දෙවියන් සිහි වෙන දෙවියන්ගේ බෙහෙත්

ජනවාරි 16, 2023

 

කාලයෙන් කාලයට අපේ රටේ විවිධ රැලි පහළ වෙයි. එසේ ආරම්භ වන රැලි කාලයාගේ ඇවෑමෙන් නිමා වෙන්නේ සුනාමි ලෙස දැඩි විනාශකාරී අත්දැකීම් සමුදායක් අපේ රටේ ජනතාවට තිළිණ කර දෙමිනි. අපේ රටේ විවිධ කාලවලදී පැමිණි මිථ්‍යා විශ්වාසයන්ද එලෙස රැලි හදා නිරතුරුවම ජනතාව මුළා කළ බවට සිද්ධි ලෙස හුවා දැක්වීමට අවශ්‍ය නොවේ. ඒ තරමටම ජනතාව මුළා කළ දෙයියන්ගේ බෙහෙත් ගැන කතාන්දර ඉතිහාසය පුරා ඕනෑ තරම් අහන්නට මෙන්ම දකින්නටද ලැබේ.ගස්වලින් නාගයන් මතුවීම, ගල්වලින් රූප මතුවීම, බෝතල්වලින් තෙල් ගැලීම මෙන්ම තැඹිලි ගෙඩි පහකින් විශ්වකර්ම ලෙස ලෙඩ සුව වීම දක්වාම මේ සිදුවීම් දියේ ගිල්වූ රබර් බෝලයක මෙන් වරින් වර උඩ යට යයි.

 

පසුගියදා දේවාරූඪයෙන් ලෙඩ සුව කරන බවට පවසා දැරියකගේ ඇඟට ඉඳිකටුවලින් ඇන ලිංගික හිංසන කළ බව කියන කපුවකුගේ පුවත වාර්තා වූයේ බෙන්තොට ප්‍රදේශයෙනි.

සැඩ පහරක ගහගෙන යන මිනිහාට පිදුරු ගහත් ගහක් බව දන්නා මේ හොර මගඩි දේව වෙදවරු එම න්‍යාය සියලු අහිංසක මිනිසුන් වෙනුවෙන්  ක්‍රියාත්මක කරති. මේ හොර වෙදුන් වෙනුවෙන් අසීමිත ප්‍රචාරණයක් ලබාදෙන සමාජ මාධ්‍ය ජාල ඔවුන්ගේ මතය විශ්වසනීය ලෙස සමාජ ගත කරති.

 

පුහුලෙන් ලේ ගලන විදිය, මන්තර බලයෙන් කිරි උතුරුවන ආකාරය, බිමට කෝට්ටකින් තඩි බා නයා ගෙන්වන ක්‍රමය, උණු තෙල් ඇඟලා ගනිමින් දෙවියන්ගෙන් වැඩ ගන්නා ආකාරය මෙන්ම වේවැලෙන් තම සිරුරට නොසෑහෙන ලෙස තඩි බා ගන්නා විදියද සමාජ මාධ්‍ය ඔස්සේ සාමාන්‍ය අසරණ ජනතාවට පෙන්වන්නේ සියලු දෙනාම විමතියට පත් කරවමිනි.

දවස තිස්සේ මේවා බලන දකින අන්ත අසරණ වූ මිනිසුන් මේ වංචාකාරයන් සොයා යන්නේ තමා දැඩි ලෙස පෙ‍ෙළන ප්‍රශ්නයෙන් හෝ රෝගයෙන් ගැලවීමේ එකම මාර්ගය දෙවියන්ගේ බෙහෙත වග තිතට හිතට කාවද්දා ගනිමිනි.

මෙසේ දෙවියන්ගේ බෙහෙත් ගැනීමට යන ඕනෑම තැනකදී ඕනෑම අයකුට ඒ බෙහෙතෙන් පූර්ණ සුවය ලැබූ අයකු හමුවීම නියතයකි.

"අපි මේ උදේ ඉඳන් ඉන්නේ වෙද මහත්තය හමබවෙලා ආශීර්වාද ලබා ගන්න. අපේ අම්මට හොඳටම හොඳ වුණා. අම්මා පුටුවෙ තියං ආවේ. දැන් හොඳට ඇවිදල කරල ඉන්නවා. "

මේ කතාන්දර පටන්ගන්නේ එසේය. ඉන් පසුව පඬුරු මුදල් පූජා කිරීම, රන් භාණ්ඩ පිළිමයට දැමීම වැනි දේ දක්වාම මෙම මාතෘකා දිග්ගැසෙන්නට පටන් ගන්නේ වෙද මහත්තයා මහගිරි දඹේටත් වඩා උඩින් තබමිනි.

 

මෙසේ දෙයියන්ගේ බෙහෙත් සොයා යන බොහෝ දෙනෙකුට සිදුවන සරල සිද්ධිදාමය මෙය වන අතර, ඉන් පසුව කපුමහත්තයා , වෙද මහත්තයා, මෑණියෝ ස්වාමිතුමා හෝ බෝධිසත්ත්වයා  ජීවිතයේ දෙවියන් බවට පත්වේ. මෙසේ දිනකට අසරණ මිනිසුන් දහ පහළොස් දෙනකු බා ගත් පසුව වංචනිකයන්ගේ ව්‍යාපෘතිය නිමාවන අතර ආතුරයාගේ විනාසය ඇරඹේ.

 

අද වන විට ශ්‍රී ලංකාව පුරා මෙසේ දෙයියන්ගේ බෙහෙත් ලබා දෙන වංචනික ස්ථානයන් රැසකි. මේ වංචාකාරයන් බොහෝ විට ඉලක්ක බවට පත් කරගන්නේ කුඩා දරුවන් කාන්තාවන් සහ වයෝවෘද්ධ ජනතාව වීම සෝචනීය කාරණයකි. තමාගේ දරුවා දැඩිව අසනීප වූ විට දෙමාපියන් පමණක් නොව නෑදෑ හිතවතුන්ද කුමක් හෝ සිදුකොට දරුවා බේරා ගැනීමට උත්සුක වන බව මේ දෙයියන්ගේ බෙහෙත් වෙළෙන්දෝ සහ ව්‍යාපෘති භාරකරුවන් හොඳින් දනිති. එබැවින් නොමිලයේ යැයි පවසමින් අරඹන දෙයියන්ගේ බෙහෙත් ව්‍යාපෘති කෙළවර වන්නේ පෙලඹෙන්නාගේ සියලු රීරි මාංස උරා බීමෙන් අනතුරුවය.

මෙම හොර වෙදැදුරන් එකවර මතුවන්නේ "පබ්ලිසිටි කැම්පේන්" එකක් ද සමඟිනි. සමාජ මාධ්‍යවල වැල නොකැඩෙන කමෙන්ට්, ලයික් මෙන්ම ශෙයාස් ද සහිත මේ ව්‍යාපෘතීනට අනුගාමිකයන්ද රැසක් එක රැයින් බිහිවෙති.

බොහෝ දෙනාගේ විශ්වාසය තමාගේ විශ්වාසය සහ මතවාදය කරගන්නා අපේ රටේ ජනතාවද රැල්ලට හසුව ගසාගෙන යන්නේ මෝහනයෙන් මෙනි.

ඇතැම් විට මෙම හොර වෙද්දුන් ලෙඩ සුව කිරීමට භාවිත කරනු ලබන්නේ මතුරා ජීවං කළ තැඹිලි ගෙඩි විසි එකකි. එක්කෝ දෙහි ගෙඩි හතකි. එසේත් නැතහොත් ඔවුන්ගේ භාෂාවෙන්ම කියනවා නම් රන් කෙණ්ඩියක, සඳුන් දරෙන් පත අට එකට හිඳුවා දෙවියන් මනු ලොවට ගෙනැවිත් වෙදමහතාට ලබා දුන් තෛලයකි.

 

එසේත් නැත්නම් වෙද මහතාට රෑ සිහිනයෙන් දෙවියන් පැවසූ රහසිගත වට්ටෝරුවකින් හිඳින තෙලකින් සියලු ලෙඩ සුව වන බව ඔවුන් ජනගත කරති. මේ තෙල් හෝ බෙහෙත් මිල අධිකය. නමුත් ඒ මුදල් පිනට මිස වෙදමහත්තයාගේ පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් යොදා නොගන්න බවද සමාජ මාධ්‍යවල අනුගාමිකයන් විසින් ප්‍රචලිත කරති.මේ සියලු වහසි බස්වලට රැවටී අමාරුවේ වැටෙන පිරිස දිනෙන් දින ඉහළ යමින් පවතින බව දෛනික පුවත් අනාවරණය කරයි.

සමාජයේ ජනප්‍රිය මත කොතෙත් මුල්බැසගත්තද ඒ මත සමඟ හෝ  ක්‍රියාකාරකම් සමඟ එක්වීම තමාගේ වගකීමකි. දෙයියන්ගේ බෙහෙත් ජාවාරමද අද වන විට පිරමීඩ ජාවාරම තරමටම බිස්නස් එකක් වී හමාරය.දේවාලයක්, ආරාමයක්, අසපුවක් හෝ මාළිගයක් අටවාගන්නා මේ ජාවාරම්කරුවන් මිත්‍ර අනුගාමිකයන් හරහා තම ව්‍යාපාරය සරුවටම කරගෙන යති.

 

ඒ ජාවාරම්කරුවන්ගේ ප්‍රමුඛ ඉලක්කය ඔබ වග මොහොතකට නොසිතුවද කිනම් හෝ මොහොතක ඔබද ඔවුන්ගේ ග්‍රහණයට හසුවීමට ඉඩ ඇති වග මතක තබා ගත යුතුම කාරණාවකි.

මොහොතක් සිතන්න....

මෙසේ දෙයියන්ගේ බෙහෙත් ලබා දෙන හොර වෙද මහතුන් බිහිවන්නේ එකවරමය. ඔවුනට වෛද්‍ය විද්‍යාව පිළිබඳ කිසිදු දැනුමක් හෝ අත්දැකීමක් නොමැති අතර අවිද්‍යාව ඔවුන්ගේ පළපුරුද්ද වේ. දැවි තෙල් බෝතලයක් හෝ යහනක, මල් පැලක තබා ජීවං කරන මේ හොර වෙදුන් ඒ හරහා තම මඩිය තර කර ගැනීමට බිලි බාගන්නේ ඔබය. ඉන් මුළාවන ඔබට අවසානයේ සිදුවන්නේ අතේ ඇති සේසතම ඔවුනට පුද දෙන්නට විය හැකිය.

 

මේ මොහොතේ ඔබ වඩාත් සැලකිලිමත් විය යුත්තේ මිථ්‍යාව රජ කරවීමට වෙරදරන අනුගාමිකයන්ගෙන් ය.

කොරෝනා කාලයයේ කාලි තෙල පිළිබඳ උදාහරණය පමණක් මතක තබා ගැනීම ප්‍රමාණවත් ය. හෙළ වෙදකම අනුව ඕනෑම බෙහෙතක් සැකසීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් ඇත. පාරම්පරික හෙළ වෙදැදුරන් සහ හෙළ වෙදකම සහ හෙදකම පිළිබඳ පර්යේෂකයන් ඒ කටයුතු සිදු කරනු ලබන්නේ නියමිත ක්‍රමවේදයට අනුවය. එසේ අපේ හෙළ වෙදකමේ රහස් වට්ටෝරු සහ වෙද ක්‍රම පිළිබඳ අප කොතෙකුත් අසා දැක ඇත. නමුත් මේ අප කතා කරනු ලබන වෙදකම ඊට හාත්පස වෙනස්වූවකි.දෙයියන්ගේ බේත් එක වරක් බිවූ පසුව ලෙඩ හොඳ වෙයි. වතුර කුප්පියකට ජීවං කරමින් ලෝකයේ කොහේ සිටියත් ආතුරයාගේ තුන්දොස් සමනය කරයි.

 

ඉඳිකටු තුඩුවලින් ඇණ දරුවන්ගේ සියලු රෝග දුරලයි. කාන්තාවන්ගේ රහස් ප්‍රදේශ ස්පර්ශකොට දරුවන් ලබා දේ. මේවා බැලූ බැල්මටම අමූලික බොරු බව අප දන්නා මුත් අසරණ වූ මොහොතකදී අපද මේ වංචනිකයන්ගේ දැලට හසුවිය හැකිය. එබැවින් බුද්ධිමත් ඔබ සබුද්ධිකව මේ කරුණු පිළිබඳ සැලකිලිමත් විය යුතුය. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහියෙන් අසා බුද්ධියෙන් තීරණ ගැනීමෙන් දෙයියන් සිහි කරන දෙයියන්ගේ බෙහෙත් ජාවාරම්කාරයන්ට ඇඩ්‍රස් නැති කළ හැකිය.