වර්ෂ 2024 ක්වූ October 14 වැනිදා Monday
සංවේදී ගැහැනු කැමැති දුක අහන අයියලට
අනියම් සම්බන්ධයක් කියපු ගමන් අපිට හිතෙන දේවල් තමයි තමන්ගේ සැමියා වෙන කාන්තාවක් එක්ක ලිංගික සම්බන්ධයකට යනවා කියන කාරණය. සමහර වෙලාවකදි වෙන පවුලක් ගොඩනඟනවා, දරුවො හදනවා කියන සංකල්පය තමයි අපේ මනසේ ගොඩනැගෙන්නෙ. නමුත් අපි බොහොම පරිස්සමින් සලකා බලද්දි අනියම් සම්බන්ධතා කියන ඒවා විවිධාකාරයෙන් තියෙන්නට පුළුවන්. විවාහ ජීවිතය කියන්නෙ මොකක්ද කියලා අර්ථ දැක්වීමේදී ගොඩක් අය හිතන්නෙ කසාද සහතිකෙ අත්සන් කරන එක. නමුත් ඇත්තටම ගත්තොත් විවාහයක් කියන්නෙ බිරිය සහ සැමියා එකිනෙකාට ආදරෙන් බැඳීලා ඉන්න එකයි.
කෙනෙක් කොළ කෑල්ලේ තියෙන කසාදෙන් පිටතට පනින ලක්ෂණයට හේතුව හොයද්දී පේන දේ තමයි එම සම්බන්ධතාවයේ ගැටලුවක් තියෙන්න ඕනෙ කියන කාරණය. එහිදි සැමියෙක් වෙන කාන්තාවක් සමඟ සම්බන්ධතාවක් ඇති කරගන්න හේතු අපිට හොයාගන්න පුළුවන්. නමුත් සමහර අනියම් සම්බන්ධතා අපි හිතන විදිහේ හේතු නිසා ඇති වූ ඒවා නෙවෙයි.
ගොඩක් කාන්තාවන් මගේ ළඟට එනවා මගේ සැමියට අනියම් සම්බන්ධතාවක් තියෙනවා කියාගෙන. ටික දෙනෙක් පිරිමිත් එනවා මගේ නෝනා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයි කියලා කියාගෙන. ඉතින් එයාලා ඇවිත් අහන්නේ ඇයි එයා එහෙම කළේ කියලා. ඒ අනියම් ගැහැනියට වඩා බිරිය ගොඩක් ලස්සනයි. ගොඩක් උගත්. ඇයි මේ වගේ කෙනෙක්ව තෝර ගත්තේ කියලා ඔහුගෙන් ඇහුවම. ඔහු කියන්නේ මගේ ළමා විය හරි අඳුරුයි. මම පුංචි කාලේ ඉඳලම හීන මැව්වා ලස්සන කාර් එකක යන්න. ඉතින් මම හුරුබුහුටි ස්පෝර්ට් කාර් එකක් ගත්තා. මට ඒ හීනෙට යන්න ටිකක් වයස ගියා. ඉතින් නෝනට ඒ කාර් එකේ නැඟලා කොහෙ හරි යං කිව්වම මගේ කකුල් පිච්චෙයි. මගෙ කොණ්ඩේ අවුල්වෙයි ඒ වගේ කියනවා. ඉතින් අන්තිමට එයාලා එන්නෙම නැතිව ගියා. ඒ කාර් එක පුංචියි දෙන්නටයි යන්න පුළුවන්. පිටි පස්සෙ පොඩි ඉඩයි තියෙන්නේ. ඒත් මම හිතුවා ළමයි දෙන්නා හරි ආසාවෙන් යයි කියලා.
සුළඟට විසිරී යන කොණ්ඩයක් තියෙන නෝනෙකුයි දරුවොයි එක්ක ස්පෝර්ට් කාර් එකක යන්නයි හීන දැක්කේ. හැමදේම තිබිලත් මට එකට යන්න බැරි වුණා. ඒ අතරේ සේවා ස්ථානයට අහම්බෙන් ආපු තරුණ විය මඳක් ඉක්මවපු කාන්තාවක් මට මුණ ගැහුණා. සැමියා ඇයව අතහැර ගිහින් තිබුණා. අපි දෙන්නා කතා බහ කළා. මගේ අහිංසක ආසාව ගැන ඇයට කිව්වම එයා ඒකට කැමැති වුණා. ඒ පුංචි කාර් එකේ අපි දෙන්න ගියේ යාළුවෝ දෙන්නෙක් වගේ. එතකොට අපි දෙන්නා අතරේ සම්බන්ධයක් තිබුණේ නැහැ. එදා දවල් අපි මුහුදු වෙරළෙ රැල්ල පෑගුවා. හොඳ හෝටලයකින් කෑම කෑවා. ඊට පස්සේ අපි ආපහු ආවා. එදා දවස අවසානය ගැන කල්පනා කරලා බලද්දී මට තේරුණා මෙයා මාව තේරුම් ගත්ත ගැහැනියක් කියලා. ඒ විදිහටයි මට එයා ගැන මුලින්ම අදහසක් ආවේ. මේ ගැටලුවට හේතුව හැඟීම්බර සම්බන්ධතා සහ තේරුම් ගැනීම නැතිකමයි.
දෙවැනි සේවාදායකයාගේ කතාව ඊට වඩා වෙනස්. ඔහු හැමදාම උදේට කියනවා පිළිවෙළට ගෙදර ඉන්න කියලා. ලස්සනට ඉන්න. උදේට මුහුණ හෝදලා ගවුමක් ඇඳගෙන ඉන්න. හැබැයි මම හැන්දෑවට ගෙදර එද්දිත් එයා ඉන්නේ ඊයේ රෑ ඇඳපු ඇඳුම පිටින්. ඒ ඇයි කියලා එයාගෙන් ඇහුවම වැඩ අනේ වැඩ අනේ කිය කිය ඉන්නවා. ඇත්ත නැත්ත හොයලා බැලුවම දවස තිස්සෙම ෆෝන් එකේ. ඉතින් ඕනෙ තරම් එයාට එයා ගැන සැලකිලිමත් වෙන්න තිබුණා. මේ ප්රශ්නය ඇති වෙන්නේ පිළිවෙළක් නැතිකම නිසයි.
පිරිමි කැමැති ඇහැ පිනවන්න. ගැහැනු කැමැති කන පිනවන්න. ගැහැනියකට ඕනේ කතා කරන්න. මහත්තයා එයාට ඇහුම්කන් නොදෙනකොට බබාව මොන්ටිසෝරි දාන්න යනකොට ත්‍රීවීලරයේ මල්ලිටත් කතාව කියනවා. බස් එකේ ගියත් කඩේට ගියත් එතැන ඉන්න කාටහරිත් කියනවා. බෙහෙත් ගන්න ගියාම දොස්තර මහත්තයටත් කියනවා. එතකොට මේ වගේ කෙනෙක්ව වෙනත් කෙනෙක්ට පාවිච්චි කරන්න පෙලඹෙන්න වැඩිය අමාරු නැහැ.
ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේ තරම් දුර පවුලක් රැකගෙන ඇවිල්ලා ලොකු ගමනක් ඇවිත් තියෙනවා. මේ ගමනේදි වැඩි කාර්යයක් කරලා තියෙන්නේ ගැහැනිය. ඉතින් ගැහැනියට සවන් දිය යුතුමයි. හැබැයි සමහර වෙලාවට මේ වගේ කිසිම හේතුවක් නැතුවත් අනියම් සම්බන්ධතාවලට යොමු වෙනවා. හැබැයි ඒ සම්බන්ධතා එතරම් දුරදිග යන ඒවා නෙවෙයි. සැමියා ලිංගික වශයෙන් හරි, කතා කරලා හරි අහුවුණාම බිරිය ඔහුට ලොකු දඬුවම් දෙනවා. හැබැයි ඒ වැරැද්ද සාධාරණීයකරණය කරන්න බැහැ. හැබැයි ගැහැනු දෙන දඬුවම් වැඩියි. කතා නොකර ඉන්නවා. මවුපියන්ට බණිනවා. නෑදෑයන්ටත් කියනවා.
අම්මා ගේ ඇතුළේ කාලයක් නිශ්ශබ්දව ඉඳලා කාලයක් පීඩිතව ඉඳලා අම්මටත් මේ ප්‍රශ්න දරා ගන්න බැහැ. ඒ නිසා අම්මා නිතරම නිහඬභාවයෙන් ඉන්න උත්සාහ කරනවා. ඒ නිසා ඒ නිහඬභාවය පවුලේ හැමෝටම බලපානවා. ඒ වගේ ගෙවල්වලට යද්දිම ඒ වෙනස තේරෙනවා. ඒ ගෙවල් හරි මූසල පාටයි. කිසි කලඑළියක් නැහැ. සිනා කතා නැති ගෙදරක් කොහොමත් හරි මූසල පාටයි. තණකොළ වැවිලා ගේ දොරකඩටම. ගේ හැමතැනම රෙදි දාලා. නිදියන, නැඟිටින වෙලාවක් නැහැ. මහත්තයා නිදියද්දී නෝනා ඇහැරලා. නෝනා නිදියද්දී මහත්තයා නිදි. හැබැයි හැම වැඩේම කළත් ඒ වටිනාකම ලැබෙන්නේ නැහැ. ගෙදර වැඩ ඔක්කොම කරලා ඔෆිස් ගියාම කට්ටිය අහනවා ඔයාට හරි මහන්සිපාටයි නේද කියලා. ලස්සන සාරියක් ඇඳලා ගියාම ඔයා අද හරි ලස්සනයි කියනවා. හැබැයි මහත්තයා කවදාවත් ඒ වගේ අගය කිරීමක් කරලා නැහැ. එක්කො කියයි, ඔය ඉන්නේ තාර පීප්පේ වගේ කියලා.
මට මුණ ගැහිලා තියෙනවා. තමන්ගේ අනියම් පෙම්වතා වෙනුවෙන් කඨින කරපු කාන්තාවෝ. අනියම් පෙම්වතා වෙනුවෙන් දේව මෙහෙයන් පවත්වපු කාන්තාවෝ. මම එයාලගෙන් ඇහුවේ මේ දේවලින් ඔයාලට නිවන් දකින්න පුළුවන් වෙයිද? දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙයිද කියලා.
කායික සම්බන්ධතා විවාහයකදී ඉතාම වැදගත්. එතැනදී වැදගත් වෙන්නේ පවිත්‍රකම. කාන්තාවකගේ පවිත්‍රකම පිරිමින් ඉතාම ඉහළින් අගය කරනවා. බිරිය අනවශ්‍ය රෝම ඉවත් නොකිරීම නිසා දික්කසාද වෙන්න හදන පිරිමි මට මුණ ගැහිලා තියෙනවා. සායනයට ඇවිත් ඒ වගේ පිරිමි කෙනෙක් මට කිව්වෙ එයා පිරිසුදු නැහැ. ලිංගික ප්‍රදේශය පිරිසුදුව තියාගන්නේ නැහැ. හරිම ගඳයි ළඟට යන්න බැහැ. සමහර දවසට නින්දට එද්දි දත් මැදලා නැහැ. කට හෝදලා නැහැ. පාරක එක්කන් යන්න බැහැ කොණ්ඩෙ ඩයි කරගන්නේ නැති නිසා. මම තරුණයි එයා වයසයි වගේ පේනවා. තවත් කෙනෙක් කිව්වේ බිරියගේ ඇඟ මහත් වෙලා. අවයව තියෙන තැනවත් හොයාගන්න බැහැ කියලා. මේ කියන්නේ පිරිමින්ගේ පැත්තෙන්නේ. කාන්තාවක් සැමියා සමඟ ලිංගික සම්බන්ධතා නවත්තන්න හේතුව බැලුවම එයාලා කියන්නේ, කාන්තාව දවසේ කරන වැඩවලට වෙහෙස මහන්සියට කිසි අගය කිරීමක් නැහැ. ඉතින් මේ බිරින්දෑවරු කොච්චර හොඳ කළත් සැමියට වටිනාකමක් නැහැ. මම දන්න සමහර ගැහැනු ඉන්නවා එයාලගේ කොණ්ඩෙ ස්ට්‍රේට් කරන්න, මෙනික්‍යු පෙඩික්‍යු කරන්න වියදම් කරන්ෙන එයාලගේ අනියම් සැමියා. නීත්‍යනූකූල සැමියා ගණකාධිකාරිවරයෙක්. අනියම් සැමියා ත්‍රීවීලර් රියැදුරෙක්. ඒ ත්‍රීවීලර් රියැදුරා ඒ ගැහැනියට අවශ්‍ය හැමදේම දෙනවා. ඒකට හිලව් වෙන්න ඒ ගැහැනිය සතියට දවසක් දෙකක් කොහේ හරි හොටෙල් එකක පැය කීපයක් ගත කරනවා. අගය කරන්න කෙනෙක් නැති නිසා, දුක කියාගන්න කෙනෙක් නැති නිසා, ඇහුම්කන් දෙන්න කෙනෙක් නැති නිසා කාන්තාවෝ අනියම් සම්බන්ධතාවලට යොමු වෙනවා.
සමහර පිරිමි අයට මානසික ලෙඩක් තියෙනවා. අධික ලිංගික ආශාව. එයාලට ලිංගික සම්බන්ධකම්වලට තියෙන ආශාව වැඩියි. මගේ පණ, මගේ පැටියෝ කිය කිය එක එක්කෙනාට චැට් කරන්න තියෙන ආශාව වැඩියි. සමහර පිරිමින්ට අනියම් බිරියන් එක්කෙනෙක් නෙවෙයි කිහිපදෙනෙක්ම ඉන්නවා. එහෙම ඉන්න එක පිරිමි කෙනෙක් ඒ අනියම් බිරින්දෑවරු හතර පස් දෙනාටම එකම විදිහට සලකනවා. මල් යවනවා. ඒ හැමෝගෙම උපන් දින සමරනවා. ඇඳුම් අරන් දෙනවා. ඒ වගේ එකම විදිහට සලකනවා. සමහර පිරිමින් නීත්‍යනුකූල බිරියට එපාර්ට්මන්ට් එකක් අරන් දෙද්දී අනියම් බිරියටත් එපාර්ට්මන්ට් එකක් අරන් දෙනවා. බිරියට මුද්දක් අරන් දෙනවානම් අනියම් බිරියටත් මුද්දක් අරන්දෙනවා.
ගොඩක් වෙලාවට කාන්තාවෝ ආදරය සහ ආර්ථිකය නිසා තමයි අනියම් ආදරයක පැටලෙන්නේ. කලාතුරකින් තමයි ලිංගික ආශාවන් නිසා කාන්තාවක් එහෙම සම්බන්ධයකට පැටලෙන්නේ. තරුණ වියට එළැඹෙද්දීම හැමෝටම ඉන්නවා හීන කුමාරයෙක්. මම බඳින කෙනා කවදා හරි මේ වගේ වෙන්න ඕනේ. මේ විදිහේ පාටක් තියෙන්න ඕනේ කියලා. හැබැයි බැඳලා කාලයක් යද්දි සැමියා බුලත්විට කාලා, තට්ටෙ ගාගෙන, පිරිසුදු නැහැ. එහෙම වෙද්දි ඕනම කාන්තාවකගේ හිතට එන්න පුළුවන් මට මෙයත් එක්ක තවත් ඉන්න පුළුවන්ද කියලා හැඟීමක්. සමහර වෙලාවට සැමියන් මෙහෙම වෙන්නේ මානසික හේතු නිසා වෙන්නත් පුළුවන්.
කොහොම වුණත් අනියම් සම්බන්ධතාවයෙන් වෙන්නෙ පවුලක් කඩන් වැටෙන එක. දරුවන්ට අම්මත් නැහැ. තාත්තත් නැහැ. දෙන්නා දෙන්නගේ ලෝකවල. දරුවන්ගේ මානසික මට්ටම ගැන හිතන එක අපේ වගකීමක්. ඒක පැහැර හරින්න බැරි වගකීමක්. දෙන්නෙක්ට ආදරය කරන්න ගියොත් තුන් දෙනෙක්ගේ මිනී වළවල් කැපෙන්න පුළුවන්. අපි නිතරම නිව්ස්වලට දකිනවනේ අනියම් බිරියව කපා කොටා මරලා දැම්මා. අනියම් සැමියව කපා කොටා මරලා දැම්මා. මොනරාගල පැත්තේ ගැහැනු කෙනෙක් පිරිමියාගේ රහසඟ කපලා පොලිසියට ගෙනල්ලා දීලා තිබුණා. මේ දේවල් වෙන්න මානසික සාධක පමණක් නොව පාරිසරික සහ සමාජීය සාධක පවා බලපානවා. ඉතින් ඒ හැම දෙයක් ගැනම අවබෝධයෙන් කටයුතු කරලා පවුල් ජීවිතය පරිස්සමට ගෙන යන්න.
ප්‍රවීණ මනෝ උපදේශිකා
අමා දිසානායක
කාන්තාවන් වෙනුවෙන් ගෙනෙන සුවිශේෂී
ලිපි මාලාව