රුව රකින ඔලිව් තෙල්

දෙසැම්බර් 12, 2018

ඔලිව් තෙල් කියන්නේ බොහොමයක් නිවෙස්වල ආහාර පිසීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යයක්. රූපලාවණ්‍ය කටයුතු ගැන කතා කරන විටත් ඔලිව් තෙල් කියන්නේ නිතරම කියැවෙන නාමයක්.

රුව හැඩ කරනවා පමණක් නොවෙයි ඔලිව් තෙල් සතුව සුවිශේෂි ඖෂධීය ගුණ රැසකුත් තිබෙනවා.

ඖෂධීය ගුණ

රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමේ ඖෂධීය ගුණයක් ඔලිව් තෙල් සතුව පවතිනවා. රුධිරයේ මේද උෂ්ණත්වය අඩුකර රුධිර ගමනාගමන ක්‍රියාවලියට උත්තේජනයක් ද මින් ලබාදෙයි. ඔලිව් තෙල් දිනකට මේස හැඳි 2 ක් වත් ලබා ගන්නේ නම් සිරුරේ ධමනිවල නම්‍යතාවයට එය ඉවහල් වෙයි. හෘද රෝග අවදානම පාලනයටත් මෙය කදිම ඖෂධයක්.

ඔලිව් තෙල් නිතර ආහාරයට එක් කර ගන්නේ නම් අස්ථිවලට ඛනිජ ලවණ ආදිය පහසුවෙන්ම අවශෝෂණය කරගත හැකියි. කැල්සියම් අවශෝෂණය මෙමඟින් වැඩි වන අතරම ඔස්ටියෝපොරෝසිස් අවදානමෙන්ද අත්මිදිය හැකියි.

ශරීරයට හිතකර අසංතෘප්ත මේදය ඔලිව් තෙල්වල අඩංගුයි. එබැවින් මෙය රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට ද උපකාරි වෙයි.

ඔලිව් තෙල් ස්නානය

ඔබේ නාන දිය බඳුනට ඔලිව් තෙල් ස්වල්පයක් එකතුකරන්න. සමට හිතකර ඔක්සිකාරකයන් ඔලිව් තෙල්වල අඩංගු වන නිසා එයින් සමට මනා පෝෂණයක් හිමි වෙනවා.

ඉරිතැළුණු සමකට

ඔබේ මෘදු සම වියළි සුළඟ හමුවේ ඉරිතැළෙනවා. එමඟින් සමට වන හානිය පිළිබඳ ඔබ දැනුවත් ඇති. මෙයට පිළියමක් ලෙස ඔලිව්තෙල් ගල්වන්න පුළුවන්. යටිපතුල් පැළීම සඳහාත් මෙය ගුණදායකයි.

මුහුණට සත්කාරයක්

ඔලිව් තෙල් මුහුණෙහි ආලේප කිරීමෙන් මුහුණේ ඇතිවන කුරුලෑ, ඇක්නි, බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් ඉවත් කිරීමට හොඳම ප්‍රතිකාරයක් වේවි. සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමේ ගුණය ද එය සතුයි. ඔබට ඇත්තේ වියළි සමක් නම් මුහුණ හා හැකි නම් මුළු සිරුරටම ඔලිව් තෙල් ගල්වා සම්බාහනය කරන්න. එමඟින් සමට තෙතමනයක් හා නීරෝගී පැහැපත් බවක් ලබාගන්නත් හැකියාව පවතියි.

සම වියපත්වීම වළකාලයි

ඔලිව් තෙල්වල විටමින් සී අඩංගු වෙනවා. සම වියපත්වීම පාලනය කිරීමට විටමින් සී වලට හැකියාව පවතිනවා. එය ඔබේ සම මෘදු කරනවා වගේම හිරු එළියෙන්ද සම ආරක්ෂා කරනවා.

 

මේකප් ඉවත් කිරීමට

ඔලිව් තෙල් මඟින් මුහුණේ ඇතිවන විවර වැසෙන්නේ නැහැ. මුහුණේ ඇති කුණු දූවිලි සහ මේකප් ඉවත් කිරීම සදහා පුළුන් බෝලයක ඔලිව් තෙල් පොඟවා භාවිත කරන්න.

ඉස්හොරි සඳහා

වියළි බව නිසා ඔබ තවමත් පීඩා විඳියි නම් හිසේ ඇතිවන හිස්හොරිවලටත් ඔලිව් තෙල් හොඳ විසඳුමක්. ඔලිව් තෙල් හිසේ ගල්වා ඇඟිලි තුඩු මඟින් සියුම්ව රවුම් ආකාරයට සම්බාහනය කිරීමෙන් ඔබේ හිසකෙස්වලට දිදුලන නිරෝගී බවක් ලබා ගත හැකියි. සතියකට වරක් හෝ ස්නානයට විනාඩි 30 කට පෙර මෙම සත්කාරය සිදු කිරීමෙන් ඔබට වඩා හොඳ ප්‍රතිඵල අත් කර ගත හැකියි.

තොල්පෙති සඳහා සත්කාරයක්

ඔලිව්තෙල් තොල්පෙති මත ආලේප කර සම්බාහනය කරන්න. සතියකට වතාවක් මෙසේ ආලේප කිරීමෙන් ඔබේ දෙතොල්වල වියළි බව හා එයට මෘදු පෙනුමක් ද ගෙන දෙයි.

තුවාල සහ සීරිම් සඳහා

ඔලිව් තෙල් ස්වල්පයක් ගෙන තුවාල හා සීරීම් මත ආලේප කිරීමෙන් ඉක්මන් සුවයක් ගෙන දේ.

එක්සිමා හා කුෂ්ඨ සඳහා

ඖෂධීය ගුණ ඇති ඔලිව් තෙල් ඔබේ සමේ ඇති මෙවැනි තත්ත්වයන් සඳහා ඔබට භාවිත කරන්නට පුළුවන්. රෝග කාරක විසබීජ නිවාරණය කිරීමේ හැකියාව ඔලිව් තෙල්වල තියෙනවා. දිනකට දෙවතාවක් මේ සම්බාහනය කළ යුතුයි.

නිරෝගී කෙස් කලඹකට

සතියකට දෙවතාවක් හිසෙහි ඔලිව් තෙල් ආලේප කර සම්බාහනය කිරීමෙන් කෙස් අග පැළීම, හිසකෙස් ගැලවීයාම, කැඩීයාම වැනි තත්ත්වයන් මඟහරවා ගත හැකියි. එමෙන්ම දිගු නිරෝගී කෙස් කලඹක් හිමිවේ. මෙසේ ඔලිව් තෙල් සම්බාහනය කිරීම මොළයේ ක්‍රියාකාරිත්වයට ද හේතුවක් වේ. එහෙත් හිසකෙස්වල ඔලිව් තෙල් ගල්වා අව්වේ යාමෙන් වළකින්න.

නිරෝගී නිය පෙළකට

නියපොතුවල කි්‍යුටිකලය ආරක්ෂාකාරීව තබාගැනීමෙන් නියපොතු පැළීම වගේම ඉරිතැළීම වළක්වාගන්න පුළුවන්. එවැනි හානිවීම්වලින් නියපොතු ඇතුළට බැක්ටීරියා හා දිලීර වර්ග ඇතුළුවීමෙන් සිදුවිය හැකි ආසාදනවලින් මිදෙන්න නියපොතුවල ඔලිව් තෙල් ආලේප කරන්න.

ඔලිව් තෙල්වල අඩංගු විටමින් ඡ් පෝෂකය, නියපොතු වර්ධනය වේගවත් කරනවා. සතියකට සැරයක් විතර මිනිත්තු 20 ක් ඔලිව් තෙල්වල නියපොතු පොඟවා තැබීමෙන් මේ කියන පෝෂණය ඔබටත් ලබාගන්න පුළුවන්.

රෝම ඉවත් කිරීමෙන් පසු

සිරුරේ අලංකාරණය සඳහා සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම බොහෝ කාන්තාවන් සිදු කරනවා. රෝම ඉවත් කිරීමෙන් පසු ඇති වන වියළි බව වළකාගන්නට ඔලිව් තෙල් ශේවිං ක්‍රීම් එකක් ලෙස ඔබට භාවිත කරන්න පුළුවන්.

ඇතැම් අය ඔලිව් තෙල් රත්කර හිස සම්බාහනය කිරීමට යොදා ගන්නවා. නමුත් එය වැරැදි ක්‍රියාවක්. මොකද රත් කිරීම මඟින් ඔලිව් තෙල්වල ඇතුළත් ගණයන් නැසී යනවා. ඔබත් රුව රැකුමට ඔලිව් තෙල් භාවිත කරන්න.