පවුලක බලය විමධ්‍යගත නොවුණොත් ප්‍රශ්න ගොඩයි

ජූලි 24, 2019

අම්මයි තාත්තයි දරු පැටවුනුයි පවුලක ළිප් ගල් තුන හා සමානයි. ඒ බලය මොනතරම් සමතුලිතව බෙදී යා යුතු ද යන්නට නිවෙසේ ගෘහ මූලිකයා පියා වෙද්දී ගෙදර බුදුන් අම්මා වීම හොඳම උදාහරණයකි. එයින් දෙදෙනාටම කුටුම්බයේ එකිනෙකාට නොදෙවැනි බලයක් හිමි බව තවදුරටත් සනාථ වෙයි.

එහෙත් සැමියා, බිරිය යන දෙදෙනාගෙන් කෙනෙක් හිට්ලර් වැනි ආඥාදායකයකු වුණොත් සාමයේ පරවියා නම් ඒ නිවෙසින් ඉගිළී යාම වළකාලිය නොහැකියි.

පති පතිනියන්ගේ අන්‍යෝන්‍ය විශ්වාසය, උත්තරීතර බැඳීම, එකිනෙකා කෙරෙහි පවතින ගෞරවය, විශ්වාසය එවිට සිඳී බිඳී යයි. කෝපය, නොසැලකිල්ල, කනගාටුව, නොරිස්සුම් සහගත බව, ගැටුම්, සාමයට, ආදරයට හිමි තැන රජයන්නට ගනී.

ආධිපත්‍ය ඇතැම් විට රජයන්නට ගන්නේ එකිනෙකා නොදැනුවත්වය. එහෙත් විමසුම් ඇසින් බැලුවොත් එය හඳුනාගැනීම දුෂ්කරවන්නේ ද නැත.

බල සමතුලනය, බලය විමධ්‍යගත කිරීම යුග ජීවිතයේ අත්‍යවශ්‍ය කරුණක් වන්නේ ඒ නිසාය.

 තමන් වෙනුවෙන් හඬක් නැඟීමට නොහැකි බව සිතෙයි.

කුරුල්ලයි කිරිල්ලියි මෙන් සමගි සම්පන්න යුග දිවියක් ගත කරද්දී තම අදහස් පැවසීමට, තමන්ට වුවමනා දේ කීමට කිසිදු බාධාවක් නැත. තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට බියක් ඇතිවන්නේ සහකරු/සහකාරිය විසින් එය ප්‍රතික්ෂේප කරනු ඇති බව හැඟෙන විටදීය.

 වාද බිමේ ජයග්‍රාහකයා  ඔහුය/ඇය

වාද විවාද ඕනෑම පවුල් සංස්ථාවකට පොදුය. බිරියගේ අදහසට සැමියාත් සැමියාගේ අදහසට බිරියත් එකඟ නොවන අවස්ථා ඕනෑ තරම් තිබිය හැකියි. එවන් විටක උපහාසාත්මක නම්වලින් ඇමතීම, අත්පා ඇඟිලි දිගුකරමින් කතා කිරීම, අනෙකාට අපහාස කිරීම, ලජ්ජාවට පත්කිරීම කිසිසේත්ම සිදු නොවිය යුතුයි. පවුලේ බලය එකිනෙකා අතර බෙදී තිබෙන විට මෙවැනි දෑ සිදු නොවෙයි. එවිට

වාදයට හේතුවූ කරුණින් බැහැර අනවශ්‍ය කරුණු එක්කරමින් වාදය දුරදිග යන්නේ නැත.

සහකරු හෝ සහකාරිය නිරන්තරයෙන්ම වාදයේ ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව වන්නේ නම් එතැන රජයන්නේ එකම අණක් පමණි.

ඒකාධිපතියකුසේ ක්‍රියාකරන සැමියා හෝ බිරිය තීරණ ගැනීමේ දී අනෙකාගේ හැඟීම් ගැන ඉදිකටු තුඩක තරමටවත් නොසිතයි. යුග දිවිය සොඳුරු කරන එක් ආදරණීය ලක්ෂණයක් වන්නේ අනෙකාගේ හැඟීම් තේරුම් ගැනීමට ඇති හැකියාවයි. තීරණයක් ගැනීමේ දී සහකරුගේ/සහකාරියගේ හැඟීම් ගැනත් සිතීම යහපත් සැමියෙක්/යහපත් බිරියක් සිය වගකීමක් සේ සලකයි.

බලය පති පතිනියන් අතරේ බෙදී නොයනවා නම් එතැන ඔවුනොවුන්ට ගරු කිරීමක් ද නැත.

වාද විවාදවලින්, තීරණ ගැනීමෙන් ප්‍රමුඛයා වන්නේ අඹු සැමියන්ගෙන් එක් අයකු නම් අනෙකාට ජීවිතයේ හුදෙකලා බවක් දැනීම අරුමයක් නොවෙයි.

යුග ජීවිත සිනමාවේ ප්‍රධාන නළුවා බවට ඒකාධිපති සැමියා/බිරිය පත්වීමේ දී අනෙකා සුළු චරිතයකටවත් හිමිකම් නොකියයි නම් ඔහුට ඇයට ජීවිතය හිස් කඩදාසියක් සේ දැනීම ද අරුමයක් නොවේ.

 

ගෘහස්ථ හිංසනය

ගෘහස්ථ හිංසනය කිසිදු පවුල් සංස්ථා ශබ්ද කෝෂයක නොතිබිය යුතු වචනයකි. අවාසනාවකට ආඥාදායක ලෙස හැසිරෙන සැමියා හෝ බිරිය සිය අණසක අතින් පයින් බැටදී පැතිරවීමට උත්සාහ ගන්නා අවස්ථා නැත්තේ නොවෙයි. අපට වඩාත් අසන්නට දකින්නට ලැබෙන්නේ ආඥාදායක සැමියන්ගෙන් බැටකන කාන්තාවන් ගැනය. ආත්මාර්ථකාමීකම අධිපතිවාදයේ තවත් ලක්ෂණයක් නම් තම ඕනෑ එපාකම් ඉටු කරගත්ත ද අනෙකාගේ අවශ්‍යතා ගැන නොසිතීමයි. ඒ ගැන සැලකිල්ලක් නොදැක්වීමයි. තම අවශ්‍යතා අණ කර ඉටු කරගන්නේ අනෙකා එය කළහැකි තත්ත්වයේ පසුවනවාදැයි සලකන්නේ නැතිවය.

තම අණින් සියල්ල සිදුවුණ ද ඒ අණ නිසා වරදක් සිදුවුවහොත් වරද භාරගැනීමට සිදුවන්නේ අසරණ පීඩිතයාට නම් “අනේ මට සමාවෙන්න” පැවසීම සබඳතාවකදී වැදගත් නමුත් ආඥාදායකයකු ඉදිරියේ මෙය සාධාරණයැයි කියන්නේ කෙසේ ද?

විවාහය සතුටින්, සමගියෙන් පවත්වාගෙන යාම එක් අයකුගේ වගකීමක් නොවෙයි. එහෙත් ඒකාධිපතියකු ඉදිරියේ දී එය ද පීඩාවට පත්වන්නාගේ වගකීමක් බවට පත්වෙයි. තීරණ ගැනීමේ දී කෑමේ දී, බීමේ දී ගමන්යාමේ දී පමණක් නොව අඹුසැමියන් ආදරයේ සුමිහිරිම පල නෙළා ගන්නා සයනයේදීත් අධිපතියා වන ඔහු/ඇය සිතන්නේ තම සතුට ගැන පමණි.

යුග දිවියේ බලය අසමතුලිත කරන ඒකාධිපතියන්, ඒකාධිපතිනියන් බිහිවන්නේ දවසකින් දෙකකින් නොවෙයි. බොහෝ විට ඊට හේතුවන්නේ උපන් ගතියයි.

සමහරු උපතින්ම ඒකාධිපති චරිත ලක්ෂණවලට හිමිකම් කියන අයයි. පෙම්වතුන් ලෙස සිටින කාලයෛ් ඒ බව හඳුනාගත්තා නම් කළ යුත්තේ ඔහුත්/ඇයත් තම ගති ස්වභාවය වෙනස් කර ගැනීමට උත්සාහ ගැනීමයි. එසේ කළ නොහැකි නම් විවාහ වීමට පෙර වෙන් වීම මෙම ගැටලුවට වෙනත් විසඳුමක් නැත.

පවුලක සිටිය යුතු දරුවන් ගණන තීරණය කිරීමේ අයිතිය පවා බිරියට නොදෙන ආඥාදායක පිරිමි අතළොස්සක් හෝ තවමත් අප අතර සිටිති.

පවුල් බලය විමධ්‍යගත නොවීමට තවත් හේතුවක් වන්නේ මුදලේ බලයයි. වැඩියෙන් මුදල් උපයන්නා ගෘහයේ ආඥාදායකයා වීම විරල නැත. එහෙත් එසේ වන්නේ මේ “අපේ මුදල්” කියා නොසිතා “මගේ මුදල්” කියා සිතන්නන්ගෙනි.

ආත්ම විශ්වාසය මඳකම නිසා සිය බලය සිඳ බිඳ ගන්නෝ සිටිති. සැමියා/බිරිය පවසන දෙයට එකඟ නොවුණොත් ඔහුගේ/ ඇයගේ ආදරය අහිමිවේ යැයි සිතා සියලුම අදහස් ඉදිරියේ මුනිවත රැකීම ද යහපත් යුග දිවියක ලකුණක් නොවෙයි. ඒ නිසා ඒකාධිපතිකම ද පවුල් සංස්ථාව දවා අළුකරන තවත් එක් ගිනි පුපුරකි.