“ක්‍රීඩාවෙන් සමු ගත්තු දවසට මට හිතන්න දෙයක් තියනවා”

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඔස්ට්‍රේලියාවේ සිට තරුණීට හෙළි කළ රහස
නොවැම්බර් 14, 2022

 

නායකත්වයක සැබෑ හැකියාව වන්නේ තම කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමයි. එසේම අසීරු අවස්ථාවේදී තම කණ්ඩායමට ශක්තියක්වීමයි. මෙය ක්‍රීඩාවේදී අවශ්‍යම ගුණාංගයකි. ලොවක් ඉදිරියේ අපේ මේ පුංචි රටේ නාමය බබළවන්න හැකියාව උදාවූයේ මෙවන් නායකත්වයක් හිමි ක්‍රීඩකයන්ගේ සහජ කුසලතාවයෙනි. අප ලෝක සූරයන් බවට පත් වූයේද මෙවන් නායකත්වයක මඟ පෙන්වීමෙනි.

 

චමරී අතපත්තු... ඇය ගැන අප ආදරයෙන් කතා කරන්නේ ද ඒ නිසයි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙසින් ඇය දක්වන කුසලතාවය හා හැකියාව මුළු කාන්තා ක්‍රිකට් කණ්ඩායමටම දැවැන්ත පන්නරයකි. එසේම නායකත්වය පිළිබඳ ආදරයකි. මේ සියලු ගුණාංගවලින් පිරිපුන් අය මේ වන විට ඔස්ට්‍රේලියාවේ ‘බිග් බෑෂ්’ Big Bash තරගාවලියට සහභාගිවෙමින් සිටින්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරන එකම ක්‍රීඩිකාව ලෙසිනි. එම තරගාවලියේ ඇය නියෝජනය කරන්නේ මෙල්බර්න් රෙනිග්‍රේඩ්ස් කණ්ඩායමයි. එම තරගාවලියේදී ඉහළ දස්කම් දක්වන ඇය ඉහළ ලකුණු ලැබූ ක්‍රීඩිකාවන් අතර ඉදිරියේම රැඳී සිටින්නේ ලොවක් ඉදිරියේ ශ්‍රී ලාංකේය නාමය බබළවන රිදී තාරකාවක් ලෙසිනි. අභියෝගාත්මක තරගාවලියක ඉතාම කාර්යයබහුල අවිවේකී කාලයක් ගත කළත් මොහොතක් කතාබහකට එක්වීමට ප්‍රථම කාලයක් වෙන් කරගන්නේ අප සමඟ වූ ළෙන්ගතු සැබැඳියාව නිසාමයි. මේ ළෙන්ගතු බැඳීම නිසාම ය.

 

ඉතිං චමරි... කොහොමද මේ තරගාවලිය.

 

ඇත්තටම ඉතාම සාර්ථකයි. ඊයේ පැවැත්වුණ තරගයේදී මම ලකුණු 75ක් ලබා ගත්තා. අද තිබුණු තරගයේදී අපට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. මට තව තරග හතක් පමණ තියනවා ක්‍රීඩා කරන්න. මේ තරග හයේදී උපරිම දක්ෂතා පෙන්වීම තමයි මගේ එකම අපේක්ෂාව. ඇත්තටම මම ලබන මේ අත්දැකීම ඉදිරියේදී මට විශාල පිටිවහලක් වෙනවා. ඉදිරියේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරද්දි අපේ කණ්ඩායම සමඟ මේ අත්දැකීම හුවමාරු කර ගන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ට මගේ මේ තරගාවලියේදී ලැබුණු දැනුම යොදා ගන්න හොඳම අවස්ථාවක්. මේක මට ලැබුණු ලොකු විශේෂ අවස්ථාවක්. හතරවැනි වතාවට තමයි මම මේ බික් බෑෂ් තරගාවලියට සහභාගි වෙන්නේ.

 

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස ඔබට ලොකු වගකීමක් පැවරිලා තියනවානේ චමරි. ඒ වගකීම ඉටුකරන්න ඔබ සැලසුම් කරන්නේ කොහොමද?

 

කණ්ඩායමේ නායිකාව හැටියට මට විශාල වගකීමක් පැවරිලා තියනවා. එම වගකීම ඉටු කරන්න හැම වෙලාවෙම නොපිරිහෙලා බැඳිලා ඉන්නවා. ඒ වෙනුවෙන් මම උපරිමයෙන් කැප වෙනවා. සමහර තරගවලදී මට ලකුණු අතරට එන්න හැකියාව ලැබුණේ නැහැ. විශේෂයෙන් පසුගිය ආසියානු කුසලානයේ ලකුණු අතර හිටියේ නැහැ. නමුත් මම ඊට පෙර පැවැති තරගවලදී ලකුණු අතර හිටියා. අවාසනාවට මට ඒ තරගාවලියේදී ලකුණු අතරට එන්න වාසනාව ලැබුණේ නැහැ. ක්‍රීඩාවේ ස්වාභාවය තමයි එය. සමහර තරගවලදී ලකුණු අතරට එන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ක්‍රිකට්වල විතරක් නොවෙයි හැම ක්‍රීඩාවකම ස්වභාවය ඕක තමයි. සමහර අවස්ථාවලදී අපට ලකුණු අතරට එන්න ලැබෙන්නේ නැහැ. අපි මේ කරන්නේ ක්‍රීඩාවක්... ඒ ක්‍රීඩාවේදී මම සෑම අවස්ථාවකදීම මගේ උපරිමයෙන් උත්සාහ කරනවා ලකුණු අතරට එන්න. මගේ උපරිම හැකියාව දක්ෂතාවය නායකත්වය ලබා දෙන්න. සමහර කාලවලදී අපට ලකුණු අතරට එන්න බැරි වෙනවා. ක්‍රිකට්වල ස්වභාවය... මම උපරිම උත්සහ කරනවා මගේ සුපුරුදු රිද්මයට ඇවිත් මගේ කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවන්න. ඉදිරියේදී අපට බංග්ලාදේශ සංචාරයක් තියනවා. ඒ තරගය ජනවාරි මාසයේ පැවැත්වෙනවා. පෙබරවාරි මාසයේදී 20 – 20 ලෝක කුසලානය පැවැත්වෙනවා අප්‍රිකාවේදී. ඒක තමයි අපට ඉදිරියේ තිබෙන තරග. ඒ තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමේ භාරදුර වගකීම පැවරිලා තියෙනවා. ඒක මම නොපිරිහෙලා ඉටු කරනවා.

 

අපි බොහෝ දෙනෙක් බලාපොරොත්තු තබාගෙන හිටිය තරගයක් වුණේ පහුගිය 20 – 20 ආසියානු තරගාවලිය. ඇත්තටම ඇයි අපට එහිදී අනුශූරතාවය හිමි වුණේ කියලා කියන්නකෝ... ඒ හුඟ දෙනකුට ප්‍රශ්නයක්.

 

වසර 14කට පස්සේ තමයි අපි ආසියානු කුසලාන අවසාන මහා තරගාවලියකට පැමිණියේ. ඊට පෙර 2008දී තමයි අවසාන මහා තරගාවලියට පැමිණියේ. මම හිතන්නේ ඒ තරගයේදී මම ක්‍රීඩා කළෙත් නැහැ. ලංකාවේදී තිබුණු 20 – 20 තරගාවලියේදී ඉන්දියාව තරග දෙකක් ජයග්‍රහණය කළා. අපට එක තරගයක් ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. ඔවුන් සමඟ කරට කර තරගයක් ලබා දුන්නෙ ලංකාවට ආපු වෙලාවේ. අවසානයේ ආසියානු කුසලානයේ මහා තරගයේදී ඉන්දියාවට පරාජය වුණා.

ඉන්දියාව කියන්නේ හොඳ අත්දැකීම් බහුල කණ්ඩායමක්. ඔවුන්ගේ ක්‍රීඩිකාවන් හත් අටදෙනෙක් ලෝකයේ පැවැත්වෙන ෆැන්චියිස් ක්‍රීඩා තරගවලට සහභාගි වෙනවා. ඒ කියන්නේ ලීඩ් තරගවලට සහභාගි වෙනවා. ඔවුන්ට අත්දැකීම් බොහෝ තිබෙන ක්‍රීඩිකාවන් රාශියක් සිටිනවා. ජාත්‍යන්තර මට්ටමේ ලීග් ක්‍රීඩා තරගයකට සහභාගි වෙන එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව මම විතරයි. මම හිතන්නේ අප කණ්ඩායමේ ඉන්නේ හුඟක් තරුණ ක්‍රීඩිකාවන්. ඒ නිසා මගේ කණ්ඩායමයි ඉන්දියාවයි ගත්තාහම ඉන්දියාවේ ක්‍රීඩිකාවන් අත්දැකීම් බහුලයි. නමුත් දක්ෂතා අතින් මගේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ඉහළ මට්ටමේ ඉන්නවා. ඔවුන්ගේ අත්දැකීම් මදිකම තමයි අපට තිබෙන්නේ. එහෙම නැතිනම් අපේ කණ්ඩායම ඔවුන් සමඟ කරට කර තරග කළ හැකි කණ්ඩායමක්. මම හිතන්නේ මගේ තරුණ ක්‍රීඩිකාවන් සිටින කණ්ඩායම ඉදිරියේදී හොඳ දක්ෂතා පෙන්වමින් ජයග්‍රහණ හිමිකර ගෙනයි කියලා මම විශ්වාස කරනවා.

 

චමරිගේ පුද්ගලික ජීවිතේ ඉදිරි සැලසුම ගැනත් පොඩ්ඩක් දැනගන්න කැමැතියි.

 

මගේ ජීවිතයේ මූලිකත්වය දීලා තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට. ඒකට තමයි මම මූලිකත්වය දීලා තියෙන්නේ. පෞද්ගලික ජීවිතයයි ක්‍රීඩාවයි පටලවා ගත්තොත් ක්‍රීඩා කිරීම අපහසුයි කියලා තමයි මම හිතන්නේ. ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත්තු දවසට මම විවාහය ගැන හිතනවා. දැනට මගේ අධිෂ්ඨානය හා ඉලක්කය වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීම හා නායකත්වය ලබා දීමයි. එයින් අපේ රටට ජයග්‍රහණයක් අත්පත් කර දීලා රට ලෝකය ඉදිරියේ බබළවන එක තමයි මගේ එකම හීනය. ඒ නිසා පෞද්ගලික ජීවිතයට වඩා මගේ ක්‍රීඩා ජීවිතයට තමයි දැන් මුල් තැන දෙන්නේ.

 

අපේ ක්‍රීඩා ලෝලීන් හැම වෙලාවේම ඔබේ ජයග්‍රහණ ගැන බලාගෙන ඉන්නවා. ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ සිට දෙන්න තියන පණිවුඩය කුමක්ද?

 

ප්‍රේක්ෂකයෝ ක්‍රීඩා ලෝලීන් හැම වෙලාවෙම කැමැති අපි ජයග්‍රහණය කරනවාට. අපේ ජයග්‍රහණයේ සතුට විඳින්න... ඒක තමයි අපේ වගකීම. ඔවුන් වෙනුවෙන් තරග ජයග්‍රහණය කිරීම තමයි අපේ වගකීම වෙලා තියෙන්නේ. ඒ ජයග්‍රහණ වෙනුවෙන් උපරිම කැපවීමත් උත්සාහයත් කරනවා. නමුත් අවස්ථාවලදී අපි කොච්චර කැපවීම් කළත් වාසනාව කියන දෙය බලපානවා ක්‍රීඩාවට. සමහර කාලවලදී අපි කොච්චර කැපවීම් කළත් හොඳින් ලකුණු අතරට එන්න බැරි වෙන්න පුළුවන්. කඩුලු අතරට එන්න බැරි වෙන්න පුළුවන්. අපි තරග පරාජය වෙනවා. ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය, ගෞරවය, කරුණාව සෑම වෙලාවෙම අපට ලැබෙන්න ඕනෙ. අපිත් මනුස්සයෝ අපටත් මිස්ටේක් වෙන්න පුළුවන්. ක්‍රීඩිකාවන් ක්‍රීඩකයන්ගේ එකම ශක්තිය, ආශීර්වාදය අපේ ක්‍රීඩා ලෝලීන්. ඔවුන් අපේ ජයග්‍රහණයේදී වගේම පරාජයේදීත් එකට අත්වැල් බැඳගෙන අපට ලබා දෙන දිරිගැන්වීම තමයි අපි ඉදිරියට ගෙන යන්නේ. ඒ නිසා අපි හැම වෙලාවෙම ක්‍රීඩාව සමඟ ජීවත්වෙනකොට ලැබෙන ඒ ආශීර්වාදය තරම් දෙයක් තවත් නැහැ කියලා තමයි මම විශ්වාස කරන්නේ.

 

ජායාරූප - ශාන් රූපස්සර