වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
මංගල ගමනට අලුත් මෝස්තර

කාන්තා ඇඳුම් විලාසිතා මෙපමණයි කියලා නිමකරන්න බැරි තරම්. ඒ තරමට අද ඇඳුම් විලාසිතාවන් දවසින් දවස වෙනස් වෙනවා.
කාන්තාවන් අතර ජනප්‍රිය ඇඳුම් විලාසිතාවක් තමයි ගවුම් විලාසිතාව. සාමාන්‍යයෙන් ගැමි වහරෙත් කතාවක් තියෙනවා ඔයා අහලා ඇතිනේ යුවතියකගේ සුන්දරත්වය වඩාත් හොඳින් පෙනෙන්නේ මල් ගවුමක් ඇන්දම කියලා. හැබැයි ඉතින් අද තත්ත්වය නම් මීට හාත්පසින්ම වෙනස්. අද තියෙන ගවුම් විලාසිතාවන් අපේ අැඳුම් සංස්කෘතියෙන්ම නිර්මාණය වූ ඒවා නෙමෙයි. කොහොම වුණත් අද කාන්තාවන් සාමාන්‍ය ගමනට පාටියකට මංගල ගමනට වාගේ විශේෂ අවස්ථාවන් සඳහා විවිධාකාරයේ ගවුම් මෝස්තර අඳින්න පුරුදු වෙලා තියෙනවා. ඔයත් මංගල දිනයට ගවුම් විලාසිතාවකට අනුව හැඩ වෙන්න කැමති යුවතියක් නම් අද තරුණී නුග සෙවණ සුසංයෝගයෙන් ඉදිරිපත් කරන මේ නිර්මාණය බලන්නකෝ.
අවශ්‍ය ද්‍රව්‍ය -
නො. 02,04 හා 06 පබළු
තන්ගුස් නූල් පන්දුවක්
ඉදිකටුවක්
ප්ලාස්ටික් වීදුරු කැබැලි
ග්ලුගන්
නිර්මාණය කිරීම -
පළමුව මංගල ඇඳුම කැමැති පරිදි මසාගන්න. ඉන් අනතුරුව තෝරාගත් පබළු ප්‍රමාණයක් ගෙන නිර්මාණය කිරීම ආරම්භ කරන්න. පබළු එකින් එක තංගුස් නූලට දමමින් ඉරි, අතු, වැල් ආකාරයට අමුණා ගන්න. එය ගම් දමමින් අලවා ගැනීම ද කළ හැකියි. නිර්මාණය කිරිමේදී නො. 02, 04 හා 06 පබළු ක්‍රමානුකූලව මාරු කරමින් අතරින් පතර යවමින් තංගුස් නූලට ඇමිණීම සිදු කරන්න. ඔබේ නිර්මාණශීලී හැකියාව අනුව මෙය හැඩගන්වා ගත හැකියි.
මේ ඔයාව ලස්සනට පේන මංගල ගවුම් විලාසිතාවකි. හැමදාමත් ගවුම් විලාසිතාවෙන් සැරසෙන ඔබට ඔබේ ජීවිතයේ අමරණීයම දිනයේ දී ගවුමකින් සැරසෙන්න තියෙනවා නම් කෙතරම් අගනේද? මේ ගවුම දිග හෝ කෙටි වශයෙන් අඳින්න පුළුවන්. විශේෂයෙන් සිහින් සිරුරක් ඇති කෙනෙක් මෙවැනි ගවුමක් ඇන්දොත් සිරුරේ හැඩය මනාවට පිළිබිඹු වෙනවා. මේ ගවුමේ ඉණෙන් උඩ කොටස සිරුරේ ගාණට තිබෙන නිසා හැඩය හොඳින් ඉස්මතු වෙලා පේන්න ගන්නවා.
සුදු පැහැති පබළු පමණක් විවිධ ප්‍රමාණයන්ගෙන් එකතු කර ගනිමින් කළ එකක් නිසා මෙහි වටිනාකමත් ඉහළයි. නුදුරු දිනයේ මංගල ගමනට සැලසෙන ආදරණීය ඔබට තරුණී නුග සෙවණ ආදරණීය තිළිණය සැබැවින්ම වටීවි.
උපදෙස් - ශිල්පිනී වාසනා අබේසුන්දර
ශාන් රඹුක්වැල්ල