අවුරුදු තේ මේසය රසවත් කරන සිංහල කැවිලි

අප්‍රේල් 4, 2022

 

අතුපතර හිඳ හඬතලන කොහාගේ මිහිරිතම නාදය, මලින් ඵලින් බරවුණු ගහකොළ අපට මේ පවසන්නේ බක් මාසය එහෙමත් නැතිනම් අප්‍රේල් මාසය උදාවූ බව නොවේද? නැකතට චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරන්නට, අලුත් ඇඳුමින් පැලඳුමින් හැඩවැඩ වන්නට, නෑගම් යන්නට, හිත මිතුරන් සමඟ සතුටු සාමීචියේ යෙදෙන්නට ඇඟිලි ගණිනා සිංහල හින්දු අලුත් අවුරුද්ද ළඟ ළඟම එයි.

බක් මාසය එහෙමත් නැතිනම් අලුත් අවුරුද්ද උදාවනවා සමඟම අපේ කාන්තාවන්ගේ මතකයට නැගෙන්නේ සරුසාර කැවිලි මේසයකි. කිරිබත් සහ කෙසෙල් සමඟ හරි හරියට හිනාවෙන කැවුම්, කොකිස්, ආස්මී, අලුවා, වැලිතලප, අග්ගලා පිරුණු අපූරුම කැවිලි පාරාදීසයකි. අතමිට කොයිතරම් මිල මුදල් අඩු වුණත් ඕනෑම ගෘහණියක් උත්සාහ දරන්නේ තමන්ට හැකි උපරිම අන්දමින් කිරිබතට ලුණු මිරිසට අමතරව රසකැවිලි එකක් දෙකක් හෝ තනාගන්නයි. ඉතින් ඒ නිසා තරුණී අපි මෙවර ඔබට තිළිණ කරන්නේ අවුරුදු මේසය හැඩවැඩ කරනා, කවුරුත් රසවිඳින්නට ආසා කරනා කැවිලි කිහිපයකි.

අරපිරිමැස්ම දන්නා ඔබ අලුත් අවුරුදු මේසයට අඩුවක් නොදැනෙන්න කැවිලි කිහිපයක් හෝ සාදා ගන්නට අමතක කරන්න එපා.

ඉදිරිපත් කිරීම Raan's Kitchen හි

සූපවේදිනී රංගනා දුලංජලී

 

 

කැවිලි මේසයේ හැඩකාරයා කොණ්ඩ කැවුම්

 

* සුදු කැකුලු හාල් පිටි ග්‍රෑම් 200ක්

* පාන් පිටි ග්‍රෑම් 200ක්

* පොල් පැණි මිලි ලීටර් 130ක්

* සීනි ග්‍රෑම් 100ක්

* වතුර මිලි ලීටර් 225 - 250ක්

* මාදුරු තේ හැඳි 1/4ක්

* සූදුරු තේ හැදි 1/4ක්

* ලුණු ස්වල්පයක්

* අවශ්‍ය පමණට පොල්තෙල්

 

 

* හාල් පිටි ටික හොඳින් හළා ගන්න.

* පිරිසුදු බඳුනක් ගෙන එයට සීනි සහ පැණි ටික දමා හොඳට දිය කර ගන්න. ( සීනි ඉක්මනින් දියකර ගැනීමට සිහින් කැට සහිත සීනි තෝරගන්න. )

* මෙයට වතුරත් ටික ටික එකතු කරන්න.

* මාදුරු , සූදුරු සහ රස අනුව ලුණු ස්වල්පයක් ද එකතු කර කලවම් කරගන්න.

* අනතුරුව හාල් පිටි සහ පාන් පිටි ටිකද ඉහත මිශ්‍රණයට දමා හොඳින් දිය කරමින් කැවුම් මිශ්‍රණය සකසා ගන්න.

* දැන් ඉතිරිව ඇත්තේ කැවුම් ටික සකසා ගැනීමයි.

* ඒ සඳහා තාච්චියක් ළිප තබා කැවුම් බැදීමට සෑහෙන පමණ පොල්තෙල් දමන්න.

* දැන් තෙල් රත් වීගෙන ආවිට කැවුම් මිශ්‍රණයෙන් පොඩ්ඩක් ගෙන තාච්චියේ මැදට වන්නට හෙමින් එක තැනටම වත් කරන්න.

* මෙලෙස මිශ්‍රණය වත් කරනවිට මැද කුඩා හිලක් වගේ හැදේවි. ඒත් අත ඒ ඉරියව්වෙන්ම තබාගෙන තවදුරටත් මිශ්‍රණය හිමින් හිමින් වත් කරන්න.

* ඉන්පසුව මෙය ටිකින් ටික රවුම් කරමින් තෙල් ඉස ගත යුතුයි.

* කැවුමේ කොණ්ඩය හොඳින් සකසා ගන්නට නම් කැවුම මැදට එනම් හිල වගේ හැදුණු තැනට තෙල්කූර තබා සෙමෙන් කරකවමින් තෙල් ඉසින්න. එවිට ඇතුළත ඇති අමු පිටි ටික එළියට පැමිණෙමින් කැවුමේ කොණ්ඩය සැකසේවි.

* මෙලෙස කොණ්ඩය රවුම් කරමින් හොඳින් තෙල් ඉසිමින් කොණ්ඩ කැවුම බැද ගත යුතුය.

 

 

* කැවුම් මිශ්‍රණය වත් කි‍රීමට කුඩා ප්‍රමාණයේ මිනුම් හැන්දක් පාවිච්චි කරන්න. එවිට එකම ප්‍රමාණයකින් යුත් කැවුම් සකසා ගත හැකියි.

* සෑමවිටම කොණ්ඩ කැවුම වැසෙන්නට තෙල් තිබිය යුතු අතර තාච්චිය හොඳින් රත් වී තිබිය යුතුයි.

 

**********************

කන්න කන්න ආස හිතෙන කජු අලුවා

අවශ්‍ය ද්‍රව්‍ය

 

* හාල්පිටි ග්‍රෑම් 250ක්

* සීනි 250g

* වතුර කෝප්ප 1

* එනසාල් ඇට 4-5 ක්

* ලුණු තේ හැදි 1

* කජු ටිකක්

 

සාදන ආකාරය

 

* මුලින්ම හාල් පිටි තාච්චියකට දමා අඩු ගින්දරේ සුවද එනතුරු බැඳගන්න.

* ඊලගට සීනි භාජනයකට දමා වතුර කෝප්පයක් දමා දියකර ගෙන ලිපේ තියන් හැදි ගාන්න.

* එනසාල් සහ ලුණු ස්වල්පය එකතුකර මිශ්‍ර කරගන්න .

* සීනි දියවී නුල් ඇදෙන පදමට සාදා ගන්න.

* කජු එකතුකරනවානම් මේ වෙලාවේදී එකතුකරන්න පුලුවන්.

* දැන් පිටි ටික ටික දමමින් මිශ්‍ර කරගන්න.

 

* (පිටි ටිකක් වෙන්කරගන්න අලුවා කපන ලෑල්ල මතට හා අලුවා මතට ඉසගැනීම සඳහා...)

 

* පිටි ඉසගත් ලෑල්ලක් මතට මිශ්‍රණය දමා හොදින් තුනී කරගන්න .

* උඩටත් පිටි ටිකක් ඉහින්න.

* දැන් ඔබ කැමති හැඩයකට කෑලි කපාගන්න.

**********************

 

පැණි බේරෙන උඳු වළලු

 

* හාල් පිටි කෝප්ප ග්‍රෑම් 100ක්

* උඳු ග්‍රෑම් 200ක්

* හොඳින් ඉදුණු ලොකු කෙසෙල් ගෙඩියක්

* පොල් කිරි කෝප්ප 1 1/2 ක්

* ලුණු ස්වල්පයක්

* කිතුල් පැණි මිලිලීටර් 500ක්

* හකුරු හෝ සීනි ග්‍රෑම් 100ක්

* බැදීමට අවශ්‍ය තරමට පොල්තෙල්

 

 

* උඳු ටික රැයක් පෙගෙන්නට තබන්න.

* දැන් පොඟවා ගත් උඳු ටික පොල් කිරි සහ කෙසෙල් ගෙඩිය සමඟ ක්‍රීම් වනතුරු අඹරන්න.

* පොල්කිරි ටිකින් ටික එකතු කරන්න.

* එයට ලුණු සහ හාල් පිටි මිශ්‍ර කර ඝනකමින් වැඩි මිශ්‍රණයක් සාදාගන්න.

* මේ මිශ්‍රණය වසා පැයක් පමණ තබන්න.

* දැන් බඳුනක් ගෙන එයට පැණි සමඟ හකුරු හෝ සීනි එකතුකර ළිප තබන්න.

* එයට වතුර ස්වල්පයක් ද එකතු කර සාමාන්‍ය පදමට පැණි උණු කරගන්න.

* දැන් පයිපින් බෑග් එකක් ගෙන සකසා ගත් උඳු මිශ්‍රණයෙන් ටිකක් දමන්න.

* තෙල් බඳුනක් ළිප තබා එයට පයිපින් බෑග් එක ආධාරයෙන් රවුමට උඳුවළලු මිරිකා රන්වන් පැහැයට බැදගන්න.

* අනතුරුව බැදගත් මේ වළලු උණු පැණි එකට දමා පැණි උරාගත් පසු ඉවත් කරගන්න.

* පැණි බඳුන දිගටම මඳ ගින්දරේ තබන්න අමතක කරන්න එපා.

 

****************

රසම රස අතිරස

 

* හාල් පිටි ග්‍රෑම් 200ක්

* දුඹුරු සීනි ග්‍රෑම් 200ක්

* වතුර මිලිලීටර් 125ක්

* කුඩු කරගත් එනසාල් තේ හැන්දක්

* ලුණු තේ හැඳි 1/2ක්

* බැදපු හාල් කප්පි මේස හැඳි 02ක්

 

 

 

* බඳුනක් ළිප තබා එයට සීනි තේ හැන්දක් දමන්න. එය තරමක් දුඹුරු පාට වෙන්නට හරින්න.

* සීනි ටික කර වීගෙන එද්දී එයට ඉතිරි සීනි සහ වතුර එකතු කර උතුරන තෙක් හැඳිගාන්න.

* කුඩු කරගත් එනසාල් සහ ලුණු ද එයට එකතු කරන්න.

* බැදපු හාල් කප්පි ටිකත් කලවම් කරන්න.

* සීනි හොඳින් දිය වී මිශ්‍රණය උතුරන විට ළිප නිවා හාල් පිටි පොඩ්ඩ පොඩ්ඩ එයට එකතු කරමින් ඝනකම් මිශ්‍රණයක් සාදා ගන්න.

* තවත් කුඩා වේලාවක් ළිප තබා මේ මිශ්‍රණය තලපයක් ගානට තව ටිකක් තම්බා ගන්න.

* දැන් වෙනත් බඳුනකට මෙය මාරු කර ළිප මත ඇති බඳුනට වතුර පොඩ්ඩක් එකතු කරලා එය කැඳ එකක් වගේ උකුවට සාදා ගන්න.

* ඉන්පසුව මේ කැඳ මිශ්‍රණය පොඩ්ඩ පොඩ්ඩ අපි හදා ගත්ත තලපයට එකතු කරමින් කලවම් කරන්න.

* අනතුරුව තෙල් ස්වල්පයක් මෙය වටේටම තවරා කුඩා බෝල කඩාගන්න.

* මෙහිදී වරින්වර කැඳ මිශ්‍ර කරමින් තලපය වියළෙන්නට නොදී තබාගන්නටත් අමතක කරන්න එපා.

* කඩාගත් බෝල අතින් තරමක් පැතලි කරගන්න .

* ඉන්පසුව පැතලි කරගත් අතිරස ගැඹුරු තෙලේ බැද ගන්න .

********************

කර කර ගා රසට හැපෙන කොකිස්

 

* හාල් පිටි ග්‍රෑම් 150ක්

* සීනි තේ හැඳි 1/2ක්

* ලුණු තේ හැඳි 1/2ක්

* කහ කුඩු තේ හැඳි 1/2ක්

* උකු පොල් කිරි මිලිලීටර් 200ක්

 

 

 

* හාල් පිටි හොඳින් හළාගෙන බඳුනකට දමාගන්න.

* එයට සීනි , ලුණු සහ කහ කුඩු එකතු කර කලවම් කරන්න.

* අනතුරුව පොල්කිරි ටිකෙන් ටික එකතු කරමින් උකුවට කොකිස් මිශ්‍රණය සදා ගන්න.

* දැන් තාච්චිය ළිප තබා කොකිස් අච්චුව වැසෙන ප්‍රමාණයට පොල්තෙල් දමන්න.

* තෙල් රත්වීගෙන එනවිට අච්චුව ද තෙල්වල බහා තරමක් රත් කරගන්න.

* ඉන්පසුව මේ අච්චුව පරෙස්සමට කොකිස් මිශ්‍රණයේ බහා නැවතත් තෙල් තාච්චියට දමන්න. මෙහිදී අච්චුව වැසෙන පරිදි කොකිස් මිශ්‍රණයේ බහාලන්නට එපා.

* ඒ වාගේම අච්චුව තෙල් තාච්චියේ යට ගෑවෙන්නට දෙන්නත් එපා.

* ටික වෙලාවක් යනවිට අච්චුවෙන් ගැලවෙන තරමට කොකිසය බැදීගෙන එනවිට පොඩි තට්ටුවක් දමා ගැලවෙන්නට හරින්න. නැතිනම් තෙල්කූර ආධාරයෙන් කොකිසය ගලවා ගන්න .

* ගලවා ගත් කොකිසය තව පොඩ්ඩක් බැදෙන්නට ඉඩ දී පරෙස්සමට පිටතට ගෙන තෙල් බේරෙන්නට තබන්න.

*********************

හැඩ වාගේම රස පොල් ටොෆි

 

 

* සීනි ග්‍රෑම් 300ක්

* පොල් ගෙඩියක ගා ගත් පොල්

* බටර් ග්‍රෑම් 25ක්

* වැනිලා තේ හැඳි 01ක්

* ආහාර වර්ණක (රෝසපාට හෝ ඔබ කැමැති වර්ණයක්)

* වතුර කෝප්පයක්

 

 

 

* මුලින්ම හතරැස් හැඩයේ බන්දේසියක් ගෙන එහි බටර් ටිකක් තවරා සූදානම් කර පසෙකින් තබන්න.

 

* අනතුරුව නොඇලෙන බඳුනක් ළිප තබා එයට සීනි සහ වතුර එකතු කරන්න.

 

* සීනි ටික හොඳින් දිය වුණු පසු සිහින්ව ගාගත් පොල් ටික එකතු කරන්න.

* එයටම ආහාර වර්ණක, බටර් ස්වල්පයක් සහ වැනිලා එකතු කරන්න.

 

* සියල්ල හොඳින් කලවම් කරමින් හැඳිගාන්න.

 

* මෙලෙස දිගටම හැඳි ගාන අතරේ ටිකින් ටික මිශ්‍රණය ඝනකම් වෙන බව ඔබේ අතට දැනේවි.

 

* එව්ට බඳුන ළිපෙන් ඉවතට ගෙන මුලින් සූදානම් කර ගත් බන්දේසියට දමා හොඳින් තුනී කරගන්න.

 

* විනාඩි 10 - 12 ක් ගත වූ පසුව මිශ්‍රණය හොඳින් සවි වූ විට ඔබ කැමති හැඩයකට කෑලි කපාගන්න.