බිරිය මියගොස් වසරක් ඇතුළත සැමියා මියයාමේ ප්‍රතිශතය වැඩියි

අප්‍රේල් 25, 2022

 

පිරිමි තම බිරිය මියගිය විට වසරක් ඇතුළත මියයාමේ ප්‍රතිශතය වැඩියි.ස්වාභාවික සංසිද්ධීන් හෝ කිසියම් රෝගයක්,හදිසි අනතුරක් යන මේ කොයි දෙ හෝ සිදු වී මිය යයි.

අස්ථිර ලෝකයේ ස්ථීර කිසිවක් නොවේ. සියල්ල අනිත්‍යයය. මිහිකතෙන් හට ගත් දෙය මිහිකතටම යළි එකතු වේ. මිනිස් ජීවිතය ද එවැන්නකි. ඇත්තෙන්ම ජීවිතය තණ අග පිනි බිඳුවක් වැනිය. ජීවිතය එතරම්ම අවිනිශ්චිතය.

කොරෝනා වසංගතය අපිට පසක් කර දුන්නේද මෙයමය. මොනයම් වු අවාසනාවකින් හදිසියේ අප අතරින් වියෝ වන සමීපතමයකු ගේ වියෝවක් දරාගන්න එක නම් ලෙහෙසි පහසු නෑ. ඔබ අප මේ කොරෝනා මරණයන් පිළිබඳව මොනතරම් සංවේදී වෙනවාද ? හදිසි අනතුරු වලින් මියයන්නන් පිළිබඳව මොනතරම් කම්පා වනවා ද? එසේම ආදරණීයයන්ගේ වියෝව දරාගන්න බැරිම තැන ජීවත්වන්නවුන් ද දිවියෙන් වන්දි ගෙවන අවස්ථාද තිබෙනවා. ඒ විතරක් ද? ඇතැම් අය ජීවිත කාලයටම මානසික රෝගීන් බවට පත් වුණු අවස්ථා අප දකිනවා. එහෙත් අප දැන් කළ යුත්තේ මේ සියල්ල උපේක්ෂාවෙන් දරා ගැනීමට අප හුරු පුරුදු වීමියි. එහි සරල තේරුම හිත හදා ගන්නට කටයුතු කළ යුතු බවයි.

ඒ සඳහා මනෝ විද්‍යාත්මක ප්‍රවේශයක් ලබා ගැනීමට කටයුතු කිරීම බෙහෙවින් වටී. ඒ සඳහා අවැසි මඟ පෙන්වන්නට මේ ලිපියෙන් අප උත්සාහ ගනිමු.

කොරෝනා වැනි වසංගතයකින් හෝ හදිසි අනතු රකින් අනපේක්ෂිත ලෙස ඥාතියකුට සිදු වන වියෝවක දී අපේ ගත නොදැනුවත්වම සංසිද්ධීන් කිහිපයකට භාජනය වේ. එය කිසියම් ක්‍රියාදාමයක අනුපිළිවෙළකි. මනෝ විද්‍යාවේදී එය අවධි 03 කට බෙදා දැක්වේ.

 

පළමු අවධිය- මරණය හීනයකැයි සිතීම

තමන්ගේ හෝ ළඟම ඥාතියකුගේ, හිතවතකුගේ මරණයට මුහුණ දුන් පුද්ගලයකුට පැය කිහිපයක් හෝ දින කිහිපයක් ගත වන තුරු දැඩි කම්පනයක් ඇති වේ. හිතන්න එය ඔබට සිදුවූවක් කියා. එවිට ඔබ විසින් සියල්ල ප්‍රතික්ෂේප කරනු ලැබේ. බොහෝ විට මේ මරණය හීනයක් යැයි සිතයි. යථාර්ථයට දැඩි සේ බිය බවක් පෙන්වයි. හීනයක පා වෙනවා සේ සිතට දැනෙයි. කිසිදු ප්‍රතිචාරයක් නොදක්වයි. ඔළුව ගහ ගැනීම, ඇඬීම, කෑ ගැසීම වැනි ලක්ෂයණ පෙන්වයි.

* දෙවැනි අවධිය - මාස ගණනාවක් හඬා වැලපීම

දෙවැනි අවධිය ලෙසින් හඳුන්වන මනෝභාවයේදී ඔහු හෝ ඇය (විශේෂයෙන් කාන්තාවන්) සතියක් හෝ මාස ගණනාවක් අඬයි. වැළපෙයි. මෙය කිසියම් රටාවකට සිදුවෙනවා කිව්වොත් නිවැරැදිය. එනම් අඬ අඬා දුක්වෙමින් සිට එය නතර කරයි. ඉන් පසුව යම් නෑදෑයෙක් දුරකථන ඇමතුමකින් හෝ විමසීමක් කළහොත් ආවේගශීලීව කෑ ගසා අඬයි. මෙය එක් වරම මතු වන දෙයකි. එවැනි පුද්ගලයකු පැය ගණනාවක් නිශ්චලව සිටියි. වියෝව දරාගත නොහැකිව ඒ පුද්ගලයාට නින්ද යන්නේද නැත. ලොකු පසුතැවීමකින් පසුවෙයි. මොවුන් මියගිය පුද්ගලයා සැබෑවටම මිය ගියා යැයි විශ්වාස නොකරයි. අතීතාවර්ජනය සිදුකරයි. මියගිය පුද්ගලයා හා ගනුදෙනු කළ අන්දම මතකයට නගමින් නිතරම මැසිවිලි නගයි.

 

*තුන්වැනි අවධිය- ඔහු හෝ ඇය වෙනුවෙන් ජීවත් වීම

තුන්වැනි අවධියට අවතීර්ණ වන පුද්ගලයා සිය වියෝ වූ ඥාතියා කළ කී දේ තමා විසින් සිදු කරයි. එනම් ඔහු හෝ ඇය වෙනුවෙන් ජීවත් වේ. එම පුද්ගලයා ගෙන් පවුලට, සමාජයට, රටට විය යුතු කාර්යයභාර්ය තම වගකීමක් සේ සිතා මැනවින් ඉටු කරයි.

කෙසේ වෙතත් කිව යුත්තේ අවධි තුනට මුහුණපාන පුද්ගලයා ගේ පෞරුෂත්වය මත තම ජීවන පෙරලිය සිදුකරගෙන යන බවයි. එසේම මෙවන් අත්දැකීම් ලත් පුද්ගලයකුගේ ඇසුර (මේ දිනවල නම් දුරකථනය මගින් ) ලැබේ නම් ඉන් හිත හදා ගැනීමට හැකි වේවි. තරමක් හෝ අපහසුතාව මඟහැරෙනු ඇත.

මනෝ විද්‍යාවට මෙන්ම සමාජ විද්‍යාවට අනුව පර්යේෂණ කිරීමේදී පෙනී ගොස් ඇත්තේ පිරිමින්ට වඩා කාන්තාවන් මෙවැනි අවස්ථාවලට සාර්ථකව මුහුණ දෙන බවයි. ඒ අනුව විවාහක පිරිමි තම බිරිය මියගිය විට වසරක් ඇතුළත මියයාමේ ප්‍රතිශතය වැඩි බව සොයාගෙන තිබේ. ස්වාභාවික සංසිද්ධීන් හෝ කිසියම් රෝගයක්, හදිසි අනතුරක් යන මේ කොයි දේ හෝ සිදු වී මිය එම පුද්ගලයා මියයයි. එසේ වන්නේ එතරම්ම ඔවුන් මානසිකව බිඳ වැටෙන් නිසාය. ඔවුන් බිරිය නොමැති නිසා දැනෙන තනිකමට බියක් දක්වයි. එහෙත් කන්තාවන්ගෙ හිත දරුවන් වෙනුවෙන් ශක්තිමත් වේ. ඔවුන් ශෝකය යටපත් කර ගැනීමට උත්සහා ගනී. ‘‘මේ දරුවා හෝ දරුවන් නැත්නම් මම මෙලහකටත් එයා ගිය ලෝකයට ගිහින්‘‘ වැනි වදන් කියමින් ඔවුන් හිත හදා ගන්නට පෙලඹෙයි.

මේ ගෝලීය වසංගතයෙන් මිය ගිය පිරිස වැඩියි. ඔබටත් ඇතැම්විට ළඟම ඥාතියකු ගේ මරණය, වියෝව ගැන අමිහිරි අත්දැකීම් ඇති. එහෙත් ඒ සියල්ල ගැන බැලිය යුත්තේ ඔවුන් වෙනුවෙන් තමන් ජීවත් වීමටයි. එසේ නොවී මියගිය කෙනා වෙනුවෙන් ජීවිතය පූජා කිරීමේ කිසිදු පල ප්‍රයෝජනයක් නැත.

කවුරු කෙසේ ඔබට ශෝක නොවන්නට කීවත් ඇතැම්විට ශෝක වීමේ, ඇඬීමේ දෙඩීමේ ක්‍රියාදාමය වැදගත් වන්නේ දුක මැඩලීමට හැකි ප ක්‍රමයක් බැවිනි. මරණය කෙතරම් අමිහිරි වුවත් ආගමට දහමට අනුව වගේම ලොව සදාතනික දහමට අනුව එය එසේ වේවි.හිත ශක්තිමත් කර ගැනීම හැර අන් පිළිසරනක් නැත.

උපදෙස් -

කොළඹ ජාතික රෝහලේ සහ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වීශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ