හිත හයිය කෙල්ලන්ට පමණයි

සැප්තැම්බර් 9, 2024

 

මල් පෙති වගේ සියුමැලි කෙල්ලෝ හිටියේ ඉස්සර.. දැන් ඉන්න කෙල්ලෝ කාටවත් අත නොපා තමන්ගේ ශක්තියෙන් තනි මහන්සියෙන් වෙනමම ගමනක් යන්නයි පුරුදු වෙලා තියෙන්නේ. එහෙම කෙල්ලෝ අතරේ යක්කු වගේ කාටත් බය නැති, ඕන අභියෝගයක් බාර ගන්න හිත හයිය කෙල්ලොත් ඉන්නවා. ඒ කෙල්ලොයි මේ කෙල්ලොයි පෙනුමෙන් වෙනසක් නැති වුණාට මේ කෙල්ලන්ට ඕනම තැනක කැපී පේන්න අමුතුවෙන් දඟලන්න දෙයක් නැහැ. මොකද මේ කෙල්ලෙ නිතැතින්ම කෑපී පේන්න හරි දක්ෂයි. කවුරු කකුලෙන් ඇද්දත් මේ කෙල්ලෝ තමන්ගේ ගමන නවත්තන්නේ නැහැ. ඒ විදිහෙ හිත හයිය කෙල්ලෙක් වෙන්නනම් ආකල්පමය වශයෙනුත් වෙනස් වෙන්න නම් ඕනේ. ඒ නිසා මේ කියන්න යන දේවල් හිතට ගන්න.

අන් අයගෙන් දේවල් බලාපොරොත්තු වෙන්න එපා

 

ගැහැනු ළමයෙක් තමන්ගේ පෙම්වතාගෙන් එහෙම නැත්නම් බිරියක් තමන්ගේ ස්වාමියාගෙන් බලාපොරොත්තු වෙන දෙවල් කියලා හිතන දේවල් ටිකක් තියෙනවනේ. ඔහුගෙන් බලාපොරොත්තු වෙන ආරක්ෂාව. එතකොට ආර්ථිකය පැත්තෙන් ගත්තොත් කන කෑම ඉඳලා ඇඳුම් පැලදුම්, ඉඳුම් හිටුම් ඒ හැමදෙයක්ම දෙයි කියලා හිතුවට ඒ දේවල් තියෙන්නේ හීන ලෝකේ විතරයි. මේ පවතින සමාජ රටාව ඉවසිය නොහැකි ආර්ථික දරිද්‍රතාවයත් එක්ක හැමෝම කාර්යබහුලයි. ඉතින් වෙන කෙනෙක්ගෙන් එහෙම බලාපොරොත්තු වෙලා ඒවා ලැබෙන්නේ නැති වුණාම දැනෙන දුක ඊටත් වැඩිය අමාරුයි. තමන්ගේ දේවල් තමන්ටම සපයා ගන්න පුළුවන් තරමට දියුණු වෙන්න. එතකොට කවුරු නැතත් තමන්ට තමන් ඉන්නවනේ කියලා හිතලා බය නැතිව ජීවත් වෙන්න පුළුවන්.

ඉවසීම වැදගත්

 

කෙල්ලෝ, කොල්ලො කියලා වෙනසක් නැතුව ඉවසීම නම් හැමෝටම තියෙන්න ඕනේම දෙයක්. ඒ ඉවසීමට ගැහැනු ද පිරිමි ද කියන එක අදාළ වෙන්නෙම නැහැ. ඒක මනුස්සයෙක්ගේ ශක්තිමත් බව මනින එක මිනුමක්. හිතන්න රැකියා ස්ථානයේදී මොකක් හරි පොඩි දෙයකට ඔයා කරපු කාර්යයේ අඩුපාඩුවක් දැකලා ඒක ඔයාට කිව්වා කියලා. එහෙම කිව්වා කියලා ඔයා එතැන දෙකක් වෙන්න කෑ ගහලා පිස්සුවක් නැටුවොත් මෙහෙම දෙයක්වත් ඉවසන්න බැරි දුර්වලයෙක් විදියට හංවඩු ගැහෙනවා. අන්න ඒ නිසා පුළුවන් තරම් ඉවසන්න බලන්න. මේ ඉවසීම කාර්යාලයේදී විතරක් නෙවෙයි ගෙදරදී පාරෙදී, සමාජයක් ඉස්සරහදී මේ හැමතැනටම තියෙන්න ඕනේ.

බය නැතුව අදහස් ප්‍රකාශ කරන්න

 

දෙයක් කියන්න තියෙනවා නම් කියලා දාන්න තරම් හැකියාවක් ගෑනු ළමයෙකුට තියෙන්න ඕනි. හිතේ දේවල් හිරකරගෙන ඉඳලා පස්සේ හූල්ලන්න තියාගන්නේ තියෙන සබකෝලෙකට හරි මොකක් හෝ ලැජ්ජාවකටනේ. ඒක සෑහෙන ලොකු දුර්වලකමක්. එහෙම වුණාම මෝඩ දේවල්වලට යටත් වෙලා ජීවත් වෙන්න වෙනවා. අනික් අතට ඇයි මම මේ දේ නොකිව්වේ කියලා හිත හිතා ජීවිත කාලෙම දුක් වෙන්න සිද්ධ වෙනවා. පසුතැවීම් කියන්නේ හිතේ ශක්තියට කහඹිලියා ගෑවුණා වගේ ඕනිම නැති දෙයක්. ඒ නිසා පසුතැවීම්වලට ඉඩ නොදී හරි තැනදි කට ඇරලා අදහස් ප්‍රකාශ කරන්න.

ඉලක්කයක් අවශ්‍යමයි

 

අනික් අයට තියෙන ඉලක්ක අපිට ඕනිම නෑ. විශේෂයෙන්ම ගෑනු ළමයෙක්ට එහා ගෙදර ඇන්ටිගේ දුව 25න් බැන්දා කියලා ඒ වයසින්ම බඳින්න ඕනි නෑ. ඉලක්කයක් කියන්නේ බලාපොරොත්තුවක්. ඒක වෙන කාගෙන්වත් බලාපොරොත්තු වෙන දෙයක් නෙවේ, තමා ගැනම තමාට තියෙන විශ්වාසයක්. ඒ ඉලක්කය ගැන, එතැනට යන්න ඕනි විදිය ගැන, ඒකට කොච්චර කාලයක් යනවද කියන එක මේ හැමදේම තීරණය කරන්න ඕනි ඔයා විතරමයි. එහෙම දෙයක් තිබ්බම ලෝකයා කියන දාහක් කතන්දර වැලි කැටේකට සීමා කරන්න ඕනි නෑ. මොකද යන්න ඕනි ගමන ගැන බිංදුවේ ඉඳලම දන්න නිසා. අනික් ඈයොන්ගේ කෙළවරක් නැති ප්‍රශ්නවලට කනෙන් දුම් දාන්න පුළුවන් උත්තර දෙන්න ඉලක්කයක් හදාගන්න.

මානව සම්බන්ධතා ගොඩනගා ගන්න

 

ජීවත් වෙනවා නම් තනියෙන් වුණත් ඉන්න පුළුවන්. ඒත් මනුස්ස වාසයක් තියෙනකොට ඒක පොඩ්ඩක් ප්‍රියමනාපයිනේ. එහෙමයි කියලා අමනුස්ස වේශයෙන් ඉන්න පුද්ගලයෝ නෙවේ හොඳ යාළුවෝ ටිකක් ඇතිකරගන්න. හිනා වෙන්න, කතා කරන්න, එකතු වෙලා දුර ගමනක් යන්න යාළුවෝ සෙට් එකක් හිටියම හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා. මම තනිවෙලා නෑ වගේ හැඟීමක් එනවා කියන්නේ ඉතින් ශක්තිමත් වෙන්න බවුන්ඩේසම වැටිලා ඉවරයි. මානව සම්බන්ධතා ශක්තිමත් වෙන්නේ ඒ සම්බන්ධතාවේ දෙපැත්තේ ඉන්න දෙන්නාටම හොඳ අවබෝධයක් ඇත්නම් විතරයි. එහෙම අය අඩුයි. ඒත් හම්බුණොත් ජීවිතේම මල්.

තමන් තමන්ම වෙන්න

 

මේ ලෝකේ කවුරුත් සම්පූර්ණ නෑ. හැමෝම අසම්පූර්ණයි. අන්න ඒ නිසා තමන්ට පහසු විදියට මොකක් හරි පූර්ණත්වයක් දිහාවට යන්න තමයි හැමෝම බලන්නේ. ඉතින් ඒ යන විදිහ එකිනෙකාට වෙනස්. සමාජය අපිට රාමුවක් ගහලා දීලා තියෙනවා. විශේෂයෙන්ම ගෑනු දරුවන්ට. මේ විදියට ඉන්න ඕනි නැත්නම් කොටු වෙලා ඉඳපල්ලා කියලා. හැබැයි තමන් නොවන වෙනත් කෙනෙක් විදියට ජීවත් වෙන එකෙන් වැඩක් තියෙනව ද?

සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගත කරන්න

 

හිතේ ශක්තියක් හදාගන්න කොච්චර ට්‍රයි එකක් දුන්නත් වැඩක් නෑ හොඳ කායික සුවතාවයක් නැත්නම්. ශක්තිමත් වෙන්න කියලා හදාගත්තු මාලිගාව සම්පූර්ණයෙන්ම සමතලා වෙලා යන්න පුළුවන් ලෙඩක් දුකක් හැදුණ දාක. ඒ නිසා හැමදාම ව්‍යායාම කරලා, එළවළු, පලතුරු කාලා ලෙඩවලට පළාතකටවත් එන්න දෙන්න ඉඩ නොදී හිත ශක්තිමත්ව තියාගන්න.