ඇඟට පතට සුවය ගේන අඩු වියදම් කෑම බීම

පෙබරවාරි 20, 2023

ලෝකයේ හැම රටකටම පාහේ තමන්ටම අනන්‍ය වූ ආහාර සංස්කෘතීන් තිබෙනවා. ඒ අතරින් ආසියාතික රටවල ආහාර රටාවට සුවිශේෂී තැනක් හිමිවන්නේ මස්, මාංස වර්ග භාවිතය අවම කරගෙන පෝෂ්‍යදායී මෙන්ම රසවත් ආහාර සකසන නිසාවෙනුයි.

 

ශ්‍රී ලංකාව කියන්නෙත් සාම්ප්‍රදායික ආහාරවලින් ඉතාම පොහොසත් ආහාර සංස්කෘතියක් සහිත රටක්. දේශීය ආහාර රටාවේ තියෙන  සොබාදහමට වඩාත් සමීප ආහාර වට්ටෝරු මෙන්ම ආහාර පුරුදු නිසා ආහාරයේ රසය ගුණය සුරැකෙන ආකාරයට සැකසීමට වගේම ආහාර වේලෙහි අන්තර්ගත පෝෂණය උපරිමයෙන්ම ලබා දීමට හැකිවන පරිදි වටපිටාව සැකසී තිබෙනවා.

 

ඉතින් මෙවර තරුණී කෑම අතිරේකයෙන් ඔබට ඉදිරිපත් කරන්නේ දේශීය ආහාර වට්ටෝරු කිහිපයකි. මේ ආහාරවල ඇති විශේෂත්වය වන්නේ ඇතැම් ආහාර වර්ග අපෙන් මේ වනවිට ඈතට ගොස් තිබීමයි. අපේ සංස්කෘතියෙන් ගිලිහී යන දේශීය ආහාර වට්ටෝරු මතු පරපුරටත් දයාද කිරීම අපගේ වගකීමයි. මේ දේශීය ආහාර වට්ටෝරු සකසා ඔබත් රස බලන්න.

 

උපදෙස්

විධායක සූපවේදී

සුජිත් ආරියරත්න

 

අළුකෙසෙල් මැල්ලුම

අළුකෙසෙල් හදන්න තියෙන්නේ ක්‍රම දෙක තුනක් යැයි සිතන බොහෝ දෙනෙක් එයට වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ. ඒත් බලන්න අළුකෙසෙල් මැල්ලුමක් බත් වේලකට ගෙන දෙන රසවත් බව. සිරුර සිසිල් කරන අළුකෙසෙල් මින් පසුව පවුලේ රසවත්ම ආහාර අතරට එක්වනු නිසැකයි.

 

අළුකෙසෙල් ගෙඩි කිහිපයක්

පොල් ස්වල්පයක්

කරපිංචා ඉත්තක්

රතු ලූනු ගෙඩි 2-3ක්

අමු මිරිස් හෝ නයි මිරිස් කරලක් දෙකක්

උම්බලකඩ ස්වල්පයක්

පොල් තෙල් ස්වල්පයක්

කහ කුඩු ස්වල්පයක්

අබ ඇට ටිකක්

ගම්මිරිස් ස්වල්පයක්

ලුණු රස අනුව

 

 

 

පළමුවෙන්ම අළුකෙසෙල් සෝදා ලෙලි ඉවත්කර කොටු හැඩයට කපා ගන්න. දැන් ඒ කපාගත් අළුකෙසෙල්වලට වතුර ස්වල්පයක් හා ලුණු ස්වල්පයක් දමා තම්බා ගන්න. මෙය බෙරි නොවන සේ තම්බා ගත යුතුයි. තැම්බුණු පසුව වතුර බේරා පැත්තකින් තබන්න.

 

අළුකෙසෙල් ප්‍රමාණයට සරිලන සේ ගත් පොල්වලට කරපිංචා, රතු ලූනු, අමු මිරිස්, නයි මිරිස්, උම්බලකඩ, කහ කුඩු, ලුණු ස්වල්පයක් ද එකතුකර ගලේ දමා අඹරා ගන්න. නැත්නම් වංගෙඩියක කොටා ගන්න.

 

දැන් සාදාගත් පොල් මිශ්‍රණය අළුකෙසෙල් එකට දමා මිශ්‍ර කරන්න.

 

භාජනයක් ළිප තබා තෙල් තේ හැඳි 2ක් පමණ දමා අබ ඇට ස්වල්පයක් දමා අබ පුපුරන විට එයට අළු කෙසෙල් මිශ්‍රණය දමන්න. දැන් මෙයට ගම්මිරිස් කුඩු ස්වල්පයක් දමා මිශ්‍ර කරගන්න. ලුණු රස බලා මදි නම් රස අනුව ලුණු එකතු කරගන්න. මඳ ගින්නේ විනාඩි 3ක පමණ වේලාවක් තබා ළිපෙන් ඉවතට ගන්න

----------------

කොල්ලු ව්‍යංජනය

කඩල, මුං ඇට ,කව්පි ආදී ධාන්‍ය වර්ග අපි නිරන්තරයෙන් රස විඳින ධාන්‍ය වර්ග කිහිපයකි. ඒ වගේම කොල්ලු කියන්නෙත් වටිනා ඖෂධ ගුණයෙන් යුතු ධාන්‍ය වර්ගයකි.

 

අතීතයේ සිටම කොල්ලු  ධාන්‍යයක් ලෙස තම්බා ආහාරයට ගැනීම වගේම ව්‍යාංජනයක් හා රොටී මෙන්ම කැවිලි සකස් කිරීමේදී ද යොදා ගෙන තිබෙනවා. වර්තමානය වනවිට  කොල්ලු පානය බොහෝ රෝගවලට ගුණදෙන ඖෂධීය පානයක් ලෙස ද භාවිත කිරීමට බොහෝ දෙනකු පෙළඹී තිබේනවා. අනෙකුත් ධාන්‍ය වර්ගවල මෙන්ම කොල්ලුවලද ශරීරයට ගුණදායක බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වේ. ඒ නිසා අපි හිතුවා කොල්ලු ව්‍යංජනයක් සාදන ආකාරය ගැන ඔබට කියලා දෙන්න.

 

 

කොල්ලු ග්‍රෑම් 250ක්

කරපිංචා කිනිත්තක්

සුදු ලූනු බික් 2ක්

රතු ලූනු ගෙඩි 4-5ක්

අමු මිරිස් කරල් 3-4ක්

උළුහාල් තේ හැඳි 1/2ක්

අමු තුනපහ කුඩු ස්වල්පයක්

මිරිස් කුඩු තේ හැඳි 1ක්

කහ කුඩු ස්වල්පයක්

කුරුඳු පොතු කෑල්ලක්

ලුණු රස අනූව

පොල් තෙල් ස්වල්පයක්

 

 

මේකට පොත්ත අයින් කරපු කොල්ලු ගන්නවනම් හොඳයි. දැන් කොල්ලු ටික ගරලා හෝදලා වතුර බේරෙන්න තියන්න. වතුර බේරුණ පස්සෙ කබලෙ රන්වන් පාටට එනකල් බැදගන්න.

දැන් කොල්ලු ටික වංගෙඩියෙ හරි ග්‍රයින්ඩර් එකේ හරි ටිකක් කෑලි හිටින්න කොටා ගන්න. මැටි භාජනයක් අරගෙන මේ ටික දාලා තුනපහ කුඩු, මිරිස් කුඩු, කහ කුඩු හා ලුණු එකතු කරලා වතුර ටිකක් වැඩිපුර දාලා තැම්බෙන්න හරින්න. කොල්ලු ටික තැම්බීගෙන එනකොට හීනියට කපාගත් ලූනු, කරපිංචා, අමු මිරිස්, සුදු ලූනු වෙනම තෙම්පරාදු කරලා මේ ව්‍යංජනයටම එකතු කරන්න.

-----------------

කාමරංකා චට්නි

කාමරංකා ගස් යට වැටී යන තරමටම ගස්වල පිරී ඉතිරිලා යන කාල ඕනෑ තරම් තිබෙනවා. වැඩියෙන් තියෙන කාමරංකා ගෙඩි කිහිපයකින් චට්නියක් සාදා ගත්තොත් එය දින කිහිපයක්ම කල් තබාගෙන ඔබට රස බැලිය හැකියි.

 

බත් පතට වෙනස් රසයක් තිබුණා නම් යැයි හිතෙන දවසකට කාමරංකා චට්නි හැන්දක් ඔබේ ඒ පැතුම ඉටු කරාවි.

 

බාගෙට ඉදීගෙන එන ලොකු කාමරංකා ගෙඩි අටක් පමණ

සීනි කෝප්පයක්

විනාකිරි කෝප්පයක්

කෑලි මිරිස් තේ හැන්දක් පමණ

මිරිස් කුඩු තේ හැඳි දෙකක් පමණ

රස අනුව ලුණු

 

 

කාමරංකා ගෙඩි කැබැලිවලට කපා ඇතුළේ ඇති ඇට කොටස් ඉවත්කර බ්ලෙන්ඩරයට දමා ගන්න. එයටම සීනි කෝප්පය හා විනාකිරි කෝප්පය දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.

 

ඉන්පසුව මැටි ඇතිළියක් ගෙන සාදා ගත් මිශ්‍රණය එයට දමා කෑලි මිරිස්, මිරිස් කුඩු හා ලුණු එකතුකර මඳ ගින්නේ හැඳිගාමින් හින්දවා ගන්න. මෙයට ඔබේ රසයට අනුව මිරිස් ප්‍රමාණය අඩුවැඩි කරගත හැකිය. ලුණු රස බලා ළිපෙන් ඉවත් කරගන්න. ජීවානුහරණය කළ බඳුනක අසුරා තැබීමෙන් කාලයක් තබාගෙන රසබැලිය හැකියි. පහසුවෙන් හා ඉක්මනින් සාදා ගත හැකි නිසාත්, ඉතාමත් අඩු වියදමකින් සකසා ගත හැකි රසවත් චට්නියක් නිසාත් මෙය ගෘහිණියන්ට ප්‍රයෝජනවත් වේවි.

------------------------

අලකොළ ව්‍යංජනය

අපේ රටේ වර්තමාන වැඩිහිටි පරම්පරාව අතර ජනප්‍රියව පැවතුණු, මැදි වයසේ උදවිය කලාතුරකින් ආහාරයට ගන්නා, එහෙත් වර්තමාන තරුණ පරම්පරාව කිසි දිනෙක ආහාරයට ගෙන නොමැති ආහාරයක් ලෙස අලකොළ ව්‍යංජනය සැලකිය හැකිය.

 

ඇතැම් ප්‍රදේශවල ගහල සහ වෙල් අලකොළ ලෙසින් ද මෙය හඳුන්වනවා.

බාල, තරුණ, මහලු කොයි කාගෙත් නීරෝගි සෞඛ්‍ය තත්ත්වය තහවුරු කිරීමට අවැසි ඛණිජ ලවණ වර්ග බොහෝ ප්‍රමාණයක් අලකොළවල අඩංගුවන බව සොයා ගෙන තිබෙනවා. යකඩ, කැල්සියම්, පොස්පරස්, සින්ක්, පොටෑසියම්, මැග්නීසියම් සහ තඹ ඇතුළු ඛනිජ ලවණ බොහෝ ප්‍රමාණයක් පහසුවෙන්ම ලබා ගත හැකි ආහාරයක් ලෙස අලකොළ හැඳින්විය හැකිය. එවන් පෝෂණ ගුණයෙන් සපිරි අලකොළවලින් අලකොළ ව්‍යංජනයක් මෙලෙස හඳමු.

 

 

අලකොළ ටිකක්

රතු ලූනු ගෙඩි 4-5ක්

සුදුලූනු බික් 3-4ක්

රම්පා/කරපිංචා

අඹරාගත් ගොරකා ටිකක්

පොල්කිරි කෝප්ප 1ක්

උම්බලකඩ කුඩු ස්වල්පයක්

මිරිස් කුඩු තේ හැඳි 2ක්

තුනපහ කුඩු තේ හැඳි 2ක්

කහ කුඩු තේ හැඳි 1/2ක්

ලුණු රස අනූව

 

අලකොළ  ටික පඳුරෙන් කපාගත්තයින් පස්සෙ අඩුම දවස් 3ක්වත් වේළෙන්න තියන්න ඕනෙ. අලකොළවල කොයිම වෙලාවකවත් තෙත අමු ගතිය රැඳෙන්න දෙන්න එපා, කට කසන ගතියක් එන්න බලනවා. ඒ නිසා ගෙනැල්ලා හොඳින් සෝදලා වේළෙන්න තියලා දවස් 3කට පස්සෙ පිසින්න ගන්න. අල කොළ පිසින්න කලින් සෝදන්​නෙ නැති නිසා පිරිසුදුව වියළා ගන්න. කපන්න ගන්න පිහිය සහ ලෑල්ල පවා හොඳින් වියළි ඒවා වෙන්න ඕනෙ. අල කොළවලට වතුර මිශ්‍ර නොවෙන්න තමා සකසා ගන්න ඕන.

 දැන් අලකොළවල දඬු වටේ පොත්ත හිමින් අයින් කරගෙන කොළත් එක්කම කපාගන්න.

භාජනයක් අරගෙන ඒකට හීනියට ලියාගත් රතු ලූනු, සුදු ලූනු, රම්පෙ, කරපිංචා එක්ක කිරි ටික දාලා ළිපේ තියන්න. මේකට අඹරාගත් ගොරකා, මිරිස්කුඩු, කහ, තුනපහ කුඩු එකතු කරන්න.

කිරි ටික උතුරනකොට අලකොළ ටික එකතු කරලා හොඳට හැඳි ගාන්න. රස බලලා ලුණු එකතු කරගන්න.

අලකොළ කෑවට පස්සෙ අපේ පැරැන්නො කියන්නෙ නම් ඇල් වතුර නොබී උණුවතුර බොන්න කියලයි. නැත්නම් කට කසනවලු. ඉතින් මේ පැරණි ආහාර සම්ප්‍රදාය ඉදිරියට ගෙනියන්න ඉඳහිටවත් මේවගේ පරණ කෑම හදලම බලන්න.