මන බන්දන දෑත් දෙපා රැක ගන්නා හරිම ක්‍රමය

ගෙදරදීම දෑත් දෙපා ලස්සන කරන පුංචි පුංචි ක්‍රම
දෙසැම්බර් 12, 2022

හරිම ලස්සන නියපොතු කියයි ඔබ ජීවන තතු

 

 

තම සුන්දරත්වය වඩාත් ඔප් නැංවෙන පරිද්දෙන් විලාසිතා කරන්නට අපේ කාන්තාවන් කවදත් කැමතියි. සිරුරේ හැඩයට පැහැයට ගැළපෙන පරිද්දෙන් ඇඳුම් පැලඳුම් තෝරා ගන්නට, ඒවා අවස්ථානුකූලව අඳින්නට පලඳින්නට මෙහිදී වැඩි කැමැත්තක් දක්වන අතර නිසා කාන්තාව සහ විලාසිතා අතර පවත්නේ පුදුමාකාර බැඳීමකි.

 

සාමාන්‍යයෙන් ඇඳුම්, ආභරණ, හිසකෙස්, පාවහන්, අත් බෑග් ආදී විලාසිතා බොහොමයක් කාන්තාවන් භාවිතා කරති. ඊට අමතරව වර්තමානයේ විවිධ nail art එහෙමත් නැතිනම් දෑතේ සහ දෙපයේ නියපොතු අලංකරණය කිරීමත් විලාසිතාවකි. මන්ද සුන්දරව අඳිනවා පලඳිනවා සේම තමන්ගේ දෑත් හා දෙපා පිරිසුදුව අලංකාරව තබා ගැනීමත් ඉතා වැදගත්. එබැවින් නිය අලංකරණ කටයුතු සේම ඒවා වඩාත් පිරිසුදුව නිරෝගීව තබා ගන්නට කුඩා කල සිටම පුරුදු පුහුණු විය යුතුයි.

 

ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම

 

බොහෝ වේලාවට විලාසිතාවන් කරන්නට පුරුදුව සිටින්නේ කාන්තාවන් පමණකි. නමුත් ගැහැනු පිරිමි භේදයකින් තොරව සතියකට වරක් තම නියපොතු කපා පිරිසුදු කරන්නට අපි හැමෝම පුරුදු පුහුණුව සිටින්නෙමු. ඒ සමඟම මාසයකට වතාවක් හෝ මේ දෑත් දෙපාවල නියපොතුවලට මනා සත්කාරයක් ලබාදෙන්නටත් කාන්තාවන් සේම පිරිමි පාර්ශවය ද පුරුදු වන්න. එමඟින් මනා පෞරුෂයකින් හෙබි අපූරු පෙනුමක් ඔබට හිමි කරගත හැකියි.

 

සති තුනකට වරක්

 

මුළුතැන්ගෙයි කටයුතු, ඉවුම් පිහුම්, රෙදි සේදීම ආදිය නිසා කාන්තාවන්ගේ දෑතෙහි නියපොතු සුන්දරව තබා ගැනීම තරමක් අපහසු කටයුත්තකි . ඊට අමතරව නිරතුරුවම ජලය ආශ්‍රිතව කටයුතු කිරීම හරහා නියපොතු දුර්වර්ණව, කැඩීබිඳී, අපිරිසුදුවීමද දැකිය හැකියි. එබැවින් කාන්තාවක් නම් සති තුනකට වතාවක් හෝ මෙනික්‍යු පෙඩික්‍යු හරහා තම නියපොතු සහ දෑත් දෙපා සඳහා සත්කාරයක් ලබාදෙන්න.

 

සොඳුරු දෑතකට

 

සති තුනකට වරක් සිදුකරනා මේ දෙඅත් සත්කාරයේ දී පළමුවෙන්ම කළ යුත්තේ නියපොතු කපා නිසි හැඩයකට සකසා ගැනීමයි. අනතුරුව නියපොතු වටා ඇති තරමක් ඝනකමැති සම පරෙස්සමට ඉවත් කරගන්න. ඉන්පසුව ඔබේ දෙඅත්වල දුර්වර්ණ වූ මැරුණු සම ඉවත් කිරීම සඳහා ස්ක්‍රබ් එකක් කළ හැකිය. මේ සඳහා වෙනිවැල්ගැට කුඩු, කොකුම් පොතු, යෝගට් ආදිය හොඳින් මිශ්‍රකර පැක් එකක් ගෙදරදීම සාදා ගත හැකියි. විනාඩි විස්සකින් පමණ මේ ආලේපනය සෝදා ඉවත් කරන්න. අනතුරුව දෑතේ ලේ ගමනාගමනය ක්‍රමවත් වීම සඳහා ඇඟිලි සහ අත් දෙක මෘදුව සම්බාහනය කරන්න. මෙලෙස හොඳින් සම්බාහනය කිරීම මඟින් දෑත පුරාම රුධිරය වේගයෙන් ගමන් කිරීම හරහා ඇඟිලි හිරිවැටීම, නහර ගැටගැසී මතුපිටට පෙනීම වැනි දේ වළක්වා ගත හැකිය.

 

මෙලෙස දෑත් පිරිසුදුකර සම්බාහනය කිරීමෙන් අනතුරුව නැවතත් පැක් එකක ආධාරයෙන් සමට පෝෂණය ලබා දිය හැකිය. ඒ සඳහා ද ඔබට මුළුතැන්ගෙයින් සපයා ගත හැකි වෙනිවැල්ගැට කුඩු, කඩල පිටි හෝ මුං ඇට පිටි, යෝගට් ආදිය යොදාගෙන නිවෙසේදීම පෝෂ්‍යදායක මිශ්‍රණයක් සාදා ගත හැකියි. මෙම මිශ්‍රණයද ආලේපකර විනාඩි විස්සක් ගත වූ පසුව පිරිසුදු වතුරෙන් සෝදා ඉවත් කරන්න.

 

නිරෝගී දෙපයක්

 

සොඳුරු දෑතක් උදෙසා සත්කාර කළ ආකාරයටම ඔබට දෙපය සඳහාද සත්කාර කළ හැකියි. මෙහිදී වෙනසකට ඇත්තේ නියපොතු කපා දෙපා පෙඟෙන්නට හැර පැළුණු දුර්වර්ණ සම ඉවත් කිරීමයි. මන්ද දෙපයේ සම ඉතාමත් ඝනකම සහිත බැවින් මඳ උණුසුම් ජලයේ තරමක් වේලා පෙගෙන්නට හැරිය යුතු අතර ඉන්පසුව පහසුවෙන්ම මැරුණු සම ඉවත් කළ හැකිය. අනතුරුව දෑත සඳහා භාවිත කළ පිළිවෙළටම ස්ක්‍රබ් එකත්, පෝෂණීය පැක් එකත් දෙපය සඳහාද භාවිත කරන්න.

 

මේ ආකාරයට සති තුනකට වතාවක්වත් සත්කාර කිරීම හරහා නිරෝගී සොඳුරු දෑතක්, දෙපයක් මෙන්ම අලංකාර නිය පෙළක් ඔබටත් හිමිකර ගත හැකියි. ඊට අමතරව කැඩී බිඳීගිය මෙන්ම විවිධ ආපදාවන්ට ලක්වූ නියපොතු සඳහා නම් ඔබ ප්‍රතිකාර ලබා ගත යුතු වේ.

මෙලෙස පිරිසුදු කරගත් අලංකාර නිය සඳහා හරි අපූරුවට නිය අලංකරණ එහෙමත් නැතිනම් nail art දමා හැඩ වැඩ කර ගත හැකිය. අපි ඒ පිළිබඳ ඉදිරියේදී දැනගනිමු.

 

 

උපදෙස්

ද නේල් ආට් ඇකඩමි හි

නිය අලංකරණ ශිල්පිනී

දිනූපා ජයසූරිය