වර්ෂ 2025 ක්වූ June 30 වැනිදා Monday
අප්පච්චී

ආදරණීය පුතා
අද මම දැක්කා එක්තරා සැමියෙක් තමන්ගේ බිරියට දොස් කියනවා. “මොකක් හරි රස්සාවක් කරන්න බලනවාකො. අඩුම තරමින් ඔය ගෙදරට වෙලා ඉන්නේ නැතුව සුපර්මාර්කට් එකකවත් වැඩට යනවකො. මම දවසකට රුපියල් දෙදාහක් හොයනවා. ඒ එකතුව තමා මගේ සැලරි එක හැටියට මාසෙ අන්තිමට හම්බ වෙන්නේ. ඒකෙන් පුළුවන්ද මේ ඔක්කොම කරන්න. තමුසෙ ගෙදරට වෙලා මම ගේන එක තම්බ තම්බ කන්න දෙනවා එච්චරනෙ.”
ඔන්න ඔය විදිහට මේ සැමියා බිරියට ආඩපාලි කියන්න පටන් ගත්තා. බිරිය ඒ වෙලාවෙත් හිටියේ රෑ කෑම ලැහැස්ති කරන ගමන්. සැමියා බීර වීදුරුවක් තොල ගානවා ඒ අතරේ. මහන්සිය යන්න. ඇත්ත මහන්සියි තමා. ඒකේ දෙකක් නෑ. කායිකව වගේම මානසිකවත් මහන්සියක් විඳිනවා පිරිමියා. රස්සාවල් කරන කාන්තාවනුත් එහෙම තමා. එකක් වැඩකිරීමේ වගකීම හා වැඩ කිරීම. අනෙක ඉහළ නිලධාරින්ගෙන් වැදෙන උකුසු ඇස් පහර වගේම වැඩවල අඩුපාඩු, වෙලාවට වැඩ නිම නොකිරීම ආදිය නිසා ඇහෙන වැදෙන ඇනුම්පද අවවාද.
ඉතින් පුතා, සැමියා රැකියාවක් කරද්දි බිරිය රැකියාවක් කරන්නේ නෑ කියලා දොස් පවරන්නේ සමහර වෙලාවට ඇතිවෙන ආර්ථික ප්‍රශ්න නිසා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ‘හහ්... මම හම්බ කරනවා. මේ ගෑනි වියදම් කරනවා...’ කියලා හිතන නිසා වෙන්නත් පුළුවන්. නමුත් ඇත්ත ඒක නෙවෙයි. රැකියාවක් නොකර බිරියක් සමහර වෙලාවට සැමියාට වඩා මුදලක් හම්බ කරනවා. හම්බ කරනවා කියලා කිව්වට ඒක ඉතිරි කිරීමක්.
බිරිය පාන්දර අවදි වෙනවා, තේ ටික හදනවා. දිවා ආහාරය ලැහැස්ති කරනවා මහත්තයාට ගෙනියන්න. දරුවො ඉන්නවා නම් ඒ අයටත් කෑම ලැහැස්ති කරනවා. එතැනම බිරිය උපයනවා මහත්තයාගේ උදේ ආහාර සහ දිවා ආහාරයට රුපියල් පන්සීයක්. දරුවන්ගේ ආහාර සඳහාත් රුපියල් දෙසීයක් කියමු. මොකද බනිස් එකයි රෝල් එකයි කෑම පෙට්ටියට දාලා වහලා ලේසියට යන අය ඒ දෙකට දෙසීයක් වියදම් කරන්න එපායැ. එතකොට බිරියගේ උදේ හා දිවා ආහාර නැතිව හත්සියයක් උපයනවා. ආ... අනික ළමයින්ව පාසල් යන්න ලැහැස්ති කරන එක. ඒක සැමියා කරන්නේ නෑනේ.
ඊට පස්සේ ගෙදර අතුපතු ගාලා, මේස පුටු පිහදාලා පිළිවෙළකට තියන්න ඕනේ. වළං පිඟන් හෝදන්න ඕනේ. ඒ වගේ වැඩට කාන්තාවක් ගත්තා කියමු. දවසකට එහෙම කෙනෙක්ට දෙදාහක් දෙන්න ඕනේ. එතකොට දැන් බිරිය දෙදහස් හත්සීයක් උපයලා.
රෙදි හෝදනවා, මදිනවා, පරිස්සමට තබනවා. මහත්තයාගේ කමිස කලිසම් යට ඇඳුම් දරුවන්ගේ ඇඳුම් ඔක්කොම එක්ක එයාගෙ ඇඳුම් පවා හෝදනවා. ඒවා ලොන්ඩරියකට දැම්මා නම් කිලෝ එකක් හෝදලා වේළලා දෙන්න විතරක් රුපියල් එකසිය පනහක් ගන්නවා. කිලෝ තුනක්වත් එකතු වෙනවානෙ. එතැන හාරසිය පනහයි. තුන්දාස් එකසිය පනහක් ඇය දිනකට උපයලා.
දරුවන් පාසල් ඇරිලා ආවාම නාවලා කවලා පොවලා ඒ ටික කරන්න ඕනේ. ඊළඟට ඔවුන්ගේ පාසල් වැඩ ගැන හොයලා බලන්න ඕනේ. පාඩම් කරවන්න ඕනේ. ළමයි අහන නොයෙක් ප්‍රශ්නවලට කේන්ති නොගෙන උත්තර හොයා දෙන්නත් ඕනේ. සෙල්ලම් කරන්න ගියාම ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඇයි වැටෙයිද, රණ්ඩුවක් කරගනියිද, කීයක් ප්‍රශ්නද. ඒකත් ලොකු වගකීමක්. මොනවා හරි වුණොත් ‘තමුසෙ ගෙදර ඉන්න කෙනා බැරි වුණාද ළමයාව බලා ගන්න..’ එහෙමයි අහන්නේ.
ඊළඟට රාත්‍රී කෑම ලැහැස්ති කරන්න ඕනේ. ඉඳිආප්ප, ආප්ප, පිට්ටු හරි බත් හරි මොනවා වුණත් එක් අයෙක්ට දළ වශයෙන් වේලකට තුන්සීයක්වත් ඕනේ. දරුවටත් එක්කම නවසීයක් යනවා. දැන් හාරදාස් එකසීයක් හොයලා බිරිය.
මහත්තයා වැඩ ඇරිලා එනවා. සමහර වෙලාවට සපත්තු ගලවන්නේ බිරිය. සමහර විට උණුවතුර දෙන්න ඕනේ. තුවාය දෙන්න ඕනේ. මාරු කරගන්න ඇඳුම දෙන්න ඕනේ. එහෙම අයත් ඉන්නවානෙ. අනික බොහෝ බිරින්දෑවරුන් මේවා කරන්නේ භක්තියකින් සෙනෙහසකින්. ‘අනේ මගේ මහත්තයා මහන්සි වෙනවානෙ අපිව ලස්සනට තියන්න’කියලා හිතනවාත් ඇති.
අනික පුතා සමහර බිරින්දෑවරු ඉන්නවා පාටියකට වෙඩින් එකකට යන්න කියලා අලුත් ඇඳුම් සෙරෙප්පු සපත්තු ඉල්ලන්නේ නෑ තියෙන එකක් පිරිමහා ගන්නවා. ඇත්තටම අරපිරිමැස්ම තමා ගැහැනියකට තියෙන උසස්ම මැස්ම නේද. එහෙම බිරියක් රස්සාවක් කරන්න ඕනෙ නෑ ඔවුන් ඊටත් වඩා දෙයක් තම පවුල වෙනුවෙන් උපයලා ඉතිරි කරනවා.
ඒ වගේම තමා සැමියා වගේම බිරියත් අද රැකියාවක් කරනවා. මහත්තයාට වගේම ඇයටත් පීඩනය ඇතිවෙනවා. බොහෝ කාන්තාවෝ පවුලේ ආර්ථික ශක්තිය ගැන හිතලා එන එන කරදර බාධා විඳගෙන රස්සාව කරනවා. අද කාලේ මුදල් කොපමණ තිබුණත් මදිනෙ ජීවත් වෙන්න. එහෙම බිරින්දෑවරුන්ගේ කැපවීම ගැනත් අපි හිතන්න ඕනේ.
මහත්තයාගේ හෝ නෝනාගේ මවුපියෝ ඉන්නවා නම් ඒ අය ගැනත් බලන්න ඕනේ. ඒ ගැන මම නොකීවෙ හැමෝම එහෙම නොකරන හින්දා සහ හැමෝටම ඒ වගේ අවස්ථාවක් නැති නිසා.
ඉතින් පුතා හොඳම දේ තමා කොපමණ මහන්සියක් වෙලා හිටියා වුණත් බිරියට සහයෝගයක් දෙන්න ඕනේ වැඩ කරගන්න. එතකොට තමා අපි ඒ කාන්තාවට ගෞරව කරනවා වෙන්නේ. ගැහැනු ආසයි ලස්සනට ඉන්න. ඩේ ක්‍රීම්, නයිට් ක්‍රීම් ගාන්න. විලවුන් ගාන්න. ලස්සන ආභරණ පලඳින්න. ලස්සන ඇඳුම් විලාසිතා අඳින්න. ඇහිබැම හදන්න. කොණ්ඩෙ ලේයර් කරන්න, ටින්ට් කරන්න. ඒක තේරුම් අරන් සැමියා බිරියට කලාතුරකින් හරි එහෙම දෙයක් අරන් දෙන්න බලන්න ඕනේ. බලන්න එදාට බිරියගේ මුහුණේ ලස්සන. වචනවල තියෙන ආදරේ. හ්ම්...