වයිට්නින් ක්‍රීම් ගාලා සුදු වෙන්නේ බලාගෙනයි

මැයි 15, 2023

අව පැහැ සමකින් යුතු යෞවනියන්, යුවතියන්, ලලනාවන් සුදු හමකට උරුමකම් කියන්න දක්වන්නේ අසීමිත ලොල් බවක්. එහෙත් ස්වාභාවික ක්‍රමවලට අනුගත නොවී කෘත්‍රිම ක්‍රමවලට සුදුු වෙන්න ගිහින් තමන්ට උපතින්ම උරුම වුණු සාමාන්‍ය සම පවා විනාශ කරගත් උදවිය ඕනෑතරම්.

බ්ලිච්කරගන්න රූපලාවණ්‍යාගාරවලට යන අය, සුදු වෙන්න ක්‍රීම් භාවිත කරන අයට අපි මේ දල්වන රතු එළිය බොහෝසෙයින් ම වැදගත් වේවි.

බ්ලිචින් එහෙමත් නැත්නම් වයිට්නින් ක්‍රීම් භාවිත කිරීමෙන් ඇතිවන්නේ අනර්ථයක්ම පමණයි. මෙහි අතුරු ආබාධ බොහෝමයි.

ලොව ඇති දරුණුම පිළිකා වර්ග දෙකක් තිබේ. ඉන් එකක් ලේ පිළිකාව. අනෙක සමේ ඇතිවන පිළිකාව. මේ පිළිකා වර්ග දෙක ඇති වීමට බ්ලිචින් සහ වයිට්නින් ක්‍රීම් සෘජුවම බලපාන බව ඔබ දන්නවාද?

වයිට්නින් ක්‍රීම්වල ස්වභාවික දෑ අඩංගුව ඇතැයි සඳහන්ව ඇතත් මේවාහි වැඩිපුර අඩංගුව ඇත්තේ කෘත්‍රිම දෑ. තද තළෙළු පැහැති සමක් සුදු කරවන්න නම් වැඩිපුර කෘත්‍රිම දෑ අඩංගු කරන බව දන්නවාද?

ඒ පිළිබඳ කෙනකුට නොසිතෙන්නේ තමාවම රවටා ගැනීමක් ලෙසටයි.

ගර්භිණී මවක් බ්ලිචින් හෝ වයිට්නින් ක්‍රීම් එකක් භාවිත කරන්නේ නම් එහි යම් ප්‍රතිශතයක බලපෑමක් හෝ කුසෙහි සිටිනා දරුවාට සම්ප්‍රේෂණය වන බව නොකියාම බැහැ.

නොයෙක් නම්, ගම්වලින් යුතු ඇතැම් විට නිතර මුවග රැ⁣ඳෙන වෙළෙඳ නාමයන්ගෙන් යුතුව මේ දේවල් වෙළෙඳ පොළේ සැරිසරයි. විදෙස් රටවලින් ආනයනය කරනවා යැයි කියමින්, මෙරට නිපදවනවා යැයි කියමින් සැරිසරන මේ නිශ්පාදනවල අධි මාත්‍රාවන්ගෙන් රසදිය අඩංගුවන බව ඔබ දන්නවාද?

සම මත ආලේප කරන මේ ක්‍රීම් වර්ග සම අභ්‍යන්තරය දක්වාම බලපායි. එසේ නම් එහි අතුරුවිපාක ඇත්තේ සම මතුපිටට පමණක් නොවන බව සක්සුදක් සේ පැහැදිලියි.

බ්ලිචින් වර්ග සම මත ආලේප කළ පසු මතුපිට සම සෑහෙන්න තුනී වන්නට පටන් ගනියි. අභ්‍යන්තර ලේ නහර පවා මතුපිටට පෙනෙන්න ගනියි.

බ්ලිචින් කළ පසු අව්වට නිරාවරණය නොවන්න යැයි උපදෙස් ලැබෙන්නේ මෙලෙස සම තුනීවන නිසායි. ඉර එළියෙන් ලැබෙන උෂ්ණත්වය මේ තුනීවූ සමට කොහෙත්ම සුදුසු නොවේ. යම් හෙයකින් බ්ලිචින් කළ සමක් අව්වට නිරාවරණය වීමෙන් සම මතුපිට දද වැනි චර්මය ආශ්‍රිත විවිධ සංකූලතාවන් පවා ඇතිවන්නට පුළුවන්.

බ්ලිචින් ක්‍රීම් භාවිත කර නැවැත් වූ පසු මුහුණේ සම මතුපිට ලප, කැලැල්, කුරුලෑ ආදිය හට ගනියි. එපමණක් නොව එය හිසකෙස්වලට පවා බලපෑම් එල්ල කරයි.

සාමාන්‍ය ක්‍රීම්වලට අධිමාත්‍රාවෙන් යුතු බ්ලිචින් වර්ග එකතු කොට වයිට්නින් ක්‍රීම් යැයි නම ගසා විකුණයි. සුදු වීමේ නොතිත් ආසාවකින් පෙළෙන අය මේවා මිලදී ගන්නට, ඒවා අත්හදා බලන්නට උත්සාහ කිරීම අරුමයක් නොවේ.

තමාට උපතින් උරුම වූයේ කළු හෝ තලෙළු සමක් නම් එහි සැබෑ චමත්කාරය විඳ ගන්න උත්සාහ කරන්න. මීට වඩා මගේ හම පැහැපත් වුණා නම් යැයි හැ⁣ඟේ නම් නිවෙසේදී ස්වභාවික දෑ එකතු කරගනිමින් පැක් එකක් ආලේප කරන්නට උනන්දු වන්න. සම පැහැපත් කර ගැනීම විවිධ ආලේපනයන්ට බාර නොකර හැකි තරම් කෑමෙන් බීමෙන්, කොළ කැඳ, පලතුරු ආදියෙන් ලස්සන වන්න හිතන්න.

බ්ලිචින් වර්ග, බ්ලිචින් අඩංගු වයිට්නින් ක්‍රීම් ආල්ප කරමින් සිට නැවැත් වූ පසු කට දෙපැත්ත, තොල් , කම්මුල්, බෙල්ල, ඇස්යට වැනි තැන්වල දද වැනි තුවාල ඇතිවීමට පුළුවනි.

විවිධ වෙළෙඳ නාමයන් පාරිභෝගිකයන් අතරට ගෙන ඒමට ප්‍රසිද්ධ නළු නිළියන් යොදා ගනියි. ඔවුන් පවා දැන්වීමකට පෙනී සිටි පලියට ඒවා භාවිත කිරීමට උනන්දු නොවෙන බව ඔබ දන්නවාද?

සමාජ මාධ්‍යවල දින 7 න් සුදුවනවා එසේ නොවුණොක් ලබා ගත් මුදල් නැවත ලැබීමට සලස්වනවා යැයි නොයෙකුක් කූට උපක්‍රම යොදමින් පාරිභෝගිකයා රවටා ගනියි.

යුරෝපා වැනි රටවලින් ගෙන්වනවා යැයි කියා වයිට්නින් ක්‍රීම් මෙරට විකුණයි. ඔවුන් තලෙළු සමට දක්වන්නේ පුදුමාකාර ආසාවක්.

අපේ සමේ අඩංගු මෙලනින් වර්ණකය අඩු හෝ වැඩි කරන්නට බ්ලිචින් ක්‍රීම් දක්වන ආදරය, කරුණාව ට කිසිසේත්ම රැවටිය යුතු නැත. තාවකාලික සුවයක් ළඟා කරගන්නට දක්වන ඇප කැප වීම, ස්වභාවික දෑ ඔස්සේ කරගන්නට උනන්දු වන්නේ නම් කෙතරම් වටීවිද?

 

උපදෙස් : ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි ඉෂී පීරීස්