මගේ රත්තරන් පුතා ලෝකයේම නමක් තියාවි ඒක ස්ථීරයි

විශ්වවිද්‍යාල වරම් ලැබූ ළාබාලතම සිසුවාගේ මව මල්කා රණසිංහ හෙළි කළ රහස්
දෙසැම්බර් 12, 2022

 

14 හැවිරිදි මේ පුංචි පුතා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පිවිසීමට වරම් ලබන්නේ මෙරට විශ්ව විද්‍යාල වරම් ලැබූ ළාබාලතම සිසුවා ලෙස වාර්තාවක් තබමිනි.

 

“අපේ පුතා උපතින්ම ඉගෙනීමට දක්ෂයි. ඒ වගේම එයා පුංචි කාලේ පටන්ම ක්‍රිකට් ක්‍රීඩාවට පුදුම ආසාවක් තිබුණා. පුතා ක්‍රිකට්වලට තිබුණු ආසාව නිසා තමයි උසස් පෙළ කලින් කරන්න උනන්දු වුණේ. ඇත්තටටම අපේ පුතාගේ ජයග්‍රහණයට එක් හේතුවක් තමයි කොරෝනා වසංගතය. පාසල් පද්ධතියම බිඳ වැටුණු වෙලාවේ අපේ පුතා ඒක ආශිර්වාදයක් කරගෙන පාඩම් කළා.

 

පාඩම් කරලා උසස් පෙළ ලියලා තමයි විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව ලැබුණේ. සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩා කරනකොට අධ්‍යාපන කටයුතු අතපසු වෙනවා, විශේෂයෙන් ක්ලබ් සෙල්ලම් කරනකොට පුහුණු වෙන්න ඕනේ නේ. ඒ නිසයි අපේ පුතා කලින්ම උසස් පෙළ ලිව්වේ.”

මෙලෙසින් තම පුතා පිළිබඳ අභිමානයෙන් පවසන්නේ අපේ රටේ වාර්තාවක් තැබූ හපනෙකුගේ දස්කම් ගැනය. ඔහු දෙවුම් සනහස් රණසිංහය. 14 හැවිරිදි මේ පුංචි පුතා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පිවිසීමට වරම් ලබන්නේ මෙරට විශ්වවිද්‍යාල වරම් ලැබූ ළාබාලතම සිසුවා ලෙස වාර්තාවක් තබමිනි. ඔහුගේ ආදරණීය මව මල්කා රණසිංහ මහත්මිය ඔහුගේ මේ සුවිශේෂී ජයග්‍රහණය ගැන මහත් සතුටින් යුතුව එලෙසින් සඳහන් කළේ ඔහු ගැන සොයා ගිය ගමනේ දී ය.

“අපේ දෙවුම් පුතා පුංචි කාලේ නම් ලොකු දක්ෂතාවයක් තිබුණේ නැහැ. නමුත් එයා ශිෂ්‍යත්වය හොඳින් සමත් වෙලා තමයි ගුරුකුල විද්‍යාලයෙන් තර්ස්ටන් විද්‍යාලයට ඇතුළත් වුණේ. 8 වසරේ ඉඳන් තමයි එයාට ක්‍රිකට්වලට ආසාවක් ඇති වෙන්න පටන් ගත්තේ. ඒක එයාම වර්ධනය කර ගත්තා. හවස් කාලයම ප්‍රැක්ටිස් කරනවා. ඊට පස්සේ දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායමටත් තේරී පත් වුණා. එයින් පස්සේ කොළඹ එන්.සී.සී. ක්ලබ් එකෙත් සෙල්ලම් කරන්න පටන් ගත්තා. දැන් එයා ක්‍රිකට් ක්‍රීඩාවෙනුත් හොඳ තැනක ඉන්නවා. මෙයාට තව නංගියෙකුයි මල්ලියෙකුයි ඉන්නවා. මල්ලිත් දෙවුම් පුතා වගේම ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයි. අපේ දෙවැනි දරුවා ඉන්නේ දැන් 8 වසරේ. එයත් අයියා වගේම සාමාන්‍ය පෙළ කලින් ලියන්න සූදානමින් ඉන්නේ.”

දෙවුම්ගේ ජයග්‍රහණය අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂී සටහනකි. ඔහු සාමාන්‍ය පෙළට පෙනී සිටින්නේ 2020 වසරේදීය. ඒ වන විට 8 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දෙවුම් සා.පෙළ සමත් වූයේ සිංහල භාෂාව, බුද්ධ ධර්මය, ඉංග්‍රීසි, සෞඛ්‍ය, නාට්‍ය හා රංගකලාව, ඉතිහාසය විෂයන් සඳහා ඒ සාමාර්ථ 6 ක් ගණිතය, විද්‍යාව විෂයන් දෙකට බී සාමාර්ථ දෙකක් ද වාණිජ විෂය සඳහා සී සාමාර්ථයක් ද ලබා ගනිමිනි. අනතුරුව 2021 දී ඔහු 9 ශ්‍රේණිය ඉගෙනුම ලබමින් සිටියදී වාණිජ විෂය ධාරාව තෝරා ගත්තේ උසස් පෙළ සඳහා ය. එහිදී ගණකාධිකරණය, ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය යන විෂයයන් තුනටම බී සාමාර්ථ ලබමින් විශිෂ්ට ලෙස එම කඩඉම ද පසු කරන්නේ විශ්වවිද්‍යාල වරම් ලබමිනි.

මෙවර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණ උපාධිය සඳහා තේරී ඇති ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් පියාද අපට සතුටු වදන් පළ කළේ මෙලෙසිනි.

“අපි පුංචි කාලේ පටන්ම දරුවාට නිදහස දුන්නා. හැබැයි එයා ඒ නිදහස නියම විදිහට ප්‍රයෝජනයට ගත්තා. ක්‍රීඩාවයි ඉගෙනීමයි දෙකම එයා හරියටම බැලන්ස් කරගෙන ගියා. අපි එයාව නැණමල් උදය වරු පාසලට දැම්මේ සාමාන්‍ය පෙළ කරන්න. ඒ උදයවරු පාසල තියෙන්නේ සාමාන්‍ය පෙළ අතිමත් දරුවන්ට පුනරීක්ෂණ පන්තියක්. මේ පන්තියට පුතා දක්ෂ නිසා එය ඉක්මනින් ග්‍රහණය කර ගත්තා. කොරෝනා කාලේ පාසල් යන්නේ බැරි වුණු නිසා තමයි එයා පුද්ගලික විභාග අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වුණේ. අපි එයාගේ ආසාවට උදවු කරපු එක විතරයි කළේ. එයා විභාගය සමත් වුණා. අපට සතුටක් තියෙන්නේ පුතා විභාගය සමත් වීම වගේම ක්‍රීඩාවත් දෙකම සමබරව කරගෙන මේ ජයග්‍රහණය ලැබීම.”

මගේ පුතා ලෝකයේම නමක් තියාවි ඒක ස්ථීරයි.