සැමියාගේ ආදරය නැවත ලබාගන්න පුංචි පුංචි උපදෙස්

මැයි 5, 2021

 

මේ ජීවිත ගමනේදී එක් එක් අවස්ථා පසු කරමින් යන විට දී විවිධාකාර ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. එලෙස පවුල් ජීවිතයේ ගැටලු, දරුවන්ගේ ගැටලු, මානසික ගැටලු, අඹු සැමි ගැටලු ආදී විවිධාකාර වූ ගැටලුවලට නිසි විසඳුමක් සොයා ගත නොහැකිව පීඩා විදින්නන් බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි ගැටලුවලට විසඳුම් ලබා දෙන්න හොඳ උපදේශකයකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. පවුලෙන් ගිලිහුණු සතුට සමාදානය නැවත රැගෙන එන්න තරුණී නිරතුරුවම ඔබට සහයක් වනු ඇත. ලියන්න ඔබේ ගැටලුව තරුණීට. අප ඔබට ඉක්මන් විසඳුම් ලබා දෙන්නෙමු.

අපේ ලිපිනය

‘කියන්න බැරි දේ ලියන්න’,

තරුණී, ලේක්හවුස්,

කොළඹ - 10.

 

උපදෙස්

අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ

විශේෂඥ මනෝ වෛද්‍ය

කපිල රණසිංහ

 

 

ප්‍රශ්නය

32 හැවිරිදි මා දෙදරු මවක්. සැමියා රාජ්‍ය සේවකයෙකි. අප විවාහ වූයේ වසර 6 ක ප්‍රේම සම්බන්ධයකිනි. පෙම්වතුන්ව සිටි කාලයේදීත්, විවාහ වූ මුල් කාලයේ්ත් ඔහු මා සමඟ ඉතා ආදරයෙන් සිටියා. නිතර මා ගැන සොයා බැලුවා. දැන් පොඩි දේවල්වලට පවා මා සමඟ රණ්ඩු කරනවා.

අප ආදරය කරන කාලයේදී ඔහු දුන් පොරොන්දු මෙතෙක් ඉටුකර නැහැ. මා වෙනුවෙන් ඉටු කරනවා යැයි කියූ බොහෝ දේවල් ඔහුට අමතකව ගොසින්. ඒ දේවල් නිසා මට ද ඔහු සමඟ තරහක් ඇති වෙනවා. ඒවා ගැන විමසන සෑම විටම මට බැන වැදී මාව මඟහැර යනවා. මට දැනෙන්නේ ඔහු ද මා සමඟ ජීවත් වන්නේ සතුටකින් නොවන බවයි. තවත් මෙලෙස කාලයක් ගියහොත් මට පවුල් ජීවිතය එපා වෙලාම යාවි. අනෙක් සැමියන් තම බිරියට සලකන ආකාරය දෙස බැලූ විට මොහු ගැන ඇති වන්නේ තරහක්. මට අවශ්‍ය වන්නේ ඔහුගේ අවධානය, ආදරය මාහට ලබා ගැනීමටයි. මේ ගැටලුව විසඳා ගැනීමට උපදෙසක් ලබා දෙන්න.

කාංචනා - පිළියන්දල

 

පිළිතුර

දෙන්නා දෙමහල්ලන්ගේ රණ්ඩු කුස්සියෙ බත් හැළිය ඉදෙනකන් විතරයි කියලයි ඉස්සර කතාවට කිව්වෙ. හැබැයි සමහර ගෙවල්වල නම් බත් හැළිය ඉදිලා ඉවර වෙලා හැළිය හෝදනකනුත් රණ්ඩුව ඉවර වෙන්නේ නෑ. දෙන්න දෙමහල්ලෝ අවබෝධයකින් කටයුතු කළොත් බත් හැළිය ඉදෙන පරක්කුවට ප්‍රශ්න විසඳාගන්න පුළුවන්.

 

මඟහැර යන්න

කෙනෙක් එක්ක කේන්තියක් ඇති වුණාම ඒ කෙනාව පේනකොට ඒ කේන්තිය වැඩි වෙන එක සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. ඒක නිසා සැමියා එක්ක අමනාපයක් ඇති වුණා නම් තවත් ඔහු වටේ ගැවසි ගැවසි ඉන්නේ නැතුව පුළුවන් ඉක්මනට ඔහුව මඟහරින්න. ඒ කිව්වේ ගෙයින් එළියට බැහැල යන්න නම් නෙවෙයි. කුªස්සියට ගිහින් කෑමක් හදන්න නැත්නම් කාමරේට ගිහින් පොතක් කියවන්න. ඒ මුකුත්ම බැරිනම් ගිහින් හොඳට ටිකක් නිදාගන්න.

 

තව දුරටත් සිතීම නවත්වන්න

සැමියා එක්ක ඔබ අමනාපයෙන් නම් තවත් ඒ ගැන හිතන්න එපා. කේන්තිය ඇති කරවන සිතිවිලි හිතේ දිගින් දිගට ඇති වෙනකොට බොහෝ දුරට ඒක ඉවර වෙන්නේ රණ්ඩුවකින්. ඒ නිසා ඔබව අමනාපයට පත් කරපු දේ ගැන හිතන එක නවත්වන්න. ඒ වෙනුවට ඔබට පුළුවන් වෙන දෙයක් ගැන හිතන්න. ඔබ පාසල් යන කාලයේ වුණු රසවත් සිද්ධියක් ගැන වගේ ලස්සන මතකයකින් හිතේ තියෙන අමනාපය යටපත් කරගන්න ඔබට පුළුවන්.

 

සැමියාගේ අඩුපාඩු දැකීම නවත්වන්න

අමනාපයක් ඇති වුණාම ඔබ එක දිගට සැමියාගේ වැරැදි අඩුපාඩුකම් ගැන මතක් කරනවද? එහෙනම් ඒක ඉවර වෙන්නෙ රණ්ඩුවකින්. අනිත් වෙලාවට කෙසේ වෙතත් කේන්ති ගිය වෙලාවට නම් එය නොකළ යුතුම දෙයක්. ඊයේ, ගිය මාසෙ, ගිය අවුරුද්දේ වගේ සැමියා අතින් පෙර දී සිදු වු අඩුපාඩු එක දිගට මතක් කර ගැනීමෙන් සිදුවන්නේ අමනාපකම් වැඩි වීමයි. ඒ වෙනුවට වැරැදි පැත්තක තියලා සැමියා ඔබ වෙනුවෙන් කළ හොඳ දේවල් වගේම දෙන්නාගේ ආදරණීය මතකයන් මතක්කර ගන්න. ඒ වගේම වෙනත් අයගේ සැමියන් සමඟ ඔබේ සැමියාව සංසන්දනය කිරීමත් නවත්වන්න. හැම කෙනකුටම හැම දේම එක වගේ කරන්න බැහැ. වත්පොහොසත්කමින්, සිතුම් පැතුම්වලින් හැම දෙනාම විවිධාකාරයි. ඒ නිසා කළ හැකි, කළ නොහැකි දේ තිබිය හැකියි. ඔබේ සැමියාට කළ හැකි දේ් වෙනුවෙන් සතුටු වන ගමන් ඔහුව උනන්දු කරවන්න.

 

කේන්තිය අඩු කරගන්න

ලොකු අමනාපයක් ආපු වෙලාවක කට පියාගෙන නිහඬව ඉන්න එකෙන් රණ්ඩුවක් ඇතිවෙන්න තියෙන ඉඩ අඩු කරගන්න පුළුවන්. හැබැයි ඒකට ඔබට ලොකු ඉවසීමක් ඕනේ. සැමියා එක්ක කේන්ති ගිය වෙලාවට ලොකු හුස්මක් ගන්න. ඇස් පියාගෙන සියයේ ඉඳලා ආපස්සට (සීය, අනූනවය, අනූ අට, අනූහත ආදී වශයෙන්) ගණන් කරන්න. එය ඔබේ කේන්තිය අඩු කරගන්න පහසු කරයි.

හිතේ තියෙන ඔක්කොම කොළයක ලියන්න. හිතේ තියෙන සේරම කොළේක ලියලා ඉවර වුණාට පස්සේ කොළේ පුච්චලා දාන්න. එයින් සැනසීමක් දැනෙයි.

ඔහුගේ ආදරය, අවධානය දිනාගත හැක්කේ ඔබේ උත්සාහයෙන්ම පමණයි. ලස්සනට අඳින්න. කරුණාවන්ත ආදරණීය වචන පාවිච්චි කරන්න. ඔහු කැමැති රසවත් ආහාර සකසා දෙන්න. ඔබේ ආදරය ඔහුට දැනෙන විට ඔහුත් ඔබට පෙරලා ආදරය කරාවි. ඒ වගේම ඔහුගේ අවධානයත් ඔබ වෙතට ලැබේවි.