වයස 40 ට වැඩි නම් තරුණ පෙනුම මෙහෙම රැකගන්න

ජුනි 6, 2022

 

පැහැපත් සමක් සහිත හැඩකාර මුහුණකි. එහි කිසිදු රැල්ලක් පෙනෙන්නට නොමැත. වයස හතළිස් ගණනක් වුවද ඒ වුවන නම් අවුරුද 20ක 25ක තරුණියකගේ මෙන් ප්‍රභාවත්ය.

 

සමේ රැලි වැටීම් වළක්වන රහසක් තිබේ. ඒ රහස ඔබත් දැනගත යුතුමයි. මන්ද එය මුහුණට ජිවී බවක් සමඟ පැහැපත් බව ද එක්කරන නිසාමය.

ඒ ෆේස් යෝගා නැත්නම් ව්‍යායාමයි. "මුහුණට ඕවා කරන්න පුළුවන් ද?" මෙය දකින ඔබ නිසැකවම අසාවි. ඔව්, කරන්න පුළුවන්. එය ඇත්තම ඇත්තකි. තරුණ පෙනුම රැකි මුහුණක එක් රහසක් වන්නේ මුහුණට කරන ව්‍යායාමයි.

අද අප කියන්න යන්නේ සුන්දර මුහුණක් වෙනුවෙන් කළ හැකි ෆේස් යෝගා අභ්‍යාස කිහිපයක් ගැනයි. රූපවාහිනිය නරඹන ගමන්, තමන්ගෙම වාහනයක යන එන ගමන් වගේම වෙන ඕනෑම වැඩක නිරත වෙන ගමනුත් මේ අභ්‍යාස ඉතා පහසුවෙන් කරන්න පුළුවන්.

 

ප්‍රයෝජන

ෆේස් යෝගාවල ප්‍රයෝජන කිහිපයක්ම තියෙනවා. මුහුණේ සම එල්ලා වැටීම අවම කරයි. තරුණ පෙනුමක් ලබා දෙයි. සමේ අඳුරු පෙනුම ඉවත් කරයි. මුහුණේ ලේ ගමනාගමනය යහපත් කරයි. මුහුණේ හැඩය ඉස්මතු කොට මුහුණට මනා පෙනුමක් ලබා දෙයි.

 

මේ යෝගා ව්‍යායාම වඩා සාර්ථක වන්නේ උදෑසන කිරීමෙනි. උදෑසන අවදි වූ විට ඇඳේ ඉඳගෙනම මිනිත්තු 10ක් ඒ සඳහා වෙන් කිරීම ප්‍රමාණවත්. වයස අවුරුදු 40ට වැඩි අයට මේ යෝගා අභ්‍යාස වඩා සුදුසුයි.

 

ඕනෑම ව්‍යායාමයක් කිරීමට ප්‍රථම ශරීරය උණුසුම් කර ගැනීමයි උචිත වන්නේ. ඒ හරහා මාංස පේෂීන් ලිහිල් වී සමට උත්තේජනයක් ලබා දෙයි.

 

 

කම්මුල්වල මහත නැති කරගන්න

චික් බෝන්ස් එහෙම නැත්නම් කම්මුල් දෙපස මහත්වීම නිසා මුහුණට මහත පෙනුමක් එක්වීම වළක්වා ගන්න කැමැති අයට මේ ව්‍යායාමය කරන්න පුළුවන්. මාළුවකුගේ කට ආකාරයට උල් කර තොල් පමණක් අරිමින් වහමින් තද කරන්න. තත්පර 20ක් - 25ක් වාර 5ක් කිරීම ප්‍රමාණවත්. ඒ ආකාරයෙන්ම ඕ අකුර කියැවෙන ආකාරයට කට උල්කර තොල්, දත් දෙසට අකුළාගෙන තත්පර කිහිපයක් සිටින්න. දිනකට 4 වතාවක් පමණ කිරීම ප්‍රමාණවත්.

 

ශක්තිමත් හකු පෙදෙසකට

මස් පිඩු එල්ලෙන හකු පෙදෙසකට වඩා හොඳින් සම තද වුණු හකු ප්‍රදේශයකට කැමැති නම් මේ පහසු ව්‍යායාමය කර බලන්න. යටි ඇන්ද ලිහිල්කර ඉදිරියට අදින්න. කම්මුල් සහ කන් ආශ්‍රිත මාංස පේෂීන් ඇදෙන ලෙස මෙසේ තත්පර 10ක - 15ක වෙලාවක් 4 වතාවක් පමණ කරන්න.

ඇස් වටා රැලි ඉවත් කරගන්න

ඇහි පිල්ලම් ඉදිමුණු ගතියක්, ඇස් වටා රැලි වැටීමක් තියෙන අයට මේ ව්‍යායාමය හොඳ ප්‍රතිඵල ගෙන දෙනවා. පුදුමයට පත්වුණ වෙලාවක ඇස් ලොකු වෙන ආකාරයට ඇස් ලොකු කරන්න. තත්පර 10ක් පමණ ඇස් එහෙම ලොකු කර ගෙන ඉන්න. සැහැල්ලු කරන්න. මේ ආකාරයට පස් වතාවක් පමණ කරන්න.

 

ලාෆ් ලයින්ස් ඉවත් කරගන්න

කට දෙපසින් එන ඉරි දෙක කාලයක් ගත වෙනකොට වයසත් එක්ක මතු වෙන්න ගන්නවා. මේ ඉරි මතුවීම වළක්වාගන්න නම් මේ ව්‍යායාමය වඩා සුදුසුයි. කටට හොඳින් හුළං පුරවාගන්න. බැලුමක් පුම්බන විට කම්මුල්වල ඉදිරිපසට හුළං පුරවාගෙන තද කරන ආකාරයට තත්පර 10ක් - 15ක් තබා ගන්න. මෙය දිනකට පස් වතාවක් පමණ කරන්න.

 

ඩබල් චින් නැති කරගන්න

බෙල්ල මහත්වීම සහ නිකටට යටින් මස් පිඬු ලිහිල්වීම බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. මේ ගැටලුව නැති කරගන්න පුළුවන් පහසු ව්‍යායාමයකි මේ. බෙල්ලේ මාංස පේෂීන් හොඳින් ඇදෙන ලෙසට නිකට උඩට හරවන්න. තත්පර කිපයක් එලෙස රඳවාගෙන නිකට බෙල්ලට තද වන ලෙස පහත් කරන්න. එලෙස තත්පර කීපයක් රඳවාගන්න. මෙය දිනකට 6 වතාවක් පමණ කරන්න.

 

දෙතොල් එල්ලා නොවැටෙන්න

දෙතොල් වටා සම හා මාංස පේෂීන් එල්ලා වැටීම වළක්වා ගන්න මේ ක්‍රමය සාර්ථකයි. හාදුවක් දෙන ආකාරයට දෙතොල් මඳක් උල් කරගන්න. තත්පර 10ක් පමණ මේ ඉරියව්වෙන් ඉන්න. දවසකට පස් හය වතාවක් කිරීම ප්‍රමාණවත්.

 

දීප්තිමත් ඇස්

දවස තිස්සේම වෙහෙසෙන ඇස්වල එන විඩාබර, එල්ලා වැටුණු ගතිය නැති කරගන්න මේ ව්‍යායාමය වැදගත්. හිස කෙළින් තබා ඇස්වලින් පමණක් පුළුවන් තරම් ඉහළ එක ඉලක්කයක් දෙස බලන්න. තත්පර තුනක් පමණ එසේ හිඳ බිම බලන්න. මෙසේ එක වරකට හතර වතාවක් බැගින් දිනකට දෙතුන් වතාවක් කරන්න.

 

 

උපදෙස්

රූපලාවණ්‍ය ශිල්පිනී

නීෂා මනහාරි

සැලෝන් නීෂා - මහරගම