කසාදයට පෙර දැනුවත් වීම දික්කසාදය වළකාලයි

ජුනි 20, 2022

 

 

ආදරය මත හෝ යෝජනාවකින් දෙදෙනෙක් විවාහ වී එක මඟ යන්නට තීරණය කරති. නමුත් පසුකාලීනව විවිධ ගැටලු හා නො ගැළපීම් මත වෙන්වී යන්නට සිතන අවස්ථා ද වේ. එහෙත් විවාහය යනු විශ්වීය ගිවිසුමකි. එවන් ගිවිසුමක් විසිරුවා හැරීම කළ යුත්තේ නීත්‍යානුකූල ආකාරයටයි.

 

නීත්‍යානුකූල විවාහයක් අවසන් වන ආකාර දෙකක් සාමාන්‍ය විවාහ සහ දික්කසාද නීතිය යටතේ හඳුනා ගැනේ. එනම් කලාත්‍රයා මිය යෑම හෙවත් විවාහයේ එක් පාර්ශ්වයක් මිය යෑම හරහා විවාහය ස්වාභාවිකව අවසන් වීම එක් ආකාරයකි.

නීත්‍යානුකූල අධිකරණ නියෝගයක් හරහා විවාහය අවසන් කිරීම හෙවත් දික්කසාදය මඟින් විවාහය අවසන් වීම දෙවැනි ආකාරයයි. විවාහයක් දික්කසාදය මඟින් අවසන් කර ගැනීම පිළිබඳ දැනගත යුතු නීතිමය පසුබිමක් තිබේ.

 

දික්කසාදයක් ලබා ගත හැකි පදනම්

ශ්‍රී ලංකාවේ 1907 අංක 19 දරන සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ දහනව වැනි වගන්තිය අනුව විවාහයක් විසිරුවා හැරීම පිණිස පහත හේතු තුනෙන් එකක් ඔප්පු කළ යුතුය.

* විවාහයෙන් පසුව ඇතිකරගත් අනාචාරය

* ද්වේශ සහගත අතහැර යෑම

* සුවකළ නොහැකි ලිංගික

බෙලහීනතාව

සාමාන්‍ය විවාහ නීතිය යටතේ විවාහක යුවළකගේ ජීවිත කාලය තුළ ඉහත සඳහන් පදනම් මත දෙනු ලැබූ අධිකරණ තීන්දුවකින් හැර වලංගු විවාහයක් විසිරුවා හැරිය නො හැකි බව පිළිගනු ලබයි. මීට අමතරව අනුමත ද්වේශ සහගත අතහැර යෑම මත පදනම්ව දික්කසාද තීන්දුවක් ලබා ගැනීමට අහිංසක පාර්ශ්වයට හැකියාවක් ඇති බව අධිකරණ තීන්දු මඟින් පිළිගනු ලබයි.

 

ද්වේශ සහගත අතහැර යෑම

ද්වේශ සහගත අතහැර යෑම සහ අනුමත ද්වේශ සහගත අතහැර යෑම අතර වෙනසක් ඇත. ද්වේශ සහගත අතහැර යෑම ලෙස අපි සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ විවාහයේ එක් පාර්ශ්වයක් හිතාමතාම තම විවාහක සහකරු හෝ සහකාරිය අතහැර විවාහය අවසන් කිරීම පිණිස වෛවාහක නිවෙසින් පිටවී ගොස් වෙනම ජීවත් වීමයි.

විවාහක යුවළක් අතර ඉඳහිට අඬ දබරකම් හිත් අමනාපකම් ඇති වීම සාමාන්‍ය තත්ත්වයක් විය හැකියි. එසේම මේ සියලු අඬදබර 'බත් හැළිය ඉදෙනකම්' පමණක් බව අපගේ ජන වහරේ ද පවතී. එවැනි පුංචි පුංචි අමනාපකම් මත යම් පාර්ශ්වයක් දිනක් දෙකක් වෛවාහක නිවෙසින් පිටත සිටීම ද්වේශ සහගත අතහැර යෑමක් නො වන බව හොඳින් අවබෝධ කරගත යුතුවේ. මෙවැනි තත්ත්වයක් ඇතිවූ විට දෙදෙනාම සන්සුන් මනසින් සාකච්ඡා කර එවැනි හිත් රිදීම් සමනය කර ගැනීමට උත්සාහ කිරීම සාර්ථක යුග දිවියකට මඟ පාදනු ඇත.

එනමුදු යම් විවාහක පුරුෂයකු හෝ කාන්තාවක තම කලත්‍රයා සහ වෛවාහක නිවෙස හැර දමා නැවත පැමිණීමේ චේතනාවක් නැතිව ඉතා දිගු කාලයක් පිටත ජීවත් වේ නම් එය දික්කසාදය ලබා ගැනීමට අනෙක් පාර්ශ්වයට පදනමක් සපයනු ඇත.

මෙවැනි අවස්ථාවන්වල දී කුරිරු රිදවීම් දෙදෙනා අතර පැවතීම දක්නට ලැබේ. උදාහරණයක් ලෙස බිරියව හැර දමා පුරුෂයා වෙනත් ස්ත්‍රියක සමඟ වෙනත් නිවෙසක වාසය කිරීම ද්වේශ සහගත අතහැර යෑමකි. මෙහිදී අනාචාරය යන වරද ද මෙම සංසිද්ධියට බැඳී ඇති බවත් ඒ තුළින් බිරියට කුරිරු වේදනා ගෙන දෙන බවත් අපට අවබෝධ කරගත හැකියි. එමෙන්ම සැමියා හැරදමා බිරියක් තම මවුපියන් ගේ නිවෙසට හෝ වෙනත් වාසස්ථානයකට ගොස් ජීවත් වීමත් ද්වේශ සහගත අතහැර යෑමක් ඇති කළ හැකියි. මෙහිදී ඒ ඒ සිදුවීමේ ස්වභාවය මත තීරණයකට එළැඹීමට සිදුවන බව අවබෝධ කරගත යුතුයි.

යම් විටෙක මෙලෙස හැර ගිය අයකු නැවත වෛවාහක නිවෙසට පැමිණ විවාහය සාර්ථක කරගැනීමට කැමැත්ත පළකරයි නම් සහ අනෙක් පාර්ශ්වය එම පුද්ගලයාව නැවත පිළිගැනීමට කැමැත්ත පළකරයි නම් දික්කසාද තීන්දුව ලබා නොදී සිටිය හැකියි. අනුමත ද්වේශ සහගත අතහැර යෑම ලෙස අප හඳුන්වන්නේ තම බිරියගේ හෝ ස්වාමි පුරුෂයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් අනෙක් පාර්ශ්වයට වෛවාහක නිවෙස හැර යෑමට මඟ පෑදෙන අවස්ථාවන්හි දී සැබැවින්ම නිවෙස හැර යන්නේ දුකට පීඩාවට පත් වූ අහිංසක පාර්ශවය බව අවබෝධ කරගත හැකියි. උදාහරණයක් ලෙස තම ස්වාමි පුරුෂයාගේ ගුටිබැට හා ඇණුම් බැණුම් දරාගත නො හැකි තැන ඔහුගේ නිවෙස හැර යන බිරියකට අනුමත ද්වේශ සහගත අතහැර යෑම පදනම් කරගෙන සැමියා හා පවත්නා විවාහය අවසන් කර ගැනීමට හැකියාව තිබේ.

මෙහිදී ඉතා හොඳින් අවබෝධ කරගත යුතු කාරණය වන්නේ මෙවැනි තත්ත්වයක් මත අදාළ හැර යෑමකට මඟපාදන පාර්ශ්වයට දික්කසාදයක් ඉල්ලා සිටිය නො හැකි බවයි. මෙලෙස අනුමත ද්වේශ සහගත අතහැර යෑමට මඟ පාදන අනෙක් පාර්ශවයේ හැසිරීම වෛවාහක නිවෙසෙන් පිටත සිටින පාර්ශ්වය විසින් අධිකරණය ඉදිරියේ ඔප්පු කළ යුතු අතර එකී හැසිරීම බරපතළ හා නිවෙස හැර යෑමට බල කෙරෙන ආකාරයේ එකක් බව පිළිගත හැකි විය යුතුයි. මෙම හැසිරීම අයකුව නිවෙසෙන් එළවා දැමීමට තරම් ප්‍රබල ස්වභාවයේ හැසිරීමක් බවට අධිකරණයට ඒත්තු ගැන්විය යුතුයි.

උදාහරණයක් ලෙස

* නිතිපතා සිදුකරන පහරදීම්

සහ මානසික පීඩනයන්

* අනියම් සබඳතා පැවැත්වීම

සහ දරුවන් සහ තම බිරිය/

සැමියා නොසලකා හැරීම

* මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම

හේතුවෙන් විනාශකාරී ලෙස

හැසිරීම

* ජීවිත තර්ජන සිදු කිරීම

ආදිය උදාහරණ ලෙස

පෙන්වා දිය හැකියි.

 

විවාහයක් අවසන් කිරීමට ගනු ලබන තීරණය ඉතාමත් හොඳින් සිතාමතා ගත යුතු තීරණයක් වන බවත් දික්කසාද වීම වෙනුවට විවාහයට පෙර ඉතා හොඳින් සොයා බලා අවබෝධය සහිතව විවාහ ජීවිතයට ඇතුළත් වීම වඩාත් යහපත් බව සිහිතබා ගත යුතුය.

 

 

උපදෙස්:

කොළඹ විශ්වවිද්‍යාලයේ

නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

චතුරිකා අකුරුගොඩ