අප්පච්චිට ඇති ළැදියාවත් එක්ක නිල ඇඳුමට ආසා වුණා

නොවැම්බර් 29, 2021

 

ශ්‍රී ලංකා පොලිස් සේවයේ දෙවැනි කාන්තා පොලිස් ස්ථානාධිපති

ප්‍රධාන පොලිස් පරීක්ෂක

කාංචනා සමරකෝන්

 

“තොටිල්ල පදවන අත ලොව රජ කෙරේය“ යන්න කියමනකට පමණක් සීමා නොවී එය යථාර්ථයක් බවට පත් වූ වාර ගණන බොහෝය. විශේෂයෙන්ම වර්තමානය වනවිට මෙරට බොහෝ මුල් පුටු හොබවන්නේද අභිමානවත් කාන්තා පෞරුෂයෙනි.

 

ඒ බව යළි යළිත් පසක් කරමින් ශ්‍රී ලංකා පොලිස් සේවයේ ද පළමුවරට පොලිස්පතිනියන් තිදෙනෙක් එකවර පත්වීම් ලැබූහ. ඔවුන් ගැන තරුණී තැබූ සටහනේ උණුසුම පහව යන්නට මත්තෙන් අද අපට තවත් කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක පිළිබඳ සටහනක් තබන්නට වාසනාව උදාවී තිබේ. ඒ පොලිස් ඉතිහාසයට එකතු වූ මෙරට දෙවැනි කාන්තා පොලිස් ස්ථානාධිපතිනිය ගැනයි.

ඇය කාංචනා සමරකෝන්

මීරිගම, නාල්ල ප්‍රදේශයේ අලුතින් ස්ථාපිත නාල්ල පොලිසියේ පළමු ස්ථානාධිපති මෙන්ම ශ්‍රී ලංකා පොලිස් සේවයේ දෙවැනි කාන්තා ස්ථානාධිපති.

සිය අභිනව තනතුරේ සේම අභිනව කාර්යාලයේ කටයුතු සමඟ බෙහෙවින්ම කාර්යබහුල වුවද ඇය තරුණී සමඟ දොඩමළු වන්නට අමතක නොකළාය.

 

ඉතින් කොහොමද? අලුත් තනතුර සමඟ බොහොම කාර්යබහුලයි නේද?

“ඇත්තටම ඔව්. නව පොලිස් ස්ථානයක් වාගේම වගකීම් බහුල තනතුරක බර දැනෙනවා. වෘත්තිය අලුත් නොවුණාට වගකීම් බොහෝමයි. ලොකු අභියෝගයකට තමයි මම මේ මුහුණ දී සිටින්නේ. ඉතින් කොහොම හරි ඒ අභියෝගය ජයගන්න උත්සාහ දරනවා.“

 

අපි ඔබේ ළමා කාලය පිළිබඳ මතකය අවදි කරමු.

“මම ඉපදුණේ හෙම්මාතගම, අළුදෙණිය කියන ගමේ. සුන්දර වටපිටාවක පිහිටි අපූරු ගමක කෙළිදෙළෙන් ගතවුණු සොඳුරු ළමා කාලයක මතක තාමත් දැනෙනවා. අපේ පවුලේ දරුවන් හතරදෙනයි. වැඩිමලා අක්කා. ඊට පස්සෙ අයියලා දෙන්නා. මම තමයි පවුලේ බාලයා.

අපේ අම්මා හෙද නිලධාරිනියක්. හෙම්මාතගම රෝහලේ සේවය කළේ. අප්පච්චි යුද හමුදාවේ සාජන් මේජර් කෙනෙක් විදිහට තමයි විශ්‍රාම ගත්තෙ. අද ඒ දෙන්නම ජීවතුන් අතර නෑ.“

 

ඔබ මූලික අධ්‍යාපනය හදාරන්නෙ ගමේ පාසලෙන්.

“හෙම්මාතගම දේවි බාලිකාවට තමයි මම මුලින්ම ගියේ. පහ වසරේ ඉඳන් උසස් අධ්‍යාපනය හැදෑරුවේ කෑගලු බාලිකා විද්‍යාලයෙන්.“

 

ඒ කාලේ හීනයක් තිබුණද පොලිස් සේවයට එකතු වෙනවා කියලා.

“ලොකුවට බලාපොරොත්තුවක් තිබුණේ නෑ. ඒත් හමුදා, පොලිස් නිල ඇඳුමට පුදුමාකාර කැමැත්තක් දැක්වූවා. අප්පච්චි හමුදාවේ සිටි නිසා ඒ කැමැත්ත වැඩියෙන් දැනෙන්න ඇති. අනික මම ගොඩාක්ම එකතු වෙලා හිටියේ අප්පච්චිට. මොකද අප්පච්චි පොඩ්ඩක්වත් අපිට සැරවැර කළේ නෑ. හරිම ආදරණීයයි. අම්මා නම් ඉඳහිට ගහනවා බණිනවා වුණත් අප්පච්චි හරිම සුහදශීලී වුණා. ඉස්සර මම හැමදේම කිව්වෙ අප්පච්චිට. ඉතින් ඒ ළැදියාවත් එක්ක නිල ඇඳුමට මම ආසා වෙන්න ඇති.

ඊට අමතරව මම පාසලේ දී ක්‍රීඩාවට සම්බන්ධ වෙලා හිටියා. පාසල් ශිෂ්‍ය භට කණ්ඩායමේ සාමාජිකාවක්. ඉතින් ඒ සියල්ලම නිසා මේ පැත්තට මාව යොමු වෙන්නත් ඇති.“

 

පාසල් ගමනින් සමුගත්තු ඔබ මුලින්ම යොමු වුණේ උසස් අධ්‍යාපනයට.

“ඔව්. මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධිය හදාරන කාලේ තමයි පොලිස් සේවයට බඳවා ගැනීමට ගැසට් කළේ. ඉතින් අර හිත යට සැඟවිලා තිබ්බ නිල ඇඳුමේ කැමැත්ත එළියට ආපු නිසා අයදුම්පතක් දැම්මා.

 

ඊට පස්සෙ....

“1997 අවුරුද්දෙ ආධුනික කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් විදිහට මම පොලිස් සේවයට එකතු වුණා. ලංකාවේ ප්‍රථම වතාවට තමයි වැඩි කාන්තාවන් පිරිසක් පොලිස් සේවයට එලෙස බඳවා ගත්තෙ. දැනට පොලිස්පතිනියන් විදිහට කටයුතු කරන බිම්ෂානි ජාසිංහආරච්චි, පද්මිණි වීරසූරිය, රේණුකා ජයසුන්දර තිදෙනාත් අයිති මේ කණ්ඩායමට.

කළුතර අභ්‍යාස විද්‍යාලයේ පුහුණුවෙන් පස්සෙ මගේ මුල්ම සේවා ස්ථානය වුණේ කැලණිතිස්ස විදුලි බලාගාරය. අනතුරුව හලාවතට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, මීරිගම, වව්නියාව, දෙහිවල, නිට්ටඹුව, ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය ආදී වශයෙන් ස්ථාන බොහොමයක වරින්වර රාජකාරි කටයුතු කළා. ආධුනික කාන්තා උප පොලිස් පරික්ෂකවරියක ලෙසින් සේවයට එකතු වුණු මට 2006 වසරේ දී කාන්තා පොලිස් පරීක්ෂකවරියක ලෙසත් 2019 වසරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක ලෙසත් උසස් වීම් හිමි වුණා. අනතුරුව පසුගියදා අලුතින් ස්ථාපිත කළ නාල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිනිය බවට පත් වුණා. ලංකාවේ පළමු ස්ථානාධිපතිනිය ලෙසින් පද්මිණි ප්‍රේමලතා මහත්මිය යක්කලමුල්ල පොලිස් ස්ථානයට පත්වී වසර විසි ගණනකට පසුවයි මේ විදිහට කාන්තා ස්ථානාධිපති කෙනකු පත් වන්නේ.“

 

ඔබ ආදරණීය බිරියක්. මවක්. ඉතින් ඒ පෞද්ලික ජීවිතය ගැනත් කතා කරමුකෝ.

“මගේ සැමියා තුෂාර නිලංග. ඔහුත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ලෙස ඇමැති ආරක්ෂක කොට්ඨාශයේ කටයුතු කරනවා. අපි දෙන්නම හලාවත පොලිස් ස්ථානයේ කටයුතු කරන කාලයේ දැන හඳුනාගෙන ඇතිවුණු ආදර සම්බන්ධතාවයකින් අනතුරුව මව්පිය ආශිර්වාදය මැද විවාහ වුණා. අපිට දරුවෝ දෙන්නයි. ලොකු දුව ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ උසස් පෙළ හදාරනවා. පොඩි පුතා ගම්පහ ශාන්ත පීතර විද්‍යාලයේ 07 වැනි වසරේ ඉගෙන ගන්නවා.

 

ඔබේ වෘත්තිය ජීවිතයට හිමිවුණු මේ උසස්වීම පිළිබඳ පවුලේ සාමාජිකයන්ගේ ප්‍රතිචාරය කොහොමද?

“මහත්තයාට නම් හරිම සතුටුයි. ජීවිතයේ අභියෝග බාර අරන් ඉදිරියට යන්න ඔහු මට ලෙකු සහයෝගයක් ලබාදෙනවා. විශේෂයෙන්ම නිවෙසේ වගකිම් මගේ හිසමත නොපටවා රැකියාවේ වගකීම් නිසියාකාරව ඉටු කරන්න එයා ලබාදෙන සහය හරිම වටිනවා. දරුවන්ගෙ වැඩ, නිවෙසේ වැඩ හැමදේම හොයා බලනවා. ඒ අතින් මම හරිම වාසනාවන්ත බිරියක්.

අම්මගෙ අලුත් තනතුරට පුතාගෙත් ලොකු ඇල්මක් තියෙනවා. එයාට අම්මා ගැන ආඩම්බරයි කියලා තමයි හැම තිස්සෙම කියන්නෙ. ඒත් ලොකු දූ නම් මම රැකියාවක් කරනවාට කැමැත්තක් නැහැ. එයාට හැමතිස්සෙම දැවටි දැවටි ඉන්න අම්මා ඕනේ. ඒ නිසා වෙන්න ඇති. මේ තනතුර නිසා අම්මාට ගෙදර ඉන්න තියෙන වෙලාව තවත් අඩුවුණා කියලා එයා හිතනවා ඇති.

ඒ වාගේම මේ වෙලාවේ මම මතක් කළ යුතුම දෙන්නෙක් ඉන්නවා. ඒ මගේ මහත්තයාගෙ අම්මා සහ පුංචි අම්මා. ඔවුන් මගේ දරුවෝ දෙන්නා බලාගෙන, නිවෙසේ වැඩ කටයුතු සොයා බලා ලබාදෙන සහයෝගය නිසා තමයි මට මේ විදිහට නිදහසේ රාජකාරියේ යෙදෙන්න හැකියාව ලැබුණේ. ඉතින් මගේ සැමියාට වාගේම අම්මාට, පුංචි අම්මාට බෙහෙවින්ම ස්තූතියි ලබාදෙන ඒ සහයෝගයට.“

 

ඔබ දැන් කාර්යබහුල පොලිස් ස්ථානයක ස්ථානාධිපතිනියක්. ඒ වාගේම ආදරණීය මවක්. රාජකාරි දිවිය තුළ වාගේම පෞද්ගලික ජීවිතයේ දරුවන්ගේ කටයුතු පිළිබඳ බොහොමයක් බලාපොරොත්තු ඇති.

“මගේ දරුවෝ හොඳ අධ්‍යාපනයක් ලබනවාට මම හරිම කැමැතියි. ඒත් මම කවදාවත් එයාලට ටාගට් දෙන්නෙ නෑ. ඔයාලා මේ මේ විදිහේ රැකියා කළයුතුයි කියලා කියන්නෙත් නෑ. අධ්‍යාපන කටයුතු පස්සෙම යන්න මහන්සි ගන්නෙත් නෑ. මම එයාලට නිදහස දීල තියෙනවා එයාලා යායුතු මාර්ගය තෝරාගන්න. මම හැමදාමත් කියන්නෙ ‘පුතේ රැකියාවෙන්, සමාජ මට්ටමෙන් උසස්කම මනින්න බැහැ. හැමෝටම තමන් කරන වෘත්තිය උසස්. ඒ නිසා කාටවත් කරදරයක් නැති සමාජයට වැඩදායි පුද්ගලයන් දෙදෙනකුවීම තමයි මම එයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා.“

රැකියාව පැත්තෙන් ගත්තහම කාන්තාවක් විදිහට මම මේ භාර අරන් තියෙන්නෙ ලොකු අභියෝගයක්. හැබැයි මම කාන්තාවක් කියලා හිතල කිසිම වෙලාවක පසුබසින්නෙ නෑ. දුර්වල චරිතයක් වෙලා අපි පසුගාමි වුණොත් හැමදාමත් පසුපසට තමයි යන්න වෙන්නේ. ඒ නිසා කාන්තාවන් හැමෝටම කියන්නෙ ඔබ දුර්වල චරිතයක් කියලා පසුගාමී වෙන්න එපා කාන්තා අපිට ඕනැම අභියෝගයක් ජයග්‍රහණය කළ හැකියි.

නාල්ල කියන්නෙ මීරිගම බල ප්‍රදේශයේ තරමක් දුරස්ව තියෙන පැත්තක්. ඒ නිසාම විවිධ ආකල්ප දරන, නීතිය ගැන දැනුමක් නැති නොදැනුවත්කම් නිසා නොමඟට වැටෙන පිරිස වැඩි පළාතක්. ඉතින් මම මේ ගැටලුකාරි තත්ත්වය අවම කරලා සාමය ආරක්ෂා කරගන්නයි සැමවිටම උත්සාහ දරන්නේ.“

 

 

ඡායාරූප - ශාන් රූපස්සර