වට හාගත යුතු අපේ ජීවිත සැබෑව

සොඳුරු දිවියකට පහන් සිතුවිලි
ඔක්තෝබර් 10, 2022

 

වයස 60දී හැමදේටම බස්සෙක් ලෙස උත්තර බඳින්න බොහෝ විට සිදුවේ. හොඳයි කීවත් නරකය. නරකයි කීවත් නරකය. ඉහළ නිලයන් සහ පහළ නිලයන් අතර වෙනසක් නැත. විශ්‍රාම ගිය පසු සියලු දෙනාම විශ්‍රාමිකයන්ය.

ජීවිතය කියවමු

වයස අවුරුදු 10 පමණ වන විට ජීවිතයේ වසන්ත සමයයි. ඉල්ලන සැම දේ මවුපියන් රැගෙන දේ. ආදරය ඕනෑවටත් වඩා ලැබේ. මේ දරුවන්ගේ හදවත් ආදරය, සාධාරණත්වය හා අනුකම්පා සහගත සිතිවිලිවලින් පිරී තිබේ.

 

වයස 20දී ලොවම මල් වත්තකි. ප්‍රීති සැණකෙළියකි. මා කාට බය වෙන්නද? මගේ ජීවිතේ මට ඕනෙ විදියටයි ගෙවන්නෙ. මට ඕනෙ කෙනෙක් එක්ක විවාහ වෙන්න අයිතියක් නැද්ද? ඇයි අපි වැඩිහිටි පරම්පරාව කියන දේ අහන්නෙ? මේ යනාදී නානාප්‍රකාර දේ මේ තරුණ හිතට සිතේ. නවීන පන්නයේ මෝටර් රථයක් ගන්න, නිවෙසක් හදන්න ප්‍රාර්ථනා හිතේ මෝදු වේ.

‍වයස 30දී කැදැලි තනන්න පටන් ගනී. ඔබට ඕනෑම පරිසරයකට අනුවර්තනය විය හැකිය. සුබ සිහින දකී. දෙදෙනාගෙන් තොර ලොවක් නැත. නිවෙස සුර ලොවකි. නව ජීවනය සමඟ ජීවිතය නැවත නැවතත් පිරෙන්නට පටන් ගනී. හැබැයි සමහර විට, මේ නව නිවෙස ඇතුළත ජීවත් වන්නන් සාමයෙන් ජීවත් නොවී කලහ පිරි ජීවිතයක් ගෙව්වහොත් දිවියම අපායක් බවට පත්වේ. ඉන්දියාවේ තමිල්නාඩුවේ අන්නා මලෙයි විශ්වවිද්‍යාලයේ ටී. පී. සිං නමැති මහාචාර්යවරයා මෑතදී පර්යේෂණයක් සිදු කළේය. එනම් සංගීතය යොදාගෙන කුඹුරු අස්වැද්දීමයි. මෙහිදී කෙත් යායවල් දෙකක් තෝරා ගත් අතර, එක් කෙත් යායක් අස්වැද්දීම සඳහා චාරුකේෂී සංගීතය සහ කර්ණාටක සංගීතය යොදා ගත්තේය. අනෙක් කුඹුර අස්වද්දනු ලැබූවේ ජෑස් සහ රොක් සංගීතය යොදා ගනිමිනි. අවසානයේ චාරුකේෂී සංගීතය සහ කර්ණාටක සංගීතය ශ්‍රවණය කළ කෙත්යාය ඉතා සාරවත් ව වැඩුණු බවක් පෙන්නුම් කළේය. පවුල් ජීවිතයේ සාමය පිරී ඇත්නම් එහි ප්‍රීති ප්‍රමෝදය වගා දිගා වන බව ගැන තවත් කවර කතාද?

වයස 40දි ඉහළට ඉගෙන ගත්තා සහ ඉගෙන නොගත්තා කියා වෙනසක් නැත. ටික ටික හිත වගකීම්වලින් පිරේ. ජීවිතේ බැරෑරුම් ගතියක් පෙන්නුම් කෙරේ. දූ දරුවන් ගැන, ඔවුන්ගේ අනාගතය ගැන සිතයි. ඔබ හිනැහෙන විට, ලොවම ඔබ සමඟ සිනාසෙන බව සිතා සිටි අතීතයට සමු දී ඔබ හඬන විට ලෝකය ඔබ අතහැර සිනාසෙන බව, අවබෝධ කර ගැනීමට පටන් ගනී.

වයස 50දී, ජීවිතය අවබෝධ වේ. රුබෙයියාට් ඔමාර් ඛයියම් මෙලෙස ජීවන දර්ශනයක් දැක්වීය.

අහෝ සෙනෙහස !

දෛවයේ කුමන්ත්‍රණ ලෙස

මහත් දුක බදාගෙන

ඔබ හා එක්ව

සිඳ බිඳ දමයි

කුඩා කැබැලිවලට එය

හදවතෙහි ආසාව ලෙස දැකිය

නොහැකි ද එය?

නැවත එකතු කරන්නට

වාත්තු කරන්නට බැරි වූ

බිඳුණු සෙනෙහස.

 

ඉතින් මේ වයසේදී ලස්සන කෙනා සහ අවලස්සන කෙනා අතර වෙනසක් නැත. ඔබ කොතරම් රුවට හිටියත් හම රැලි වැටීමට පටන් ගනී. කැදැල්ල ද හිස් වේ. හුදෙකලාව ප්‍රිය කළත් නොකළත් ජීවිතයට යම් තරමකින් හෝ එබී බලයි. ආගම දහම වැඩියෙන් මතක් වේ.

හිසේ නර කෙස් පහළ වේ.

වයස 60දී හැමදේටම බස්සෙක් ලෙස උත්තර බඳින්න බොහෝ විට සිදු වේ. හොඳයි කීවත් නරකය. නරකයි කීවත් නරකය. ඉහළ නිලයන් සහ පහළ නිලයන් අතර වෙනසක් නැත. විශ්‍රාම ගිය පසු සියලු දෙනාම විශ්‍රාමිකයන්ය.

ආගමට දහමට බෙහෙවින්ම නැඹුරු වේ.

වයස 70දී සල්ලි තිබුණා සහ සල්ලි නොතිබුණා කියා වෙනසක් නැත. සල්ලි තිබුණත් වියදම් කිරීමට අවශ්‍යතා ඇත්තේ අතළොස්සකි. බෙහෙත් ටික ගැනීම මූලිකවම අවශ්‍ය වේ.

වයස 80දී ලොකු ගෙවල් සහ පොඩි ගෙවල් කියා වෙනසක් නැත; හන්දි අබාධ නිසා ඔබට ඇවිදිය හැක්කේ කුඩා වපසරියක පමණි. දෙමහල් නිවාස කුමට හැදුවේදැයි ළතැ වේ.

වයස 90දී ගැහැනු සහ පිරිමි කියා වෙනසක් නැත. ගැහැනු වුවත් පිරිමි වුවත් ඔබට සැලකිලි ලැබෙන්නේ මහල්ලකු ලෙසිනි.

වයස 100දී නින්දෙහි සහ අවදි වීමෙහි වෙනසක් නැත. අවදි වුණා කියා එක්තැන්ව සිටිනවා හැර ඔබට කළ හැකි වෙන දෙයක් නැත. ඇඳේ ඔහේ වැතිර සිටී. සිහිය ද අසිහිය ද අතර දෝලනය වේ.

මේ ගෙවනා කෙටි කාලය තුළ එකිනෙකා පරයා යාමට කෙසේ අරගල කළත් අවසන අප සියලු දෙනාම එකම මට්ටමකට වැටෙන බව තේරුම් ගෙන ජීවිතය හැඩගස්වා ගන්න. අති දුර්ලභව ලැබුවා වූ මනුෂ්‍ය ජීවිතයේ හරය වටහාගන්න.

හීන මන්දාකිණියක හඹා ගියත්, මහද්වීපයකට හම්බ කළත් අවසන ගුළි වන්නේ ලෙඩ ඇඳක බව වටහාගෙන ජීවත් වෙමු.

අප කැමැති වුවත් අකැමැති වුවත්, සනාතන ජීවන චක්‍රය මෙයයි. ඉතා වැදගත් දේ අප ඉගෙන ගන්නා දේ ජීවන දහම සඳහා යොදා ගැනීමයි. ඉගෙන ගත් දේ ජීවිතය සඳහා යොදා නොගැනීම යනු ඉගෙන නොගත් බවයි. දැන ගත් දේ, ක්‍රියාවට නොනැංවීම යනු ඇත්ත වශයෙන්ම නොදැනීමයි.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - අලෙවි

පාලිත දිසානායක මහතාගෙන්

ඔබේ දිවිමඟට පහන් වැටක්