සාර්ථකත්වය ක්ෂණිකව ලැබිය හැකිද?

මැයි 5, 2021

 

ක්ෂණික නූඩ්ල්ස්, ක්ෂණික තේ, ක්ෂණික ආහාර වර්ග අද අපේ සමාජයේ ජනප්‍රිය වී තිබේ. ක්ෂණික බව රැල්ලක් වී අපේ තරුණ පරපුර එහි ගසාගෙන යයි. මේ රැල්ල, කාලය සමඟ කරන අරගලයක අතුරු ප්‍රතිඵලයකි. ක්ෂණිකව කළ හැකි දේ ඇති බව සැබෑවකි. එමෙන්ම ක්ෂණිකව කළ නොහැකි දේ ද ඇති බව එයටත් වඩා සත්‍යයට ළං වූවකි.

බොහොමයක් ක්ෂණික ආහාර අපේ සෞඛ්‍යයට එතරම් හිතකර නොවන බව අද වන විට සොයාගෙන ඇත. එමෙන්ම වැඩ පහසු කිරීම සඳහා සකසා ඇති උපකරණ ආදියෙන් ක්ෂණිකව වැඩ කිරීමට හැකියාව ඇත.

එහෙත් අධ්‍යාපනය ලැබීම, දරුවෙක් මව් කුස වැඩෙන කාලය, පැළයක් වර්ධනය වී මලක්, ගෙඩියක් හැදීමට ගතවන කාලය ආදිය මේ ක්ෂණික බවට අදාළ නොවේ.

අපේ බොහෝ තරුණ පිරිසට සාර්ථකත්වය, දියුණුව අවශ්‍ය වන්නේ ද මේ ක්ෂණික බවෙන් යුතුවයි. එහෙත් සාර්ථකත්වය හෝ දියුණුව එක් රැයකින් හෝ දිනකින් ලබා ගත හැකි ද?

බොහෝ දුර යාමට නම් හෙමින් ගමන යා යුතුය. ඊඩඥපඥ ඪඵ දධ ඵඩධපබජභබ ටධප ඵභජජඵඵඥඵ ලෙසින් වටිනා කියමනක් ඇත. එය මෙයට හොඳින් ම ගැළපෙන්නකි. එහි අර්ථය වන්නේ සාර්ථකත්වයට කෙටි මං මාවත් නැත යන්නයි.

ඕනෑම ක්ෂේත්‍රයක සාර්ථකත්වය ළඟාකර ගත් පුද්ගලයන්ගේ සාර්ථකත්වය කරා පැමිණි ගමන දෙස බැලීමේ දී පැහැදිලි වන එක් කරුණක් වන්නේ ඔවුන් පියවරෙන් පියවර සාර්ථකත්වයේ කඳු මුදුනට ළඟා වූ බවයි. එමනිසා ක්ෂණික සාර්ථකත්වයක් බලාපොරොත්තු වන තරුණ පිරිසට දීමට හැකි උපදෙස වන්නේ එක රැයකින් හිනි මඟේ ඉහළට ම නැඟීමට බලාපොරොත්තු තබා නොගන්නා ලෙසයි.

එක් රැයකින් ඔබගේ ව්‍යාපාරය පුදුමාකාරයේ සාර්ථකත්වයක් ලබා ගන්නා බව සිතන්නට එපා. එය ලෝකයේ පවතින ස්වාභාවික නීතියට ද පටහැනි ය. සොබාදහමේ නීතිය කුමක්දැයි ඔබ සිතාවි. අප එය මෙලෙසින් වටහා ගනිමු.

වගාවක් සාර්ථකව කිරීමට අවශ්‍ය නම් ඔබ පළමුවෙන් ම කළ යුත්තේ සාරවත් පසක් ඇති භූමියක් සොයා ගැනීමයි. මේ සරු භූමියේ වල් ගලවා, පස බුරුල්කර, ගල් ඉවත්කර භූමිය බීජ වැපිරීම සඳහා සුදුසු ලෙස සකස් කළ යුතුයි. ඉන් පසුව නිසි කල් යල් බලා බීජ වැපිරීම සිදු කළ යුතුය. එය පමණක් ප්‍රමාණවත් ද? නැත.

ඔබ එය රැකිය යුතුය. ඒ සඳහා කෘමි උවදුරුවලින් වගාව ආරක්ෂා කළ යුතුය. වෙන්නට ඇති උවදුරුවලින් හා හානිවලින් වළක්වා ගත යුතුය. එපමණක් ප්‍රමාණවත් ද? නැත.

නිසි කලට වේලාවට ජලය, පොහොර ආදිය යෙදිය යුතුය. කුඩා පැළ වර්ධනය වන කාලයේ දී එහි ඇති වල් ගැලවිය යුතුය.

ඇතැම් විට එම පැළවලට අවශ්‍ය වන ආධාරක ඉනි සිටුවිය යුතුය. ඒවා රැකිය යුතුය. ඉන් කලකට පසුව ඔබට අස්වැන්න ලැබිය හැකියි. එය තමයි ප්‍රතිඵලය.

මෙය වගාවකට පමණක් නොව, ව්‍යාපාරයකට, රැකියාවකට පවා එලෙසින් කැප කිරීම් කළ යුතුය. ඔබට රැකියාවෙන් සාර්ථක වීමට නම් ඉවසීම තිබිය යුතුය. නිසි දෙය කරමින් එහි සාර්ථකත්වය ලැබෙන තෙක් දරා සිටීමට හා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් කටයුතු කිරීමට මේ ඉවසීම අත්‍යවශ්‍ය සාධකයකි.

ව්‍යාපාරයකින් සාර්ථක වීමට ද මේ ආකාරයට ම ඉවසිය යුතුය. ඔබට ව්‍යාපාරයකින් සාර්ථක වීමට නම් ගොවියා නිසි කල එන තෙක් ඉවසා සිටි ආකාරයට ම ගස් උස්මහත් වී වර්ධනය වූ පසු එහි ඵලදාව නෙළා ගන්නා සේ ව්‍යාපාරය ද සාර්ථකත්වය ළඟා කරගන්නා තෙක් ඉවසිය යුතුය. මේ නිසා තරුණ පිරිස ක්ෂණික සාර්ථකත්වයක් ළඟාකර ගැනීමට ඇති ආශාව අතහැර ගත යුතුය.

තරුණ තරුණියන් ක්ෂණික සාර්ථකත්වයක් ගැන බලාපොරොත්තු තබා ගන්නේ ඇයි? මේ ගැන විමසීමේ දී පෙනී යන කරුණක් වන්නේ ඔවුන් අනෙක් පුද්ගලයන් දෙස බැලූ විට එම පුද්ගලයන් ජීවත් වන ආකාරය, භාවිත කරන වාහන, පරිහරණය කරන දුරකථනය, සුඛෝපභෝගී භාණ්ඩ දුටු විට හැකි තරම් ඉක්මනින් තමාට ද එම දේවල් ලබා ගත යුතු යැයි සිතීමට පටන් ගනී.

නමුත් ඔවුන් නොදකින දේ වන්නේ එම පුද්ගලයන් එම සාර්ථකත්වය ළඟාකර ගැනීමට සිදු කළ උත්සාහය, කළ කැපකිරීම් හා එයට පෙර එම පුද්ගලයන් සිටි තත්ත්වය යි.

උදාහරණයක් ලෙස ගතහොත් ඔබේ ප්‍රධානියා කලකට පෙර දැනට සිටින තත්ත්වයට ඒමට මත්තෙන් ඔබ මෙන්ම ගත කළ කාලයක් ඇත. දුක් මහන්සි වී වැඩ කළ කාලයක් ඇත. කැප කිරීම් කළ කාලයක්, ඇතැම් විට ඔබටත් වඩා අපහසු ජීවිතයක් ගත කළ කාලයක් පවතී. ඒ වෙනුවෙන් අද ඔහුට ලැබී ඇති දේ වන්නේ අද තිබෙන නිලතල, සැප පහසුකම් හා ගත කරන ජීවිතයයි.

තවමත් ආධුනික මට්ටමේ සිටින ඔබ තව සතියකින්, මාසයකින් හෝ අවුරුද්දකින් ඔබේ ප්‍රධානියා මෙන් වීමට එම තත්ත්වයට පැමිණීමට සිතනවා නම් එය එතැනට පැමිණීමට ඔබ දක්වන ඉක්මන් කමයි. එය සාර්ථකත්වය ලබා ගන්නා නිවැරැදි ක්‍රමය නොවේ. ප්‍රධානියා වගේ වීමට නම් ඔබ ද ඔහු කළා හා සමාන කැප කිරීම් කිරීමට සිදු වේ.

ව්‍යාපාරිකයකු ඔබේ ආදර්ශය වන්නේ නම් ඔහු අද පරිහරණය කරන වාහනය, ගේ දොර, මිල මුදල්, ආදායම් දකින විට මම මෙවැනි ව්‍යාපාරිකයෙක් විය යුතු යැයි ඔබටත් සිතේවි. ඔබටත් එවැනි ව්‍යාපාරිකයෙක් වීමට හැකියාව ඇත. නමුත් ඔහු එතැනට ඒමට මත්තෙන් සිදු කළ කැප කිරීම් ද ඔබ සිදු කළ යුතුය.

එබැවින් ක්ෂණික සාර්ථකත්වයක් අපේක්ෂා කරන අය සිටියි නම් එවැනි සාර්ථකත්වයක් ලබා ගැනීමට අසීරු බව කිව යුතුය. කැප කිරීම් කරමින් ඉවසීමෙන් යුතුව සාර්ථකත්වය කරා ක්‍රමයෙන් පියවර තැබිය යුතුය. එම සාර්ථකත්වය දිගු කලක් රඳා පවතී.

 

උපදෙස්

ප්‍රවීණ දේශක

මොහාන් පල්ලියගුරු