විස්ම විශ්වය

ජුනි 30, 2025

ශාන්තුවරයාගේ කඩුව

ලෝකයේ රජවරුන් පිළිබඳ ඇති ජනප්‍රවාදවලින් ආතර් රජුට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. පස්වැනි සහ හයවැනි සියවසේ එංගලන්තයේ රජකළා යැයි සැලකෙන ආතර් රජතුමා ලොව පුරා ජනප්‍රිය වන්නේ ඔහු සතුව පැවති එක්ස්කැලිබර් (Sword Excalibur) නමින් හැඳින්වෙන කඩුවක් නිසාවෙනි. එම කඩුව සහ ආතර් රජතුමාගේ දිවිය අලලා නිර්මාණය වුණු සිනමාපට ද බොහෝ ය. ජනප්‍රවාද අනුව එක් දෙවි කෙනෙක් විසින් එක්ස්කැලිබර් කඩුව ගලකට තබා සවි කරන්නේ කිසිවෙකුටත් එය සෙලවීමටත් පවා නොහැකි වන අයුරිනි. නමුත් එංගලන්තයේ අනාගත රජ කිරුළ හිමි පුද්ගලයාට පමණක් එය යම් දිනයකදී ගලවා ගැනීමට හැකියි.

ඒ අනුව ආතර් රජු විසින් එක්ස්කැලිබර් කඩුව ගලෙන් ගලවා ගැනීමට සමත් වෙයි. ඉන් පසු ඔහුට මුහුණ පාන්නට සිදු වන්නේ අභියෝග රැසකි. ආතර් රජුගේ එක්ස්කැලිබර් කඩුව මෙන් පාෂාණයක් පසාරු කර යන්නට ඇන ඇති මෙම කඩුව ඇත්තේ ඉතාලියේ ය. ඉතාලියේ siena නුවර සිට කිලෝමීටර් 30ක පමණ දුරින් ඇති ශාන්ත ඇල්ගානෝ දේවස්ථානයේ මෙම කඩුව සහිත පාෂාණය ඉතා සුරක්ෂිතව තැන්පත් කර ඇත.

විවිධ ජනප්‍රවාදයන්ගෙන් පිරුණු මේ කඩුව සහිත පාෂාණය නැරඹීම ලොව පුරා සංචාරකයින් පැමිණෙන්නේ එහි අත්භූත බලයක් ඇති බව විශ්වාස කරමින්.

 

ගල් වුණු බයිකල්

 

කිලෝමීටර් 636ක දිගින් සහ කිලෝමීටර් 79ක පළලින් යුතු සයිබීරියාවේ (රුසියාව) බයිකල් විල සැලකෙන්නේ ලොව විශාලතම මිරිදිය ජලාශය ලෙසයි.

 

මීටර් 1,642ක් ගැඹුරු මෙම විල ලොව ගැඹුරුම විල ලෙස ද හැඳින්වෙනවා. පෘථිවි පෘෂ්ඨයේ ඇති අයිස් බවට පත් නොවූ මිරිදිය ජලයෙන් පහෙන් එකක්ම (20%) අඩංගු වන්නේ බයිකල් විල තුළයි.

 

උතුරු අමෙරිකාවේ පංච මහා විල් සියල්ලෙහිම ඇති ජල පරිමාවට වඩා ජල පරිමාවක් මෙම විල තුළ අන්තර්ගතයි. වර්ග කිලෝමීටර් 23,615.39 පුරා පැතිරුණු එම ජල පරිමාව සැලකෙන්නේ ලොව සුපිරිසුදුම ජලය සහිත බිම් ප්‍රදේශය ලෙසයි.

 

මීට අවුරුදු බිලියන 2.5කට පමණ පෙර ආක්ටික් භූ තැටියෙන් කැඩී වෙන්වුණු සයිබීරියානු භූ තැටිය යුරේසියානු මහද්වීපික භූ තැටිය හා ගැටී පසුව ඇතිවුණු විභේදයකට (Baikal Rift Zone) ජලය පිරීමෙනුයි බයිකල් විල නිර්මාණය වී ඇත්තේ. ශීත සෘතුවේදී සීතලෙන් ගල් වෙන මේ විල දැක බලා ගැනීමට ද බොහෝ දෙනා පැමිණෙති.

 

 

පුදුම හිතෙන පලතුරු වතු

මධ්‍යධරණී මුහුදේ ටියුනීසියාවත් සිසිලි දුපතත් අතරේ පැන්ටෙලේරියා කියලා ඉතා කුඩා හරි අපූරු දිවයිනක් තියෙනවා.

පලතුරු වවන්නම කියාපු මධ්‍යධරණී දේශගුණයක් තියෙන හින්දා මේ දූපතේ මිදි, දොඩම් සහ නාරං කියන පලතුරු ඉතා සරුවට වැවෙනවා. මේ පලතුරු තමයි මේ දුපතේ වැසියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නෙත්. විශේෂයෙන් මිදිවලින් පෙරන වයින් වලටත් මේ දූපත ප්‍රසිද්ධයි.

මධ්‍යධරණී මුහුද මැදට වෙන්න තියෙන හින්දා මේ දුපත හරහා නිතර සැඩ සුළං හමා යනවා. මේ සැඩ සුළං, දොඩම් නාරං සිදරන් වගේ අතු පතර වැඩෙන පැඟිරි සහිත පලතුරු ගස්වලට එල්ල කරන්නේ තර්ජනයක්.

විශේෂයෙන් වාතයේ තියෙන තෙතමනය මේ සැඩ සුළං විසින් අරගෙන යන හින්දා පලතුරු ගස්වල වැඩීමත් බාල වෙනවා.

ඉතින් සුළඟින් පලතුරු ගස් ආරක්ෂා කරන්න පැන්ටෙලේරියා දුපත් වාසීන් අවුරුදු 2,500ක විතර ඉඳලා එන පාරම්පරික කෘෂිකර්මාන්ත ක්‍රමයක් භාවිත කරනවා.

එහිදී මොවුන් කරන්නේ ගල්වලින් රවුමට ජාර්ඩිනූ නමින් කුඩා බිත්ති සහිත අලංකාර උද්‍යානයක් නිර්මාණය කිරීමයි. ඊට පස්සේ ඒ උද්‍යාන ඇතුළේ දොඩම්, නාරං, සිදරන් වගේ පැඟිරි පලතුරු වගා කරනවා.

එමඟින් මේ පලතුරු ගස් සුළඟින් ආරක්ෂා වෙනවා විතරක් නෙවෙයි රාත්‍රී කාලයේ ඇති වෙන මීදුම සහ තුහීන උද්‍යානය වටා ඇති ගල් තාප්පයේ හැපිලා කුඩා ජල බිංදු බවට පරිවර්තනය වෙලා මේ පලතුරු ගස් හොඳින් වැඩෙන්න අවශ්‍ය කරන තෙතමනයත් ලබා දෙනවා.

මේ විදිහට පැඟිරිි පලතුරු වගා කරන්න ගල්වලින් හදපු ඉතා අලංකාර උද්‍යාන පන්සියයක් විතර පැන්ටෙලේරියා දුපතේ තියෙනවා කියලා සඳහන් වෙනවා.

 

බළල් ලොවේ ආඩම්බරකාරයෝ

Manul cats බළලුන් ලෝකයේ වටිනාම බළලුන් විශේෂයක් විදිහට සැලකෙනවා. ඔවුන්ගේ මුහුණේ දක්නට ලැබෙන අලංකාර බව නිසාමයි මෙලෙස අධික වටිනාකමකින් යුක්ත වන්නේ.

වනගතව සිටීමට ප්‍රිය කරන මොවුන් විශේෂ ලෙස සකස් කළ සත්ත්ව උද්‍යානවල පමණක් දැකිය හැකියි.