කොළොම්තොටින් රට වටට වෙළෙඳ සවාරි

සැබෑ මල් වත්තක සුන්දරත්වය අත්විඳින්න බංගසාල වීදියට එන්න
මැයි 5, 2025

නෙතට කඳුළක් ගෙනෙනදාත් නෙතට සිනහවක් ගෙනෙනදාත් ඔබේ අත රැඳෙන්නේ මල්. ජීවිතේ එවන් අසීමිත වටිනාකමක් හිමි මල් මිලදී ගත හැකි වෙළෙඳ පුරවරයක් වෙතයි අපේ පළමු සංචාරය යොමු වන්නේ.


හරියටම පේරාදෙණිය මල් වත්ත හා සමානයි. මේ කොයි අත බැලුවත් කාන්තාවෝ මල් ගන්න පොරකන හැටි දැක ගන්න පුළුවන්. කොහොම වුණත් උත්සව සමයේ අමතක නොකර හැමෝම ගොඩවෙන වීදියක් තමයි බංගසාල වීදිය කියන්නේ. උත්සව අවස්ථාවකදී කෘත්‍රිම මල් ගැන හිත පිරෙන ආසාව ඉටු කරගන්න නම් ඔබත් එන්න බංගසාල වීදියට.

නිවෙසට පැමිණෙන අමුත්තන්ට සිත් වශී වන අන්දමින් මල් සැරසිලි කරගන්න දැන් ඔබට පුළුවන්.

පුංචි පුංචි ප්ලාස්ටික් මල් බඳුන්, එල්ලෙන මල් පෝච්චි නිවෙසේ ඉදිරියෙන් තැබිය හැකියි. විවිධ හැඩතල සහිත මල්, කොළ සහ වැල් දැඩි හිරු රශ්මිය වැටෙන තැනක නොතැබිය යුතුයි. ළා වර්ණ ගෙනෙන නෙතට ප්‍රිය උපදන මල් ගේ මැද සාලේ, කෑම කාමරයේ, නිදන කාමරයේ හැඩට තැබීම හරිම ලස්සනයි.

මේ මල් කොළ, අතු, ඉති විවිධ වර්ණවලින් වගේම විවිධ ප්‍රමාණයන්ගෙන් මෙලෙස මිලදී ගත හැකියි. නිවෙස අලංකාර කර ගැනීමට වගේම කාර්යාල හැඩකරන මල් කලඹ සහ පිළිගැනීමේ මල් කලඹ, මල් පොකුරු කොළ සහ වැල් මේ ඕනෑම එකක් තොග සහ සිල්ලට මිලට ලබාගන්නත් පුළුවන්.

මෙලෙසින් ඔබට රෝස, දම්, තැඹිලි, සුදු ආදී වර්ණ ගණනාවකින් යුත් කපුරු මල් පොකුරක් රුපියල් 300කට මිලට ගත හැකියි. දම්, තද දම් රෝස, කහ, සුදු සහ මෙරූන් පැහැති ඕකිඩ් මල් වර්ණ 24කින් ඔබ කැමති පරිදි මිලදී ගත හැකියි. එමෙන්ම එල්ලෙන ඕකිඩ් වැල්ද වෙයි. රෝස, ඩේලියා, කැනස්, සමන් පිච්ච, ඕලු, නෙළුම් සූරියකාන්ත ආදී මලින් පිරි අසිරියද මේ අතර වඩාත් සුන්දරයි.
ජර්බරාස් වර්ගද ඔබේ හිත වශී කරයි. මේ මල් වර්ග අතර මල්, කොළ, වැල් රු.250 සිට රු. 350 දක්වා මිලකට ලබා ගත හැකියි. විවිධ වර්ණ ගන්වා ඇති මේ පුංචි පුංචි ගෙඩි මල් අතු ඔබේ මල් කලඹට සැබෑ කලඑළියක් එක් කරාවි. එමෙන්ම මල් වැලක් රු. 100ක් රු.150ක් අතර වේ. දිගින් අඟල් 18කින් යුක්තයි.

මේ විදිහට ඔබේ නිවෙස කලඑළි කරන්න ගෙන එන මල් වසර පුරාවටම ආකර්ෂණීයව රැක ගන්නත් ඔබ දැන ගත යුතුමයි. බොහෝ මල්වල දූවිලි වැදුණු පසු සේදීමෙන් පිරිසුදු කළ නොහැකියි. ඒ පෙති කොළ හා අතුවලට හානි සිදුවිය හැකි බැවිණි. එහිදී ඔබ කළ යුත්තේ සිහින් කෙඳි සහිත බුරුසුවකින් හෝ රෙදි කැබැල්ලකින් පිස දැමීම පමණි. දැඩි හිරු රශ්මිය වැටෙන ස්ථානයක ළා වර්ණ මල් බඳුනක් තැබීම සුදුසු නොවේ. එමෙන්ම ඉක්මනින්ම බිඳී යන මල් බඳුනක් නිවෙසේ ඒ මේ අත යන එන ප්‍රදේශයක නොතබන්න තරම් ඔබ බුද්ධිමත් විය යුතුයි. මෙලෙසින් පරිස්සම් කරගන්නට උත්සාහ ගතහොත් මේ පුරවරයෙන් ඔබ ගෙන යන මල් වසර පුරාවට ඔබේ නිවෙස හැඩ කරාවි.