සරල ක්‍රමයට පහසු මුදලට ගෙදර සකසන රස වයින්

දෙසැම්බර් 12, 2022

 

නත්තල ළඟා වෙලා.... මුළු පරිසරයම නත්තල් සමරන්න දැන් පටන්ම සූදානම් වෙනවා. මේ නත්තල තමයි සැබෑම නත්තල. එහෙම කියන්න හේතුවක් තියනවා. නත්තල කියන්නේ දුප්පත් පොහොසත් බේදයක් නැතිව කිතු උපත සතුටින් සැමරීම. මෙවර කිතු උපත සමරන්න බොහෝ දෙනෙකුට අපහසුයි. ඒ ආර්ථික ගැටලු තියන නිසයි. නත්තල සමරන්න අපහසුවෙන් සිටින හැම දෙනාටම තමන්ට පුළුවන් තරමින් සමරන්න බැරි කමක් නැහැ.

සාමාන්‍යයෙන් නත්තල සමරන කතෝලික බැතිමතුන්ගේ සංකේතාත්මක කෑම බීම වර්ග කිහිපයක්ම තියෙනවා. ඒ අතුරින් වයින් කියන්නේ කතෝලික බැතිමතුන් නත්තලට තමුන්ගේ නිවෙසට පැමිණෙන නෑ හිතමිතුරන්ට සංග්‍රහ කරන්න යොදා ගන්නා පානයක්. විශේෂයෙන්ම හලාවත, මීගමුව, පුත්තලම වැනි කතෝලික බැතිමතුන් බහුලව සිටින ප්‍රදේශවල නත්තලට වයින් සෑදීම සෑම වසරකටම සිදු වෙනවා.

දැන් තිබෙන ආර්ථික අපහසුතා නිසා බොහෝ දෙනෙකුට වයින් බෝතලයක් මිලදී ගැනීම අපහසුයි. ඒ නිසා වයින් පානය සඳහා තමුන්ගේ නිවෙසේම සාදාගන්න පුළුවන් සරල ක්‍රම කිහිපයක්ම තිබෙනවා. අපි මේ ආකාරයේ වයින් බෝතල් කිහිපයක් සාදා ගත්තොත් ඔබට මෙවැනි කාලයක ලොකු ඉතිරියක්.

මේ වසරේ නත්තලට ඔබට නිවෙසේදී පහසුවෙන් සාදාගන්න පුළුවන් ආකාරයට ඉදිරිපත් කරන මේ වයින් වර්ග කිහිපයක් සඳහා වැය වන පිරිවැය අඩුයි. ඒ වගේම ඔබට ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගැනීමටත් පහසුයි.

 

උපදෙස් -

විධාගත සුපවේදී තරංග

සංජීව අබේසේකර

තැඹිලි වයින්

අවශ්‍ය ද්‍රව්‍ය

තැඹිලි වතුර කෝප්ප 10ක්

සීනි ග්‍රෑම් 750ක්

දෙහි ගෙඩි 2ක යුෂ

කුරුඳු කෑලි 4ක්

එනසාල් 6ක්

කරාබුනැටි 10ක්

ඊස්ට් තේ හැන්දක්

කැරමල් මිශ්‍රණය සඳහා

සීනි ග්‍රෑම් 200ක් දැමු උණු වතුර

සීනි - කොප්ප 1/2ක් ග්‍රෑම් 100ක්

වතුර කෝප්ප 1/2ක්

 

සාදන ක්‍රමය

තැඹිලි වතුර හොඳින් පෙරාගන්න.

එයට සීනි කෝප්ප 1/2කට දෙහි දමා හොඳින් දියවනතෙක් කලවම් කරගන්න.

මිශ්‍රණය දැන් හොඳින් පෙරා ගන්න.

ඊට එනසාල්, කරදමුංගු කුඩුකර දමා කලවම් කර තවත් හොඳින් රත් කරන්න.දැන් සීනි එක්කරන්න. එයට ඊස්ට් එක් කරන්න.

එය කලවම් කර භාජනයක වසා තබන්න.

දින 5ක් සෑම දිනකම පසු දින සොලවා තබා ඉතිරි දින 5 ක කාලය නොසොල්වා තබා නැවත පෙරා කැරමල් මිශ්‍රණයක් සාදා හොඳින් නැවත කලවම් කරන්න.(භාජනයකට සීනි ටිකක් දමා දුඹුරු පැහැ වනතුරු කර කර එයට වතුර දමා කැරමල් එක සාදා ගන්න)

මෙයින් බෝතල් 2ක් පමණ සාදාගත හැකියි.

-----------------------

අන්නාසි වයින්

අවශ්‍ය ද්‍රව්‍ය

අන්නාසි ගෙඩි 1/2 (කුඩාවට කැබැලි කපාගත්)

ඊස්ට් තේ හැඳි 1/2ක්

සීනි ග්‍රෑම් 500ක්

ජලය මි. ලී. 500ක්

කුරුඳුපොතු කැබැලි 2 ක්

එනසාල් ඇට 2ක්

 

සාදන ක්‍රමය

 මුලින්ම වතුර සීනි කලවම් කරන්න.

 එයට අන්නාසි දමා නැවත කලවම් කරන්න.

 දැන් එයට ඊස්ට් එකතු කරන්න. මේ මිශ්‍රණය බෝතලයක දමා කට ගැටගසා බඳින්න.

 දින 12ක් පල්වෙන්න තබන්න. පළමු දින 4 දී සෑම දිනකම බෝතලය හොඳින් සොලවන්න.

 ඊට පසු හොඳ පෙරහනකින් පෙරා ගන්න.

 තව දින 10ක් පල් වෙන්න තබන්න.

 පසුව බෝතල්වලට අසුරා ගන්න.

--------------------

ඉඟුරු හා රටඉඳි වයින්

අවශ්‍ය ද්‍රව්‍ය

ඉඟුරු ග්‍රෑම් 250 - 350ක් (කුඩාවට කපා ගත්)

රට ඉඳි ග්‍රෑම් 500ක් (ඇට ඉවත්කර)

දොඩම් ගෙඩි 2 ක යුෂ

ලෙමන් ගෙඩි 2ක යුෂ

ජලය බෝතල් 8ක්

සීනි කිලෝ ග්‍රෑම් 2ක්

ඊස්ට් තේ හැඳි 2ක්

අරක්කු මි. ලී. 200ක් (අවශ්‍ය නම්)

 

සාදන ක්‍රමය

* ලෙමන් පොඩිවට කපා වතුරේ තම්බා ගන්න.

* විනාඩි 20ක් මෙය නටන්නට තබා මෙය පෙරා ගන්න.

* අරක්කු හැර අනෙක් සියලු දෑ මෙයට දමා ලී හැන්ඳකින් කලවම් කරන්න.

* දින 15 - 20ක් භාජනයකට දමා කට බැඳ සීල් කර පල් වෙන්න තබා දින 20 කින් පෙරා ගන්න.

* දැන් අරක්කු මෙයට එක් කරන්න.

* තව දින 6ක් පමණ නැවත පල්වෙන්න තබන්න.

*දැන් යළිත් පෙරා ගන්න.

* දැන් ඔබට බෝතල්වලට ඇසුරුම් කළ හැකියි.

 

-----------------

කැරට් වයින්

අවශ්‍ය ද්‍රව්‍ය

කැරට් කිලෝ ග්‍රෑම් 2ක්

ලයිම් යුෂ ගෙඩි 5ක

දොඩම් ගෙඩියක යුෂ

ලෙමන් යුෂ ගෙඩියක

වතුර බෝතල් 10ක් පමණ

සීනි කිලෝ ග්‍රෑම් 4ක්

ඉඟුරු කැබැල්ලක්

ඊස්ට් තේ හැන්ඳක්

 

සාදන ක්‍රමය

 කැරට් හොඳින් ශුද්ධ කර රවුමට පෙති කපාගන්න‍.

ඉඟුරු කැබැල්ල ද පෙති කපා ගන්න.

 කැරට් සහ ඉඟුරු පෙති භාජනයකට දමා වතුර යොදන්න (බෝතල් 10). වතුර බෝතල් 2 දක්වා හිඳගන්න.

 පසුව නිවෙන්න තබා පෙරා ගන්න.

 එයට ඊස්ට්, සීනි දමා සීනි දියවෙනතුරු කලවම් කරන්න.

 දැන් හොඳටම නිවෙන්න තබන්න.

 මෙයට දෙහි, දොඩම් දමා ලොකු බෝතලයකට පුරවන්න.

 මෙය දින 3ක් කලවම් කරමින් පල් කරන්න. ඊට පසු තවත් දින 3ක් නොසෙල්වා පල් කර දින 6කට පසු ෆිල්ටර් රෙදි කැබැල්ලකින් පෙරා ගන්න.

---------------------

බීට්රූට් වයින්

අවශ්‍ය ද්‍රව්‍ය

බීට් කිලෝ ග්‍රෑම් 1ක්

සීනි ග්‍රෑම් 750ක්

ජලය බෝතල් 3ක්

ආමන්ඩ් එසන්ස් තේ හැන්ඳක්

කරදමුංගු ඇට 3ක්

දෙහි ගෙඩි 2ක යුෂ

ඊස්ට් තේ හැන්ඳක්

මුද්දරම්පලම් ග්‍රෑම් 50ක්

 

සාදන ක්‍රමය

 ඊස්ට්වලට සීනි ස්වල්පයක් (ග්‍රෑම් 100) දමා මඳ රස්නේ වතුර ටිකක් තබා වසා තබන්න.

 බීට්රූට් කැබලිවලට එය දමා වතුර බෝතල් 3 එක්කර එය බෝතල් 1 1/2ක් වනතුරු (එකවර ගින්දර ද) උතුරා ගෙන ඉවත් කරන්න.

 ඊට පසු වතුර ටික සෙමෙන් පෙරා ගන්න.

 මෙය ටිකක් නිවෙන්නට තබා දෙහි, දියකර ගත් ඊස්ට් මිශ්‍රණය, එසන්ස්, මුද්දරපලම්, තලාගත් කරදමුංගු සහ ඉතිරි සීනි ටික එකතුකර ලී හැන්දකින් කලවම් කරන්න.

 මෙය දැන් වසා බන්න.

 මෙය දින 15ක් පමණ සෑම දිනම මූඩිය අරින්නේ නැතුව සොලවන්න.

 දින 15කට පසු පැනල් රෙදි කෑල්ලකින් පෙරා ගන්න. ඊට පසු ෆිල්ටර් රෙදි කැබැල්ලකින් හෝ ෆිල්ටර් කඩදාසියකින් හෝ පෙරා බෝතල්වලට අසුරන්න.