කලා බළලු වැවේ ධීවර රැකියාවේ නියැ‍‍ෙළමින් ජීවිත අභියෝග ජයගන්නා දිරිය මවක්...

මැයි 5, 2021

 

තව දින කිහිපයකින් ලෝක මව්වරුන්ගේ දිනය යෙදේ. එහෙත් මවකගේ දිරිය ගැන කියන්නට අවුරුද්දේ දවස් තුන්සිය හැට පහත් මදිය.

ඒ නිසා අප මෙලොවට බිහිකළ මව වියපත් වන විට රැක බලා ගැනීම දරුවන් ලෙස අපගේ වගකීමය. අපි මොන තරම් කතා කළත් මොන තරම් දේ කළත් දස මාසයක් කුස දරා මෙලොවට බිහිකළ දරුවන් කොතෙක් සිටියත් මිය යන තුරුම බඩ වියත රැක ගන්නට සටන් කරන මව්වරු දැකිය. හැකිය. අද අපේ මේ කතා නායිකාව එවැන්නියකි. දරුවන් පස් දෙනෙක් මෙලොවට ජනිත කළ මේ මව කලා බළලු වැවේ ධීවර රැකියාවේ නිරත වෙමින් ජීවිත අභියෝග ජය ගනිමින් සිටින්නීය.

ආර්. ඒ. ජයන්ති නමැති මෙම පස්දරු මව සිය සැමියා සමග අබලන් වූ නි‍‍ෙවසක ජීවත් වන්නීය. අසනීප තත්ත්වයෙන් පසුවන සැමියා සමඟ කිසිදු දරුවකුට බරක් නොදී කලා බළලු වැවේ ඔරුවක නැඟ දියඹට ගොස් මසුන් මරා සිය රැකියාව සිදු කරමින් සිටින්නේ අභිමානෙන් යුතුවය .ඇය කියා සිටින්නේ තමන්ගේ දරුවන් ආර්ථික දුෂ්කරතා වලින් පෙළෙන බව ය. එම නිසා දරුවන්ට බරක් නොවී තම ගතේ හිතේ ශක්තිය මත ජීවත් වීමට අදිටන් කරගෙන සිටින බවය. එමෙන්ම සමාජයේ කාන්තාවකට ඕනෑම රැකියාවක් කිරීම සඳහා ශක්තිය තිබෙන බව ද මේ මව අවධාරණය කරන්නීය.

ඇය කරන්නේ අතිශයින් අවදානම් කටයුත්තකි. උදෑසන නි‍‍ෙවසින් පිටත් වන ඇය වන අලින් ගහන වූ වන මැදින් තනිවම කලා බළලු වැවට ගමන් කරන්නීය. ඔරුවක නැග වැව මැදට යන ඇය දැල එළා ටියුබයක ආධාරයෙන් වැව මැද පිහිනමින් මසුන් දැලට එල වීම ද සිදු කරන්නීය.

අලෙවි කර ගැනීමට නොහැකි මසුන් දුම් කරවල බවට පත් කොට එයින් ද ආදායමක් ලබා ගනිමින් ඇය කියා සිටින්නේ කාන්තාවක් වූ පමණින් ජීවිතය පරාජය නොවිය යුතු බවයි.

ඕනෑම දිරිය කාන්තාවකට තම ශක්තියෙන් නැගී සිටීමට හැකි බව ද ඇය පවසන්නේ ආඩම්රයෙනි. සමාජයට ආදර්ශයක් ලබා දෙමින් ජීවිතයත් මරණයත් අතර සටනක් දෙමින් ජීවිත ගමන දියත් කිරීම සඳහා ඔරුකඳ තනිවම පදින්නේ හිතේ ගතේ ශක්තිය නිසාවෙනි.

ඇය පිළිබඳ මේ සටහන තබන්නේ මව්වරුන්ගේ දිනයේ සැබෑ ලෙසම උපහාරයට ලක්විය යුත්තේ මෙවන් මව්වරු බව ලෝකයට කියන්නටය.

 

 

සටහන  ඡායාරූප

දඹුල්ල කාංචන කුමාර ආරියදාස