කෑම මේසය අලංකාර කරන සලාද ගැනයි මේ

බෘෘනොයිස් මැක්ඩ්වාන් ජුලියන් ක්‍රමවලට එළවළු කපන හැටි දන්නවද?
නොවැම්බර් 15, 2021

 

ජීවිතයක ඇති වැදගත් ම දේ වන්නේ ආහාරයි. සිරුරට නිසි පෝෂණයක් ලබා දෙමින් එය නිසියාකාර ලෙස පවත්වාගෙන යාමේ මූලිකයා වන්නේ අප විසින් ආහාරයට ගන්නා ආහාර වර්ගය. අද බොහෝ ලෙඩරෝගවලට මූලික හේතුව අප ලබාගන්නා වස විසෙන් යුතු ආහාර බව වෛද්‍ය මතය වී ඇත.

පිළිකා වැනි භයානක රෝගවල සිට අසාත්මිකතා වැනි සුලබ රෝග දක්වා මේ රෝග ප්‍රමාණය වැඩි වී තිබේ. එමනිසා අප ලබා ගන්නා ආහාර හැකි තරම් සෞඛ්‍යාරක්ෂිත ලෙසින් ලබා ගැනීමට මතක තබා ගත යුතුය.

ආහාර පිළියෙල කිරීමේ දී ඒවා කපා ගන්නා ක්‍රම අනුව ආහාරයේ රසය, ගුණය, පෙනුම ආදිය වෙනස් වේ. එහෙත් නියමාකාරයෙන් ආහාර පිළියෙල කිරීමේ දී එහි ස්වාභාවික රස ගුණ පෙනුම එසේ වෙනස් නොකළ යුතුය.

ස්වාභාවික ආහාරවල ඇති රසය, පෙනුම මෙන්ම පෝෂ්‍ය ගුණය ද එකසේ නොවෙනස්ව ලබා ගත හැකි ආහාරයක් ලෙස සලාද වර්ග සැලකිය හැකිය. කෑම මේසයක අනිවාර්යයෙන් තිබෙන සලාද පිඟාන කෑම මේසයේ අලංකාරයට පවා හේතු වේ.

සලාද, අප ලබා ගන්නා බත්වේලේ පෝෂ්‍ය ගුණය මෙන්ම රසය වඩාත් වැඩි කිරීමට හේතු වේ. ඒ බොහෝ විට සලාදයක දී එළවළු ආදිය අමුවෙන් ම ආහාරයට ගැනීමට මෙයින් හැකි වන නිසයි. සලාද වර්ග බොහොමයකි. එක් එක් සලාද වර්ග සඳහා ගන්නා එළවළු හා අමුද්‍රව්‍ය වෙනස් වන අතර ඇතැම් සලාද වර්ග සඳහා යොදා ගන්නා රසකාරක ද වෙනස් වේ. කෙසේ වෙතත් සලාදයකින් බත් පතකට එක්වන වෙනස ගැන නම් ඔබට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැති බව සිතෙන්නේ ඕනෑම උත්සව කෑම මේසයක් සලාද වර්ගවලින් අලංකාර වන නිසයි.

සලාද සෑදීම සඳහා බොහෝ එළවළු වර්ග යොදා ගැනේ. එමෙන්ම සලාදයක රසය මෙන්ම එය එළවළු වර්ග කිහිපයක් එකතු වී සෑදුණ එකක් නිසාම වර්ණ කිහිපයක් මිශ්‍ර වී සැකසෙන පෙනුම බත් පතට ද ගෙනදෙන්නේ අලංකාරයකි.

සලාද වර්ග සැකසීමේ දී විවිධ එළවළු වර්ග කපන ක්‍රම ද වෙනස් වේ. ඒවා සලාද වර්ග අනුව මෙන්ම එළවළු වර්ග අනුව වෙනස් වේ.

බොහෝ විට අප නිවෙසේ දී සාමාන්‍යයෙන් සකසන පිපිඤ්ඤා සලාදය සඳහා පිපිඤ්ඤා ඉතා සිහින්ව පෙති ආකාරයට කැපීමට හුරුවී සිටිය ද එසේ කැපීමෙන් මඳ වේලාවක් යන විට පිපිඤ්ඤාවල ඇති දිය ස්වභාව නිසා සලාදයේ වතුර ගතියක් දකින්නට ලැබේ. මේ නිසා දැන් බොහෝ විට පිපිඤ්ඤා සලාදය වුවද සාදන්නේ ඒවා කොටු හැඩයට කැපීමෙනි.

දැන් බොහොමයක් සලාද සඳහා එළවළු කුඩා කොටු හැඩයට කැපීම සිදු කරයි. මේ කැපුම ඉවුම් පිහුම් කලාවේ දී හඳුන්වන්නේ බෘෘනොයිස් ලෙසයි. මේ කැපුම කරන්නේ කෙසේදැයි අපි ඔබට පැහැදිලි කරන්නෙමු.

පළමුවෙන් තෝරාගත් එළවළු වර්ගය කැමැති දිග ප්‍රමාණයකට කපා ගන්න. දැන් එම දිගට කපා ගත් කොටස් මිලි මීටර් දෙකක් පමණ දිගට පෙති සේ කපා ගන්න. පෙති ලෙස කපා ගත් එම එළවළු මිලි මීටර දෙකක් දිගට සිටින සේ නැවත තීරුවලට කපා ගන්න. දැන් එම තීරු මිලි මීටර දෙකක් දිගට කොටු හැඩයට කපා ගන්න. කැරට්, බීට්, අර්තාපල්, බී ලූනු, බෙල් පෙපර්, තක්කාලි ආදී එළවළු වර්ග මෙලෙස කපා සාදන ලද සලාද ඔබත් දැක ඇති.

මැක්ඩ්වාන් ලෙස හඳුන්වන්නේ මේ ආකාරයේ ම තරමක් ලොකු කැට ලෙස එළවළු, පලතුරු කපා ගැනීමයි. පළමුවෙන් තෝරාගත් එළවළු හෝ පලතුරු වර්ගය පහසු දිග ප්‍රමාණයකට කපා ගන්න. එම දිග යළිත් සෙන්ටිමීටර භාගයක් දිගට පෙති ලෙස කපා ගන්න. එම පෙති යළිත් සෙන්ටිමීටර භාගයක් දිගට තීරු ලෙස කපා ගන්න. නැවතත් එම තීරු සෙන්ටිමීටර භාගයක් පමණ වන කොටු ලෙස කපා ගන්න.

ඇතැම් එළවළු වර්ග දිගටි හැඩයට කපා සලාද සකසා ඇති ආකාරය ඔබ හෝටල්වල දී දැක ඇති. ඇතැම් සලාද වර්ග සඳහා එළවළු දිගටි තීරු ලෙස කපා ගැනේ.

ජුලියන් ලෙස හැඳින්වෙන්නේ එලෙසින් තීරු ලෙස එළවළු කපා ගැනීමයි. ගෝවා, කැරට්, බෙල් පෙපර් ආදී එළවළු වර්ග මෙලෙස තීරු ලෙස කපා සකසා ඇති සලාද වර්ග ඔබ කොතෙකුත් රස විඳ ඇති.

පළමුවෙන්ම තෝරා ගත් එළවළු වර්ගය සෙන්ටිමීටර හතරක් පමණ දිගට කපා ගත යුතුය. දැන් එම දිග තීරු සිහින්ව පෙති ලෙස කපා ගන්න. එම සිහින් පෙති නැවත සිහින් තීරුවලට කපා ගන්න.

මේ කැපුම් ක්‍රම හෝටල්වල භාවිතයට ගන්නා කැපුම් ක්‍රම වුවත් ඒවා පුරුදු පුහුණු වීමෙන් ඔබට නිවෙසේ දී සකසන සලාද වර්ග වුවද රසවත්ව, අලංකාරව සැකසීමට හැකියාව ලැබේවි.