ලොවක් නැළ වූ කෑම

ඔක්තෝබර් 3, 2022

ක්ෂණිකව සැකසූ නාසිගුරාන් බත

 

බාස්මති හාල් කිලෝ එකක්

කොටු කපාගත් කැරට් ග්‍රෑම් 100ක්

කපාගත් ලීක්ස් ග්‍රෑම් 50ක්

රතු මිරිස් කරල් දෙකක් පමණ

තළාගත් ඉඟුරු, සුදුලූනූ ග්‍රෑම් 25 බැගින්

සෝයා සෝස් තේ හැඳි තුනක්

රස අනුව ලුණු

පිපිඤ්ඤා ග්‍රෑම් 100ක්

එළවළු තෙල් තේ හැඳි තුනක්

කටු රහිත කුකුළු මස් ග්‍රෑම් 500ක් (කොටු කපාගත්)

බැදගත් බිත්තර 5ක්

තක්කාලි සෝස් තේ හැඳි 5ක්

 

 

මුලින්ම බාස්මති සහල් සෝදා ගත් පසු විනාඩි දහයක් පමණ පසෙකින් තබා හොඳින් පොඟවා ගන්න. ඉන්පසු එය සුපුරුදු පරිදි තම්බා පසෙකින් තබා ගන්න. නාසිගුරාන් බත සාදා ගැනීමට සෑහෙන තාච්චියක් ළිප මත තබා මඳක් රත් වෙමින් පවතිද්දී එයට තෙල් දමන්න. තළා ගත් ඉඟුරු, සුදුලූනූ ද එයටම මිශ්‍ර කරන්න. කොටු කපාගත් කුකුළු මස් එයටම දමා හොඳින් රන්වන් පැහැ වන ආකාරයට පිස ගන්න. එයටම කැරට්, ලීක්ස්, මිරිස් දමා තවත් විනාඩි තුනක් පමණ කලවම් කරගත් පසු තක්කාලි සෝස්, සෝයා සෝස් දමා ගනිමින් තම්බා ගත් බත් එයට දමා හොඳින් කලවම් කරන්න. මෙය ෆ්‍රයිඩ් රයිස් එකක් ආකාරයට සාදා ගන්න.

කොත්තමල්ලි කොළ, පිපිඤ්ඤා, දමා නාසිගුරාන් රසය විඳ ගන්න. මෙය පස් දෙනකුට පමණ සෑහේ.

 

Spaghetti Carbonara

 

ස්පැගටි පැස්තා ග්‍රෑම් 500ක්

සිහින්ව කපාගත් බීලූනු ග්‍රෑම් 25ක්

තළා ගත් සුදුලූනූ ස්වල්පයක්

සිහින්ව ලියාගත් ඔරිගානෝ කොළ ස්වල්පයක්

පාමසන් චීස් ග්‍රෑම් 25ක්

කුකුළු මස් හැම් හෝ බේකන් ග්‍රෑම් 100ක් (කොටු කපාගත්)

නැවුම් කිරි මිලිලීටර් දෙසීයක්

රස අනුව ලුණු

ගම්මිරිස් කුඩු

බිත්තර 5 ක කහමද

 

 

පළමුව ස්පැගටිවලින් සියයට 75ක් පමණ තම්බා ගෙන ඉක්මනින් තුනී කොට නිවාගන්නට පසෙකින් තබන්න.

ව්‍යංජනය සාදාගැනීමට ඉඩ ප්‍රමාණය ඇති මඳක් ලොකු භාජනයක් ගෙන එය ළිප මත තබා ක්‍රමයෙන් රත්වන විට තෙල් හෝ බටර් දමා ගනිමින් ඔරිගානෝ කොළ, ලූනු, සුදුලූනු, හතු, කොටු කපාගත් කුකුළු මස් හැම් හෝ බේකන් එකතු කරගනිමින් හොඳින් රන්වන් පැහැ වන ආකාරයට කලවම් කරගන්න. පසුව එයට ක්‍රීම් එකතු කරගන්න. එය ද හොඳින් රත් වුණු පසු ස්පැගටි පැස්තා එකතුකර චීස්, ලුණු, ගම්මිරිස් එකතු කරගනිමින් අඩිය නොඇලෙන සේ කලවම් කර අවසානයේ බිත්තර කහ මද දමා කළවම් කොට ළිප නිවාගන්න. මේ ප්‍රමාණයන් පස් දෙනකුට සෑහේ.

 

 

උපදෙස්

Colombo Court

Hotel හි

ප්‍රවීණ සුපවේදි

ජගත් ලියනගේ