රසයෙන් අනූන දකුණු ඉන්දියානු කෑම

අගෝස්තු 25, 2021

 

විවිධ රසට, විවිධ ක්‍රමයන්ට කෑම හදන්න ඔබ හැමදාමත් කැමැතියි. ඒ සඳහා අපි දේශීය මෙන්ම විදේශීය රසවත් ආහාරපාන සකසන ආකාරය ඔබ වෙත ගෙන එනවා.

පසුගිය කාලය පුරාවටම අප ගෙන ආවේ දේශීය ආහාර හා පාන වර්ගයි. අද ඉන් තරමක් බැහැරට ගිහින් අපේ අසල්වැසි රට වන ඉන්දියාවේ ගෘහණියගේ අතින් සැකසෙන රසවත් කෑමබීම වර්ග කිහිපයක් මෙලෙස ගෙන එනවා. මේ කෑම විශේෂයෙන්ම දකුණු ඉන්දියාවට ආවේණික කෑමයි. එසේ නම් වෙනසක් සමඟින් මේ රසවත් කෑමබීම සකසා පවුලේ අය සමඟ ඔබත් රස විඳින්න.

 

 

ඡායාරූප හා ආහාර වට්ටෝරු ඉදිරිපත් කිරීම

සූපවේදිනී

තිලානි විතානගේ

 

ඉන්දියානු ක්‍රමයට මුදවපු කිරි මිශ්‍ර වම්බටු කරියක්

අවශ්‍ය වෙන්නේ

 

දිග තීරූ කපා ගත් වම්බටු ගෙඩි කිහිපයක් (පාවිච්චියට ගන්නකම් කෑලි කපාගෙන ලුණු වතුරේ දමා තියන්න. නැත්නම් කහට පිපෙනවා)

තළාගත් සුදු ලූනු, ඉඟුරු

පේස්ට් ටිකක්

ලියාගත් අමුමිරිස්,

රතු ලූනු හෝ බී ලූනු,

තක්කාලි හා කරපිංචා

කොත්තමල්ලි කොළ ටිකක්

මුදවපු කිරි මේස හැඳි 2ක්

කඩල පිටි මේස හැඳි 2ක්

අබ, සූදුරු, මිරිස් කුඩු, ගරම් මසාලා පවුඩර්, අමු තුනපහ කුඩු, කහ සහ ස්වල්පය බැගින් (ඔබේ රස අනුව තුනපහ වර්ග එකතු කරන්න පුළුවන්)

ලුණු ඔබේ රස පදමට

 

හදන්නේ මෙහෙමයි

 

මුලින්ම වම්බ්ටු කැබලි ටික ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැදගෙන තෙල් බේරෙන්න තියන්න.

දැන් භාජනයක් ළිප තබා තෙල් ටිකක් දමා රත්කර අබ හා සූදුරු ටිකක් දාන්න. එයටම සුදු ලූනු, ඉඟුරු පේස්ට් හා ලියාගත් සියලුම දේවල් දමා තෙම්පරාදු කරන්න.

දැන් එයට කඩල පිටි ටික එකතුකර තුනපහ වර්ග හා පදමට ලුණු එකතුකර හැන්දෙන් එහා මෙහා කරමින් කඩල පිටිවලින් සුවඳක් එනකම් අඩු ගින්දරේ තියන්න.

ටික වේලාවකින් මුදවපු කිරි ටිකට වතුර මේස හැඳි 2ක් පමණ එකතුකර හැන්දකින් හොඳින් ගසාගෙන ළිපේ තියෙන මිශ්‍රණයට එකතුකර කැටි නොගැසෙන සේ හැන්දකින් කලවම් කරමින් හොද්ද උකු වෙනතුරු අඩු ගින්දරේ පිස ගන්න. රස බලා අවශ්‍ය නම් ලුණු එකතු කරන්න.

හොද්ද උතුරනකොටම බැද තෙල් බේරාගත් වම්බටු ටික එකතුකර හැන්දෙන් මිශ්‍ර කර ළිප ඕෆ් කරන්න. බාන්නට පෙර කොත්තමල්ලි කොළ ටිකක් උඩින් දාන්න.

මෙය බත්, පරාටා හෝ චපාති එක්ක රස විඳින්න පුළුවන් කෑමක්.

 

**********************

උළුඳු වඩේ එක්ක පොල් චට්නි

 

අවශ්‍ය වන්නේ

 

උඳු ඇට ග්‍රෑම් 250ක්

ලියාගත් රතු ලූනු

ලියාගත් අමුමිරිස්

බේකිං පවුඩර් තේ හැඳි

භාගයක්

සූදුරු ස්වල්පයක් (අවශ්‍ය

නම් පමණක්)

බටර් තේ හැන්දක්

ලියාගත් කරපිංචා ටිකක්

 

හදන්නේ මෙහෙමයි

උඳු ඇට සෝදා, වැහෙන්න වතුර දමා පැය 5ක් පමණ පෙඟෙන්න හරින්න.

ඉන්පසු වතුර පෙරා ග්‍රයින්ඩරයට දමා ඇට ටිකක් ඉතුරු වෙන්න ග්‍රයින්ඩ්කර ගන්න (වතුර එකතු කරන්න එපා)

අනිත් අමුද්‍රව්‍ය සියල්ලම දමා පදමට ලුණු දමන්න. හොඳින් කලවම් කර පැය 2ක් පමණ වසා තබන්න.

 

දැන් බලමු උළුඳු වඩේවල හැඩය ගන්නා ආකාරය.

උළුඳු මිශ්‍රණය ළඟ වතුර භාජනයක් තබා ගන්න.

දැන් වතුර ස්වල්පය බැගින් අල්ලේ ගාගෙන මිශ්‍රණයෙන් කුඩා බෝලයක් ගෙන අල්ලේ තබා තරමක් පැතලි කරන්න. දැන් ඇඟිල්ලෙන් එය හිල් කරගෙන රත් වූ ගැඹුරු තෙලට දමා අඩු ගින්දරේ රන්වන් පැහැ වනතුරු බැද ගන්න ( එක් වරකට වඩේ දෙකක් හෝ තුනක් පමණක් තෙලට දමන්න) ගින්දර අඩුවෙන් බදිනකොට ටිකක් වෙලා ගියත්, වඩයේ මැද කොටස හොඳින් තැම්බෙනවා.

 

පොල් චට්නි

පොල් මිටකට මිරිස් කුඩු, පදමට ලුණු, දෙහි යුෂ හා කැබලි කපාගත් ඉදුණු තක්කාලි ගෙඩියක් දමා වතුර ස්වල්පයක් එක්ක බ්ලෙන්ඩ් කරගන්න.

****************************

ලූනු පකෝරා

අවශ්‍ය වන්නේ

 

කඩල පිටි කෝප්ප 1ක්

කහ කුඩු, මසාලා පවුඩර් සහ

මිරිස් කුඩු තේ හැඳි 1/2 බැගින්

තළාගත් ඉඟුරු ටිකක්

කුඩාවට කපාගත් ලොකු බී ලූනු

ගෙඩියක් සහ අමුමිරිස් කරල් 2ක්

ලුණු ඔබේ රස පදමට

සූදුරු තේ හැඳි 1/2ක්

බැදීමට තෙල්

 

හදන්නේ මෙහෙමයි

 

මුලින්ම තෙල් තාච්චිය ළිපේ තබා තෙල් දමා රත් කරන්න. සියලුම අමුද්‍රව්‍ය ටික භාජනයකට දමා අතින් කලවම් කරන්න. දැන් එයට වතුර ටික ටික දමා පොල් රොටී හදනවා වගේ ඝනකම මිශ්‍රණයක් හදා ගන්න. මෙය අතේ නොඇලෙන පදම විය යුතුයි. (වතුර වැඩි වුණොත් තව කඩල පිටි ටිකක් එකතු කර ගන්න)

දැන් මේකෙන් කුඩා බෝල කඩාගෙන පැතලි කර රත් වූ තෙලට දමා රන්වන් පැහැ වනතුරු බැද ගන්න. (එක්වර 5ක් වගේ තෙලට දාන්න)

මෙය සෝස් වර්ගයක් සම‍ඟ රස විඳින්න පුළුවන්.

 

**************************

වෙජි පකෝරා

අවශ්‍ය වන්නේ

කඩල පිටි මේස හැඳි 2ක්

මිරිස් කුඩු හා මසලා පවුඩර් තේ හැඳි 1/2 බැගින් (මසාලා රසට අකැමැති නම් අත්‍යවශ්‍ය නෑ)සාමාන්‍ය දිගට කපාගත් එළවළු වර්ග කිහිපයක් (බෝංචි, බී ලූනු, කැරට්, ගෝවා, හතු වැනි)ලුණ, ගම්මිරිස් ඔබේ රස පදමට

ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් ටිකක්

අවශ්‍ය නම් බිත්තරයක්

බැදීමට තෙල්

 

හදන්නේ මෙහෙමයි

මුලින්ම තාච්චිය ළිපේ තබා තෙල් දමා රත් කරන්න. එළවළු හා සියලුම අමුද්‍රව්‍ය ටික භාජනයකට දමා අතින් කලවම් කරන්න. දැන් එයට වතුර ටික ටික දමා පොල් රොටී හදනවා වගේ ඝනකම මිශ්‍රණයක් හදා ගන්න. මෙය අතේ නොඇලෙන පදම විය යුතුයි (වතුර වැඩි වුණොත් තව කඩල පිටි ටිකක් එකතු කර ගන්න)දැන් මේකෙන් කුඩා බෝල කඩාගෙන පැතලි කර රත් වූ තෙලට දමා රන්වන් පැහැ වනතුරු බැද ගන්න.

(එක්වර 3ක් වගේ තෙලට දාන්න)

මෙය සෝස් වර්ගයක් සම‍ඟ හෝ බත් සමඟ රස විඳින්න පුළුවන්.

 

 

***********************

ඉන්දියානු අල රොටී

අවශ්‍ය වන්නේ

 

හොඳින් තම්බා

පොඩි කර ගත් අර්තාපල්

අල ගෙඩි 4ක් 5ක්

පාන්පිටි ග්‍රෑම් 250ක්

බේකිං පවුඩර් තේ හැඳි 1/2ක්

ලුණු පදමට

තෙල්, බටර් හෝ ගී

 

හදන්නේ මෙහෙමයි

 

තම්බා පොඩි කරගත් අල ටික භාජනයකට දමා ඒකට පිටි, ලුණු හා බේකිං පවුඩර් දමා පොල් රොටී අනනවා වගේ පිටි අනා ගන්න.

අතේ නො ඇලෙන පදමට අනා ගන්න.

දැන් පිටි මෝලියෙන් කුඩා බෝල සාදා ඒවාවල තෙල් ටිකක් තවරාගෙන විනාඩි 15ක් පමණ වසා තබන්න.

දැන් රොටි තැටියක් ළිපේ තියා රත් වෙනකොට තැටියේ තෙල් පොඩ්ඩක් තවරා ගන්න.

අතේ තෙල් පොඩ්ඩක් තවරාගෙන වසා තැබූ පිටි බෝල එකින් එක පිඟානක් උඩ තැබූ ලන්ච් ෂීට් එකක තුනීකර පරිස්සමෙන් රොටි තැටියට දාලා පුලුස්සා ගන්න.

 

 

********************

හබල පෙති (පෝහා (Poha)අවල්)

හබල පෙති හදන්නේ රතු හෝ සුදු හාල්වල වීවලිනි. ගොයම් කපා ඉවර වුණාට පස්සේ බිමට වැටුණු වීවලින් පැළ වෙන ගොයම් පැළවලින් හට ගන්නා වී කපා සෝදා ගල්, වැලි ඉවත්කර පැය 24ක් වතුරේ පෙඟෙන්න තියෙනවා.

ඉන්පසු වතුර පෙරා වී ටික කබලේ බදිනවා. මේ බැදපු වී මැෂින්වලින් තළනවා. වී තළන විට පොතු ඉවත් වෙනවා.

මේ ක්‍රියාවලියෙන් පසුව තමයි හබල පෙති සෑදෙන්නේ.

සහල්වලට වඩා ඝනකම අඩු නිසා හබල පෙති ඉක්මනින් පෙඟෙනවා.

හබල පෙති කියන්නේ ඉක්මනින් ජිර්ණය වන ආහාරයක්.

සෑම ග්‍රෑම් 100කම මිලිග්‍රෑම් 20 ක් යකඩ අඩංගුයි. සුදු හබල පෙතිවලට වඩා රතු හබල පෙති පෝෂණයෙන් ඉහළයි.

හබල පෙතිවල කාබෝහයිඩේට්, ප්‍රෝටීන්, කැල්සියම්, යකඩ, සින්ක්, මැග්නීසියම්, විටමින් B, ඛනිජ ලවණ අඩංගුයි.

දකුණු ඉන්දියානු ක්‍රමයට උදේ හෝ රාත්‍රි ආහාරයට පෝහා රයිස්

 

අවශ්‍ය වන්නේ

 

හබල පෙති පීරිසි කෝප්ප 1ක්

තළාගත් සුූදුලූනු

ගිතෙල් හෝ බටර් මේස හැඳි 2ක්

රටකජු/කජු හෝ ආමන්ඩ් ටිකක්

ලියාගත් ලූණු, අමු මිරිස් හා ඉදුණු තක්කාලි ගෙඩියක්

අබ ස්වල්පයක්

පදමට ලුනු

කහ සහ මිරිස් කුඩු ස්වල්පයක්

සිහින්ව ලියාගත් කැරට්, ලීක්ස් වගේ අපි නූඩ්ල්ස් හදන්න භාවිත කරන ඕනෑම එලවළු වර්ග ටිකක්

ඔබට කැමැති නම් තම්බා ගත් බිත්තර හෝ මස් වර්ගයක් වුවත් එකතුකර ගන්න පුළුවන්.

ලෙමන් යුෂ මේස හැන්දක්

 

හදන්නේ මෙහෙමයි

 

මුලින්ම භාජනයකට පෝහා ටික දමන්න. එයට මඳ රස්නේ වතුර ටිකක් දමා හොඳින් සෝදා ගන්න. නැවත ඇල් වතුරෙන් සෝදා පෝහා පොඩි නොවන සේ අතින් මිරිකා පසෙකින් තබා ගන්න.

දැන් භාජනයක් ළිප තබා එයට ගී හෝ බටර් දමා අබ, තළාගත් සුදුලූනු, බී ලූනු, කරපිංචා, අමු මිරිස්, තක්කාලි, කැරට් සහ ඉතිරි එලවළු වර්ග, තම්බා ගත් බිත්තර හෝ මස්, රට කජු ටික දමා ස්වල්ප වේලාවක් අඩු ගින්දරේ බැද ගන්න. එයට කහ සහ පදමට ලුණු ද මිරිස් කුඩු ද එකතු කරන්න.

දැන් පෝහා ටික එකතු කර හැන්දකින් පොඩි නොවන සේ කලවම්කර අවසානයට ලෙමන් යුෂ එකතුකර ළිප ඕෆ් කරන්න.

මෙය කෑමට හොදි හෝ වෙනත් දෙයක් අවශ්‍ය නෑ. සෝස් වර්ගයක් එක්ක වුණත් කන්න පුළුවන්.

***********************

ආමන්ඩ් මිශ්‍ර බටර් චිකන්

 

අවශ්‍ය වෙන්නේ

 

තරමක කුඩා කැබලි කපා ගත්

(කටු රහිත) චිකන් ග්‍රෑම් 400ක්

තළාගත් ඉඟුරු, සුදුලූනු

ලියාගත් අමුමිරිස්, රතු ලූනු

හෝ බී ලූනු හා කරපිංචා

කොත්තමල්ලි කොළ ටිකක්

ආමන්ඩ් ඇට 10ක් පමණ (උතුරන වතුර ටිකක් දමා වසා තබා උඩ දුඹුරු පොත්ත හැර වතුර මේස හැඳි 5ක් එකතුකර හොඳින් බ්ලෙන්ඩ් කර පේස්ට් එකක් හදා ගන්න)

සූදුරු ස්වල්පයක්

හොඳින් ඉදුණු තක්කාලි ගෙඩි

 

3ක් (කුඩා කැබලි කපා වතුර කෝප්ප 1/2ක්

එක්ක බ්ලෙන්ඩ් කර යුෂ ගන්න)

මුදවපු කිරි මේස හැඳි 5ක්

කහ, අමු තුනපහ කුඩු, ගරම්

මසාලා පවුඩර් හා මිරිස් කුඩු

ඔබේ රස අනුව

ලුණු පදමට

 

හදන්නේ මෙහෙමයි

 

මුලින්ම චිකන් කැබලි හොඳින් සෝදා එයට මුදවපු කිරි, පදමට ලුණු හා තුනපහ වර්ග ටික දමා හොඳින් මිශ්‍ර කර සීසන් කර ගන්න.

සීසන් කරගත් චිකන් ටික වහන්න පුළුවන් භාජනයකට දමා හරියටම පැය 2ක් ශීතකරණයේ තබන්න. එතකොට තමයි නියම රස එන්නේ.

පැය 2කට පසු භාජනයක් ළිප තබා බටර් ටිකක් රත් කර සුදු ලූනු, ඉඟුරු හා ලියාගත් සියලුම දේවල් දමා තෙම්පරාදු කරන්න.දැන් සීසන් කළ චිකන් කෑලි ටික දමා කෑලි තැම්බෙනකම් ටික වෙලාවක් හැන්දෙන් එහාට මෙහාට කරමින් පිසින්න. (කටු රහිත නිසා ඉක්මනින් තැම්බෙනවා)

දැන් එයට කලින් හදාගත් තක්කාලි මිශ්‍රණය හා ආමන්ඩ් මිශ්‍රණය එකතුකර විනාඩි කීපයක් හොද්ද උකු වෙනතුරු පිස ගන්න. තුනපහ වර්ග හා මිරිස් අවශ්‍ය නම් නැවත එකතු කරන්න.

ළිපෙන් ගන්නට පෙර කොත්තමල්ලි කොළ ටිකක් උඩින් දාන්න.මෙය නාන්, රොටී, චපාති, බත්, පරාටා ඕනෑම දෙයක් එක්ක රස විඳින්න පුළුවන් කෑමක්.

 

********************

ඉරමුසු (නන්නාරි) සරුවත්

අවශ්‍ය වන්නේ

ඉරමුසු මුල් කීපයක් (සිංහල බෙහෙත් කඩවලින් ඉන්දියානු ඉරමුසු මුල් මිල දී ගන්න පුළුවන්.)

වතුර කෝප්ප 3ක් පමණ

දෙහි යුෂ

අයිස් කැට කීපයක්

ඇල් වතුරේ පොඟවා ගත් කස ඇට ටිකක්

කුඩාවට කපාගත් ඇපල් කැබලි ටිකක්

සීනී පදමට

 

හදන්නේ මෙහෙමයි

ඉරමුසු මුල් ටික හොඳින් සෝදා වතුර කෝප්ප 3ක් දමා වතුර කෝප්ප 2ක් වෙනකම් උතුරුවා ගන්න. උතුරන කොට ලස්සන පාටක් එනවා.

දැන් අවශ්‍ය ප්‍රමාණය උස වීදුරුවකට දමා, පදමට සීනී එකතු කර හොඳින් නිවෙන්න තියන්න.

ඒකට ඉතිරි සියලුම දේවල් දමා හැන්දකින් හොඳින් මිශ්‍ර කර රස විඳින්න.

අවශ්‍ය නම් වැඩිපුර තම්බාගෙන ශීතකරණයේ තියා අවශ්‍ය ප්‍රමාණය විතරක් පාවිච්චි කරන්න පුළුවන් )

 

*********************

කඩල මසාලා කරිය

අවශ්‍ය වෙන්නේ

 

හොඳින් තම්බා ගත් කඩල කෝප්පයක් (කඩල ඇට අතින් පොඩි කරනකොට හොඳින් පොඩි වෙන ගානට තැම්බී තිබිය යුතුයි)

කඩල තම්බාගත් වතුර කෝප්ප 2ක්

තළාගත් ඉඟුරු,

සුදු ලූනු පේස්ට්

ලියාගත් අමුමිරිස් හා

රම්පේ කෑල්ලක්

ලියාගත් බී ලූනු ගෙඩි 5ක් පමණ

කොත්තමල්ලි කොළ ටිකක්

කපාගත් හොඳින් ඉදුණු

තක්කාලි ගෙඩි 3ක්

කරදමුංගු හා කරාබු නැටි 2 බැගින්

සියඹලා ස්වල්පයක්

අබ, මිරිස් කුඩු, ගරම් මසාලා පවුඩර් ටිකක්, අමු තුනපහ කුඩු, කහ පදමට ලුණු

 

හදන්නේ මෙහෙමයි

 

මුලින්ම භාජනයක් ළිප තබා තෙල් ටිකක් රත් කර අබ ටිකක් දමා පුපුරුවන්න. එයට සුදු ලූනු, ඉඟුරු පේස්ට් එකෙන් කොටසක්, බී ලූනු ටික හා තක්කාලි ටික දම තෙම්පරාදු කරන්න.

දැන් එයට ලුණු එකතුකර නිවෙන්නට තියා කඩල තම්බා ගත් වතුර ටිකක් හා තම්බා ගත් කඩල මේස හැඳි 2ක් එක්ක හොඳින් බ්ලෙන්ඩ් කර ටිකක් ඝනකම පේස්ට් එකක් සාදා පසෙකින් තබන්න.

නැවතත් ගී හෝ බටර් ස්වල්පයක් රත් කර එයට කලින් ඉතුරු කරගත් ඉඟුරු, සුදු ලූනූ පේස්ට් එක හා අමුමිරිස්, රම්පේ, කරදමුංගු, කරාබු නැටි දමා පොඩ්ඩක් තෙම්පරාදු කර, එයට කලින් හදා ගත් කඩල පේස්ට් එකත් එකතු කරන්න. ඒ එක්කම තම්බාගත් කඩල ටිකක් එකතුකර පදමට ලුණු හා සියඹලා දාන්න.

විනාඩි කීපයක් හැඳි ගාමින් හොද්ද උකු වෙනතුරු පිස ගන්න. ඝනකම වැඩි නම් කඩල තම්බා ගත් වතුර එකතුකර ගන්න පුළුවන්. කොත්තමල්ලි කොළ ටිකක් උඩින් දමා උණුවෙන්ම කෑමට ගන්න.

මෙය පරාටා, පූරී, චපාති වගේම රෝස්ට් පාන් එක්ක වුණත් රස විඳින්න පුළුවන් කෑමකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.