ්‍යාපන කාර්යාලයේ උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශ සම්පත්දායිකා

එච්.එම්. ඉන්ද්‍රානි විජය බණ්ඩාර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.