කන්න... කන්න ආස හිතෙන ගැටෝ

ජූලි 14, 2025

කේක් විශේෂාංගය බලන ගොඩක් අය ගැටෝ රෙසිපිය ඉල්ලා තිබුණා. ගැටෝ කියන්නේ හදන්න ලේසිම රෙසිපි එකක්. ඔයාලාට ස්පොන්ච් කේක් රෙසිපි එක වගේම ගැටෝඑකේ රෙසිපි එකත් හදාගන්නත් පුළුවන්. මේක නම් පොඩි කේක් එකක්. පිටි කෝප්පයකින් වගේ හදන රෙසිපි එකක්. බලන්නකෝ පවුලේ ආදරණීයයන් වෙනුවෙන් මේ ගැටෝ කේක් එක හදලා තේ පැන් සංග්‍රහයක් වෙනුවෙන් කදිමයි.

මුලින්ම අන්නාසි හා ඇපල් ස්ටු කරමු.

 

අන්නාසි ග්‍රෑම් 250ක්

වතුර කෝප්ප 1/2ක්

සීනි මේස හැදි 3 1/2ක්

ඇපල් ග්‍රෑම් 250ක්

වතුර කෝප්ප 1/2ක්

සීනි මේස හැඳි 5ක්

 

සාදන ක්‍රමය -

 

01. නන්ස්ටික් භාජනයකට පොඩියට කපාගත් අන්නාසි, වතුර, සීනි දමා කළවම් කරන්න. මඳ ගින්දරේ බුබුළු දාමින් උතුරා ගන්න. අන්නාසි ටික මැළවුණාට පසු ළිපෙන් බාන්න.

 

02. අන්නාසි ස්ටු කරගත් විදිහටම ඇපල් ටිකත් ස්ටූ කරගන්න. ඇපල් හා අන්නාසි ටික වෙන වෙනම බෝල්වලට දාලා එයින් හැදුණු සිරප් ටිකත් වෙනම බොල්වලට දමා තියාගන්න.

03. දැන් මේ අන්නාසි හා ඇපල් ස්ටු දෙකම හොඳටම නිවෙන්න තියන්න.

 

කේක්එක

 

බිත්තර සුදුමද 04ක්

කහමද 4ක්

සීනි ග්‍රෑම් 125ක්

(කෝප්ප 1/2 + මේස හැඳි 2ක්)

එළවළු තෙල් මේස හැඳි 2 1/2ක්

ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 2ක්

දෙහි යුෂ ටිකක්

ලුණුකුඩු ස්වල්පයක්

වැනිලා තේ හැඳි 1 1/2ක්

පාන්පිටි ග්‍රෑම් 125ක් (කෝප්ප 1ක්)

 

අඟල් 6 1/2ක් පළල අඟල් 2ක් උස රවුම් කේක් තැටියක්. එහෙමත් නැත්තම් අඟල් 8 ප්‍රමාණයේ කේක් ට්‍රේ එකක් ගන්න.

 

මුලින්ම බිත්තර සුදු මද හොඳට බීට් කරන්න. පොඩි පෙණගතියක් ආවාම දෙහි යුෂ බිංදු 2ක් 3ක් දාගන්න.

දැන් පිටිවලට ලුණුකුඩු ටික දමා කලවම් කරන්න.

 

බිත්තර කහමද හොඳට බීට් කරන්න. දැන් කහමද එකටම තෙල්, වැනිලා හා කිරි ටික දමා නැවතත් හොඳට බීට් කරන්න.

 

කහමද මිශ්‍රණයට පිටි ටික ටික දමමින් කළවම් කරන්න.

 

දැන් ඔයිල් පේපර් එකක් තැටිය වටේටම හිටින්න ටිකක් උසට දමන්න. කේක් මිශ්‍රණයත් දමා හොඳට ගසන්න.

 

උෂ්ණත්වය සෙල්සියයස් අංශක 150ට විනාඩි 10ක් රත් කරන්න. නැවත ඒ උෂ්ණත්වයේම තව විනාඩි 35ක් වගේ කේක් එක බේක් කරගන්න.

 

ගැටෝ ක්‍රීම් එක හදමු.

 

විපිං ක්‍රීම් මිලි ලීටර් 250ක්

පොඩි කැට සීනි මේස හැඳි 2ක්

වැනිලා තේ හැඳි 1 1/2ක්

බෝල් එක අනිවාර්යයෙන් ම ෆ්‍රිජ් එකේ දමා ගන්න. විපිං ක්‍රීම් ක්‍රීම් කරන්න ගන්න අවස්ථාවේදී විතරක් එළියට ගන්න. විපිං ක්‍රීම් අනවශ්‍ය විදිහට බීට් කරන්න එපා. එතකොට බටර් වගේ වෙනවා.

 

බෝල් එකට ක්‍රීම් ටික දමා වැඩි speed එකක් යටතේ විප් කරන්න. ටිකක් ඝන ගතියට ආවාම සීනි හෝ මිල්ක්මේඩ්, වැනිලා ටිකක් දමා නැවතත් එම වේගය යටතේම විප් කරන්න.

 

දැන් කේක් එක අලංකාර කරගනිමු.

 

ඒ සඳහා බැදපු රටකජු කෑලි ග්‍රෑම් 100ක් අවශ්‍ය වේ.

 

මුලින්ම කේක් එක දෙකකට හෝ තට්ටු තුනකට කපාගන්න. කේක් ට්‍රේ එක මත විපිං ක්‍රීම් ටිකක් දාලා එක කේක් තට්ටුවක් මැදට සිටින සේ තියන්න.

හදාගත්ත විපිං ක්‍රීම් ලේයර් එක සමඟ ස්ටු කරගත් අන්නාසි හෝ ඇපල් ටිකක් කළවමට හෝ වෙන වෙනම දාගන්න. කැමති නම් රටකජු කෑලි ටිකකුත් ඉහ ගන්න.

 

නැවත කේක් තට්ටු තියලා කලින් වගේ සිරප් ටිකක් දමා විපිං ක්‍රීම් ලේයර් එකතුකර අන්නාසි හෝ ඇපල් දාන්න.

මේ විදිහටම තට්ටුවත් දමාගන්න. සිරප් දමා විපිං ක්‍රීම් ටිකක් වැඩිපුර ගාලා උඩට හා වටේට කේක් එක නීට් කරගන්න. මිදි, ස්ට්‍රෝබෙරි, අඹ, කිවි, පීච්, චෙරි, ඇපල්, අන්නාසි වගේ ඕනෑම දෙයක් දමා ලස්සන කරගන්න.

 

කේක් එක වටේට ඉතිරි රටකජුවලින් ලස්සන කරගන්න.

 

උපදෙස්

ප්‍රවීණ කේක් නිර්මාණ උපදේශිකා

සර්වදර්ශනී අප්සරා