අසාර්ථකත්වයට බිය නොවීම සාර්ථකත්වයට මඟයි..

ඔක්තෝබර් 27, 2021

 

දියුණුව ලබා ගත් පුද්ගලයන් සතුව විශේෂ වූ ගතිගුණ, පුරුදු ඇත. එම පුරුදු හා ගතිගුණ අප ළඟ නොමැති වීම කොතරම් දක්ෂතා තිබුණත් අපට දියුණුව ළඟාකර ගැනීමට නොහැකි වීමට හේතුව විය හැකිය.

එමනිසා තමාගේ ඉලක්ක සපුරාගෙන සාර්ථක ජීවිතයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව යන මේ ගමනේ දී අප තුළ ඇති දුර්වලතා සඵලතා බවට පත්කර ගත හැකි පුරුදු ඇති කරගත යුතුය.

අප මේ ලිපි පෙළ මේ දිනවල දී වෙන්කර ඇත්තේ ඒ වෙනුවෙනි. සාර්ථක පුද්ගලයන් සතු දියුණුවට හේතුවන කාරණා 10ක් අප ඔබට ඉදිරිපත් කරන අතර අද ඔබට ඉදිරිපත් කරන්නේ එහි සිව්වන කරුණයි.

එය අසාර්ථකවීම් වලින් ඉගෙන ගැනීමයි.

දියුණුව සොයා ගොස් සාර්ථකත්වය ළඟා කරගත් මිනිසුන්ගේ ජීවිතවල අසාර්ථකවීම් ලෙස වදනක් නැත. ඇත්තේ අත්දැකීම් හා උත්සාහ කිරීම් වැනි වදන් පමණි. බොහෝ විට සාර්ථකත්වය ළඟාකර නොගත් මිනිසුන් අසාර්ථක වීම්වලට බිය වේ. ඒ අසාර්ථකවීමට ඇති බිය නිසාම සාර්ථකත්වය ගිලිහී යයි.

උදාහරණයක් ලෙස යමෙකුට ගඟකින් එතෙර වී අනෙක් ඉවුරට යාමට අවශ්‍ය නම් ගිලේවි, ගසාගෙන යාවි එසේත් නැතිනම් අනතුරකට මුහුණ දීමට සිදු වේයැයි බියකින් පසුවේ නම් හා ජලයට බිය වේ නම් ඔබට එම ගඟ තරණය කිරීමට නොහැකි වේ. එහෙත් නිසි ක්‍රමවේද අනුගමනය කරමින් ගඟ තරණය කිරීමට අවශ්‍ය පිහිනුම් කුසලතාව වර්ධනය කරගැනීමෙන් ගඟ තරණය කිරීමට හැකියාව ලැබේ. නමුත් ගඟ තරණය කිරීමට අසීමිතව බිය දක්වන අයෙක් මේ සඳහා යම් උත්සාහයක්වත් නොදරයි.

අසාර්ථක වේයැයි ඇති අධික බිය නිසා සාර්ථකත්වය ලබා ගැනීමට ඇති අවස්ථාව මඟහැරී යයි. මේ සරල උදාහරණයට අනූව, ජීවිතයේ දී ද අසාර්ථක වීම්වලට බිය වී සාර්ථකත්වය වෙනුවෙන් උත්සාහයක්වත් නොගෙන සාර්ථකත්වය මඟහැර ගනී.

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමැත්තෙන් පසුවන බොහෝ දෙනෙක් ව්‍යාපාරය ආරම්භ නොකරන්නේ එය අසාර්ථක වේයැයි සිතට නැගෙන බිය නිසයි. තමා දැනට කරන රැකියාව ද අහිමි වේයැයි ඇති බිය නිසා රැකියාව අතැර ව්‍යාපාරයට යොමු නොවේ. අනෙක් බිය වන්නේ ව්‍යාපාරයක් ආරම්භ කළ විට අතේ ඇති මුදල් ද අහිමිව යතැයි ඇති බිය, එසේ නැතිනම් මෙය බලාපොරොත්තු වන සාර්ථකත්වය නොලැබීම නිසා අනෙක් අයගේ උසුළු විසුළුවලට ලක්වීමට ඇති බිය ඔබ සාර්ථකත්වය කරා යන ගමනට බාධා පමුණුවයි.

ලෝකයේ සාර්ථකත්වයට පත් වූ කිසිම පුද්ගලයෙක් එකම වරක්වත් අසාර්ථකත්වයට ලක්වී නැතැයි ඔබ හිතනවාද? එහෙත් ඇත්ත තත්ත්වය වන්නේ ඔවුන් යමක් කිරීමට ගොස් එයින් අසාර්ථකත්වය අත්දුටු විට එය අසාර්ථක වීමක් ලෙස නොසිතයි. එය තමාගේ ජීවිතයට අත්දැකීමක් කරගෙන එම අසාර්ථක වූ ක්‍රමය මඟහැර වෙනත් විකල්ප ක්‍රමයක් මඟින් සාර්ථකත්වය කරා පිය නගයි.

මෙය ව්‍යාපාර අංශයෙන් ගත් විට ඔබ අතේ ඇති මුදලින් යම් කොටසක් වෙන්කර තබා අනෙක් කොටසින් ව්‍යාපාරයක් ආරම්භ කරයි. එම ව්‍යාපාරය කරගෙන යන අතරතුර ඉන් යම් අසාර්ථකත්වයක් ලැබෙන බව හැඟෙන විට ඔබට අත්දැකීමක් ලැබේ. ඉන් ලැබෙන අත්දැකීම වන්නේ තමා මේ කරගෙන යන ක්‍රමයට ව්‍යාපාරය කිරීමෙන් සාර්ථකත්වය ලබා ගත නොහැකි බවයි. මෙහිදී දෙවනුව ඔබ කළ යුත්තේ පළමුවර තමාට වැරැදුණු, අසාර්ථකත්වය ලැබූ ක්‍රම සොයාගෙන, එම ක්‍රම මඟහරිමින් විකල්ප ක්‍රම අත්හදා බැලීමයි. මෙහිදී ඔබට ගැලපෙන, සාර්ථක විය හැකි වඩා ප්‍රායෝගික ක්‍රමෝපාය ඔබට සොයා ගත හැකිය.

විභාගය සඳහා ඉදිරිපත්වන සිසුවෙක් ඉන් අසමත් වූවා යැයි පැවසුවත් ඇත්තටම ඉන් ඔහු ඉන් අසමත් වූවා නොවේ. ඉන් පැවසෙන්නේ එම සිසුවා පාඩම් කළ ක්‍රමයේ හෝ විභාගයට උත්තර සැපයූ ආකාරයේ යම් වෙනසක් සිදු කළ යුතු බවයි. තවත් වරක් විභාගයට මුහුණ දීමේ දී තමා පාඩම් කරන ආකාරය හා ප්‍රශ්නපත්‍රවලට උත්තර සපයන ක්‍රමයේ යම් වෙනසක් සිදු කිරීමෙන් ඉන් සමත් වීමට ඔහුට හෝ ඇයට හැකියාව ලැබේ.

මේ සඳහා ඇති ලෝකයේ ජනප්‍රියම කතාව වන්නේ විදුලි බල්බය සොයා ගැනීම පිළිබඳ තෝමස් අල්වා එඩිසන් මහතාගේ කතාවයි. ඔහු ආලෝකය ලබා ගැනීම සඳහා විදුලි බල්බය සොයා ගැනීමට ගොස් 999 වතාවක් අසාර්ථක වී ඇති බව කියැවේ. නමුත් ඔහු පවසා ඇත්තේ ඇතැමුන් මා 999 වතාවක් අසාර්ථක වූ බව පවසතත් එය අසත්‍යයක්. මම විදුලි බල්බයක් නිපදවීමේ දී අනුගමනය නොකළ යුතු ක්‍රම 999 ක් හා බල්බය නිර්මාණය කිරීමේ එක් ක්‍රමයකුත් සොයා ගැනීමට සමත් වූ බවයි.

අපේ අසාර්ථක වීම් හැම එකක්ම වක්‍රාකාරයෙන් අප සාර්ථකත්වය කරා ළං කරන බව මතක තබා ගත යුතු වැදගත් කරුණකි. නමුත් අසාර්ථකවීම් හමුවේ තමා යන ගමන නවතා දැමූවන් කිසි දා සාර්ථකත්වය කරා පියමං නොකරයි.

අප හැම කෙනෙක්ම කුඩා දරුවන් වූ අවදියේ දී එක්වරම ඇවිද්දේ හෝ දිව්වේ නැත. නැගිටින වාරයක් පාසා ඇදගෙන වැටෙමින් නැවත නැවතත් උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇවිදීමට අවශ්‍ය සමබරතාව ලබා පියවරෙන් පියවර ඇවිදීමට හැකියාව ලබයි. මෙහිදී බොහෝ වාර ගණනක් ඇද වැටීම, අසාර්ථක වීම මෙන්ම යම් යම් අපහසුතා, වේදනා විඳීම් ආදියට ද මුහුණ දීමට සිදු විය. නමුත් ඒ සියල්ල ඉවසාගෙන නැවත නැවතත් උත්සාහ කිරීමේ ප්‍රතිඵලය වන්නේ යම් දිනෙක නොවැටී සමබරතාව රැකගෙන ඇවිදීමට හැකියාව ලැබීමයි.

මේ නැගිටීමේ ඇවිදීමට උත්සාහ කිරීමේ අසාර්ථකවීම්වල දී නැවතත් උත්සාහ නොකර සිටියා නම් අප කිසි දිනෙක ඇවිදීමට නොහැකි පුද්ගලයන් බවට පත්වේ. නමුත් ලබා ගන්නා අසාර්ථක වීම් තම කාර්යයට පන්නරයක් කරගැනීම මඟින් ඕනෑම අයකුට සාර්ථකත්වයට ළඟා වීමට හැකි වේ.

කුඩා කාලයේ දී අප අසාර්ථක වීමට බිය නොවේ. එම අවධියේදී අපහසුතාවට පත්වෙයි, ලැජ්ජා කරයි යන හැඟීම් නොමැති නිසාම කුඩා දරුවන් බොහෝ දේ අත්දැකීම් මතින් ම ඉගෙන ගනී. නමුත් වැඩිහිටි වියේ දී අසාර්ථක වීමට ලැජ්ජාවක්, බියක් ඇති නිසාම අප සාර්ථකත්වයෙන් ඈත් වේ. ඔබට සාර්ථකත්වය ඇවැසි නම් අසාර්ථක වීමට ඇති බිය සිතෙන් ඉවත්කර ගත යුතුය.

ව්‍යාපාරයක් ඇරඹීමට සිටියි නම් කුඩාවට එය ආරම්භ කරන්න. ඔබට රැකියාවෙන් ඉහළට යාමට අවශ්‍ය නම් ඒ සඳහා උත්සාහ කරන්න. විභාගයක් සඳහා ඉදිරිපත් වන්නේ නම් ඒ වෙනුවෙන් වැඩ කරන්න. වේදිකාවක කතා කිරීමට අවශ්‍ය නම් අසාර්ථක වෙයි, කතාව වරදීවි යැයි සිත සිතා නොසිට ඒ සඳහා ධෛර්යය උපදවා ගන්න. පුහුණු වන්න. කිසිවක් සිදු නොකර සාර්ථක වූ මිනිසුන් මෙලොව නැත. ඒ නිසා සාර්ථක වීමට අවශ්‍ය නම් ඒ සඳහා ධෛර්යෙන් වැඩ කරන්න. අසාර්ථකත්වයට ඇති බිය සිතෙන් ඉවත්කරන්න.

 

උපදෙස්

ප්‍රවීණ දේශක

මොහාන් පල්ලියගුරු