දානය

දෙසැම්බර් 9, 2024

කුමාරී දයානන්ද පසුගිය දෙසතියේ ශේෂ පත්‍ර සඳහා ලියූ දානය කතාවේ අවසන් කොටසයි මේ.

“අම්ම දන්නෑ. මං නියම වැඩක් කළානෙ. ඊයේ උදේ පාන්දරම කවුද මනුස්සයෙක් ආව කුලී වැඩක් හොයාගෙන. මම ඒ මනුස්සයට හොඳ ගාණක් දෙන්ඩ වගේ අඟවල මුළු වත්තම සුද්ද කරවගත්තා. බලන්ඩකො උඩහ ගල් වැටි පවා අලුතෙන් දම්ම ගත්තා.”

 

" ඉතින් ?"

" කරුවල වැටෙනකල්ම මිනිහ වැඩ කළා. මිනිහ අන්තිමට රුපියල් දෙදාහක් ඉල්ලුවනෙ. අපේ මල්ලි ඉතින් ගොන් බඳින කණුවනෙ. මං නොහිටිය නම් දෙදාහක් නෙමෙයි ඊට වැඩිය වුණත් දෙනවා. රෑ වෙනකල් වැඩ කළානෙ කියල. "

"හරි.. හරි … ශෝභා වැල්වටාරම් නැතුව හුනුසාල් ගෝණිය කෝ කියන්ඩකො ළමයො?"

" ඉතින් ඉන්ඩකො අම්මෙ කතාව කියනකල්. අන්තිමට මං මිනිහවයි මල්ලිවයි දෙන්නවම රවට්ටල හාල් සේරු දහයක් දෙන්ඩ මිනිහව නම්ම ගත්තා. "

" අපෙ අප්පේ…. එච්චර හාල් ගොඩක්, උඹට අමුහාල් කැවිල ද ළමයො ? මට තව වතුර ටිකක් දෙන්ඩ බොන්ඩ "

" නෑ… නෑ… අම්මෙ මං එච්චර හාල් දුන්නෙ නෑ. මං ඒ මිනිහගෙයි මල්ලිගෙයි දෙන්නගෙම ඇස් වහලා වැඩේ ගොඩ දැම්මා. "

" ඒ කිව්වෙ ? "

" කුස්සියෙ තිබුණ හුණුසාල් ගෝනියෙ පණු කූඩු පිරීලා පොලලවත් උයන්ඩ ගන්ඩ බැරි ගාණට දිරලයි තිබුණෙ. එතැන මං හිතන්නෙ හාල් සේරු හත අටක්වත් තියෙන්ඩ ඇති. මං හුණුසාල් ගෝනියෙ උඩින් හොඳ හාල් සේරු එකහමාරක් විතර දාලා ඒකයි රුපියල් දෙසීයකුයි දීල මනුස්සයව රවට්ටල පිටත් කළා. මං ඒ මනුස්සයට කිව්ව මී කුණෙනුත් පෝසත් වෙච්ච මිනිස්සු ඉඳල තියෙනවා. මේ හාල් ගෝනියටත් තමුන්ව ‍කෝටිපතියෙක් කරන්ඩ පුළුවන්. හැබැයි ගෙදර ගිහින් මිසක මේක දිගාරින්ඩ එපා කියලා. ඇයි ඉතින් මගදි දිගෑරියොත් පණුවො ගහපු හාල් කියල අහුවෙලා ආපහු එයිද දන්නෑනෙ. කොහොමද මගෙ මොළේ අම්මෙ? "

 

" අපේ අප්පේ…. මං ඉවරායි……"

----------------------------

ශීලා මැණිකෙගෙ තුන් අවුරුද්දෙ පිංකමෙන් සතියකට විතර පස්සෙ හවස් වරුවක නිර්මලයි රන්දුලයි මිදුලෙ මල් පැළවලට සාත්තු කරමිනුයි හිටියෙ. පිටිපස්සෙ පෙට්ටියක් හයි කරපු මෝටර් සයිකලයක් වත්ත දිගේ හිමීට ඇවිත් මිදුලෙ නැවැත්තුවා. නිර්මලා හිතුවෙ බඩු විකුණන මනුස්සයෙක් කියලයි.

 

" නෝනලට මාව මතක නම් නැතුව ඇති මහිතෙ. "

 

මනුස්සයා හෙල්මට් එක ගලවලා අහිංසක විදිහට හිනා වුණා. රන්දුලටවත්, නිර්මලාටවත් ඒ කෙනා ගැන මතකයක් නෑ.

 

" ම්ම් නෑ…. අයිය කවුද ? "

 

" මීට අවුරුදු තුනකට විතර කලින් මම මෙහෙ ආව. නෝනයි, මහත්තයයි, තව නෝන කෙනෙකුයි හිටිය එදා. "

" අහ්… අපේ අම්ම හරි, අක්ක හරි වෙන්ඩැති ඉන්ඩ ඇත්තෙ. මේ අයිය අද ආවෙ මොකටද දන්නෑ"

 

" මම කලින් පාර මෙහෙ ආවෙ කුලී වැඩ කරන්ඩ. එදා ඔය මහත්තය මට සල්ලි දෙන්ඩ හදද්දි අනික් හිටපු නෝන මට හාල් මල්ලක් දුන්නෙ. ඒකෙන් කෝටිපතියෙක් වුණත් වෙන්ඩ පුළුවන් කියලයි ඒ නෝන මට කිව්වෙ."

" ආහ්…හරි හරි මතකයි. ඒ අපේ අක්කා. එයාගෙ කතා ඉතින් එහෙම තමයි. දැන් මොකක්ද අයියට කෙරෙන්ඩ ඕනෙ "

 

" ඉතින් මහත්තය ඒ නෝන කිව්ව විදිහට මං ‍කෝටිපතියෙක් වුණා. "

 

" ඒ කිව්වෙ ? "

 

" ඒ මල්ලෙ හාල් ගොඩ අස්සෙ තිබුණේ මාල, වළලු ගොඩක්. මුලින් මං හිතුවෙ මාව රවට්ටන්ඩ දීපු ඉමිටේෂන් බඩු ගොඩක් කියල. ඒත් ඒක දෙද්දි ඒ නෝන මඟින් මඟටම කිව්වනෙ මේකෙන් තමුන්ට කෝටිපතියෙක් වුණත් වෙන්ඩ පුළුවන් ‍ ගෙදරට ගිහින් මිසක මල්ල ලිහන්ඩ එපා කියලා. ඔය කතාවත් හින්ද නිකමට වගේ මං අඳුරන රත්තරන් බඩු සාප්පුවකට දීලා බඩු ටික බැලෙව්ව. එතකොට තමා මං දැනගත්තෙ එව්ව හුඟක් වටින රිදී, රත්තරන් බඩු බව. මට බයත් හිතිල පණිවිඩේ කියන්ඩ කියලා ආපහු මෙහෙ ආව.

 

ඒ ආවම කලින් දවසෙ හාල් මල්ල දීපු නෝන මාව බැනලා පන්න ගත්ත ආයි මේ පැත්තෙ පස් පාගන්ඩවත් එපා කියලා. "

" ඉතින්.."

" ඉතින් වෙන කරන්ඩ දෙයක් නැති හින්ද මං ඒ බඩු ටික ලක්ෂ පනස් ගාණකට විකුණුව මහත්තයෝ. ඒකෙන් බාගෙට හදපු ගේ ඉතුරු ටික හදාගත්තා. කුලී වැඩ කිරිල්ල නවත්තල පොඩි ස්කූටරේකුත් අරගෙන පවුලත් එක්ක එකතු වෙලා කුළුබඩු බිස්නස් එකක් පටන් ගත්තා. පස්සෙ පස්සෙ වටලප්පන්, යෝගට් හෙමත් හදන්ඩ පටන් ගත්තා. ළඟදි ඩිමෝ බට්ටෙකුත් ගත්ත. දැන් අපිට හොඳටම සරුයි මහත්තයා. අනුන්ගෙ සල්ලිවලින් පෝසත් වෙච්ච එක හිතට හරි නෑ.

 

කවද හරි ඒ සල්ලි ටික ආපහු දෙන්ඩ කියල හිතාගෙන මං ඒ සල්ලිවලින් කොටසක් බැංකුවෙ දාලයි තිබ්බෙ. මාසයක් ගාණෙත් කීය කීය හරි වෙන් කළා. දැන් ලක්ෂ හතළිහක් විතර තියෙනවා. තව ලක්ෂ පහළොවක් විතර මදි. තියෙන සල්ලි ටික නම් ඕ‍ෙන වෙලාවක දෙන්ඩ පුළුවන්. ඉතුරු ටික තව අවුරුද්දක් යන්ඩ කලින් පියෙව්වැකි මහත්තයා. අපේ පවුල ගොඩ දැම්මට මහත්තයලට ජාති ජාතිත් පිං."

 

" නෑ අයියෙ අපිට ඒ සල්ලි එපා. අපේ අම්ම මීට අවුරුදු තුනකට විතර කළින් දඹදිව ගිහින් ඇවිත් ගෙට ‍ගොඩ වෙලා එක පැය භාගයක් හිටියෙ නෑ. හාට් ඇටෑක් හැදිලා නැති වුණා.

අපේ අප්පච්චිත් හාට් ඇටෑක් එකක් හැදිල නැති වෙලා දැන් අවුරුදු දොළහක් විතර වෙනවා. කොච්චර සල්ලි තිබුණත් වෙලාව ආපු ගමන් අපි කාටත් යන්ඩ වෙනව අයියෙ. ඒ හින්ද අයියට ඒ සල්ලි එපානම් අපෙ අම්මටයි, අප්පච්චිටයි දෙන්නටත් පින් සිද්ධ වෙන්ඩ කියල හිතලා සල්ලි ටික ළමා නිවා‍සෙකට දෙන්ඩ. ඒත් නැත්නම් ඉන්න තැනක් නැති අසරණ පවුල් දෙක තුනකට ගෙවල් හදල දෙන්ඩ. "

 

නිමි.

 

ආධුනික ලේඛිකාවන් හඳුන්වාදෙන විශේෂාංගය

ඔබේ කෙටිකතාවත් 0715927752 අංකයට whatsapp කරන්න