වර්ෂ 2025 ක්වූ July 14 වැනිදා Monday
හිමිදිරිය

තරුණී හිමිදිරිය ඔබගේ නිර්මාණ පළවන කාන්තා පුවත්පත් අතර ජනප්‍රියතම කවි පිටුවයි. ඒ සඳහා ඔබේ නිර්මාණ අපට එවන්න. ප්‍රවීණ කවි කිවිඳියන් විසින් තෝරාගනු ලබන හොඳම කවිය ඔබේ කවිය කරගන්න. ඔබේ නිර්මාණ හිමිදිරිය, තරුණී, ලේක් හවුස්, කොළඹ 10 ලිපිනයට හෝ 0715927752 අංකයට whatsApp කරන්න.
අද හිමිදිරියට කවි තෝරන ඔහු සුදත් ගාමිණී බණ්ඩාර
ප්‍රවීණ කවියකු සේම ගී පද රචකයකු වන සුදත් ගාමිණී බණ්ඩාර මේ වන විට කවි පොත් හයක් සහ ගී පදමාලා සංග්‍රහ දෙකක් පළ කර ඇත. ඔහුගේ 'උමා' නමැති ගී පදමාලා කෘතිය උදෙසා 2006 වසරේදී 'රාජ්‍ය සාහිත්‍ය සම්මානය' හිමි විය. සමන් ජිනදාස ගායනා කරන 'තුමුල නමුණුකුල' සහ කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන 'හන්තාන දෙසින් එන' වැනි ප්‍රශස්ත ගී රැසක පද රචකයා ද ඔහුය.
සංසාරේ උරුම - කරුම
මා පාසල් යන විට
පාසල ඇරිලා එන විට
ඉදිකඩුල්ලෙ - මුවාව යට
බලා ඉඳී අපූරුවට
ඉතිරි කරන් ආ සොච්චම
කන්න දෙන්නෙ කාටද මම
හා හූවක් නෑ සේරම
මීයට පිම්බා වාගෙම
අප්පච්චිගෙ එකම සරම
සිල් ගන්නා සුදුම සරම
පොරවාෙගන ඉන්න තරම
සංසාරේ උරුම කරුම
කිරි අම්මා කිවුව එහෙම
කිරි අත්තා කිවුව එහෙම
මළ හිරු බැස යන හැන්දෑවේ
රාස්සි - වී වේළන අව්වේ
නුඹ කය - මිහිදන් කෙරුවේ
කය මෙහි තබා - නුඹ ගිහින්
මගේ සුරතලා
නොඑනා ගමන් ගිහින්
අපේ වයිටා පරලොව ගිහින්
අපි, මව වගේ, පියා වගේ
බලා ගත්තට
පින් - පින් - පින්
ලලිතා රත්නසීලි මැණිකේ
දැරණියගල
----------------------
හොඳම කවිය
මාව වටින්නෙ එච්චරද අම්මට
තාත්තගෙ දොළොස් අවුරුද්දෙ දානෙත්
හිරිපොදේම පන්සලට අරන් ගෑටුව අම්මා...
ඉර එක්ක දලු කඩලා - හඳ එක්ක රෙදි මහලා
ටවුමෙ ඉස්කෝලෙට මාව යැවුවා...
මෙඩිකල් කොලීජියට තේරුණා කියපු දවසෙ
ඇට ගැහුණු පපුවට තුරුල් කරන් මාව ඉම්බා...
නළාවට - කෝට් එකට - බෝඩිං ගාස්තුවලට
ලියලා යවන පමාවට සල්ලි කොළ වැටුණා...
"රස්සාව ගත්තු ගමන් කන කර බේරනවා"
ඇස් පොත් අස්සෙ නිදිකිරන
තත්පරවල හිත මොරගෑවා...
එහා ගෙදර මාමගෙ කෝල් එකට
ඇනටොමි ප්‍රැක්ටිකල් අස්සෙ
බොඩිය ඇරදාලා දිවුවා...
බාල ලී පෙට්ටියක් මැද
කැහැටුවට පිපිලා තිබුණත්
අම්මගෙ මූණෙ හිනා මල් සුවඳ
පුස් බිත්ති පරයා දැනුණා...
එක වකුගඩුවක් නරක් වුණු පළියට
මිනිහෙක් මැරෙනවද?
මරණ පරීක්ෂණේ කරපු
ඩොක්ටර්ට මම ගිගිරුවා...
"අනෙක අවුරුදු හයකට කලින් විකුණලා"
බරට සුසුමක් අත ඇරපු ඔහු මිමිණුවා...
සත්මිණි වත්සලා
' කිසියම් සංස්කෘතියකට ආවේණික ජීවන අරුත් මැනවින් ග්‍රහණය කර ගත හැක්කේ කවියාටය. ඒ අරුත් ප්‍රතිනිර්මාණයෙන් උද්දීපනය කරන රස වින්දනය කළ හැක්කේ සහෘදයාටය.'
මේ ක්‍රිෂ්ණ චන්දර් විසින් ප්‍රකාශ කරන ලද, කවිය පිළිබඳ වැදගත් ප්‍රකාශයකි.
සත්මිණි වත්සලා කිවිඳිය ලියූ ' මාව වටින්නෙ එච්චරද අම්මට ' නමැති කවිය මේ සතියේ හොඳම කවිය ලෙස තෝරා ගතිමි. අනුවේදනීය වූ ජීවන සංසිද්ධියක් පාදක කරගෙන මේ කවිය නිර්මාණය කර ඇත. මෙය මවක තුළ පවතින අසීමිත වූ දරු සෙනෙහස තේමා කරගෙන ලියන ලද අපූරු කවියකි.
සත්මිණි වත්සලා නිදහස් ආකෘතියකට පද පෙළ ගස්වයි. සරල ව්‍යවහාර භාෂාවක් භාවිත කරයි. කවිය අවසානයේ දී එක්වරම රසික හදවත කම්පනයට පත් වෙයි.
එය සාර්ථක වූ කූටප්‍රාප්තියකි. හොඳ කලා කෘතියක දක්නට ලැබෙන ලක්ෂණයකි.
---------------
උපුටා ගැනීම
මිනී කපන්නාගේ දියණිය
මිනී කපන්නාගෙ
එකම දියණිය
මං ඔබ
ඉරා දැම්මා
පණ පිටින්
මගෙ ආත්මය
එම්බාම් කාමරේදී
ඔබ දක්ෂයෙක් !
අප්පච්චිගෙ
ජොබ් එකට
ඊළඟට
ගැළපෙන්නෙ
ඔබමයි පෙම්වත
ගැලවිලා යන්න
නොදෙමි
මං ඔබට ගියොත්
කපනවා !
කෑලි කෑලිවලට
දෙයියම් පා
සත්තයි....!
අප්පච්චිගෙ
පට්ට තියුණු පිහියෙන් !
රඹුක්කන
කීර්ති එස්. කුමාර
----------------
ආදරණීය මාලිනිය
සිනමා අඹරට පෑයූ තාරකාව...
පුංචි බබා තුළින්
සිනමා අඹරට පෑයූ
ආදරණීය මාලනිය ...
එයා දැන් ලොකු ළමයෙක්
ලෙසින් ලොවම දිනූ ඔබ
රිදී තිරයට නිධානයක් විය
යොවුන් වසන්තයට
දියමන්තියක් ලෙසම
බඹරු ඇවිත් හි
හෙළන්ට බැල්ම හෙළූදා
බැද්දේගම පුංචි මැණිකා
කෙලෙස අමතක කරන්නද
සසර චේතනා අතර
සුවදෙන සුවඳක් සේ
හමුවූ සුරූපී දේහ විලාසය
පෙම්බර මධූ ම විය ..
සොඳුරු ලොවකට
අපේක්ෂා තුළින්
අප රැගෙන ගියා ඔබ
වසන්තේ දවසකට
ආකාස කුසුම්හි
සන්ධ්‍යා රාණී වූ
හෙළ නිළි රැජිනියනි
ඔබ අප හදවත් තුළ
සැමදා සමීප රූපයක් ව
මතකයේ රැඳේ...
ඔබට සුබ ගමන් ...
නයන්ත ජගත්
පුංචිහේවා
----------------
ප්‍රේමයේ සීනු හඬ
සප්ත මහ සාගරය කැලඹුණු
අහස අතොරක් නැතුව වැලපුණු
අනන්ත රාත්‍රීන් ගණනකට පසුවය
රෝස පෙති බිම වැටෙනු ඇසුණේ
ඇස් පියන් බිමටම බරවුණු
කඳුළු පිට කඳුළු පොදි සෑදුණු
අසීරුම යුගයක් අවසනයි
සීරුවට හිනා පොද වැස්සේ
කවි අකුරු එකින් එක පැටලුණු
බොහෝ දුක්බරම කවි ලියැවුණු
ඝන අඳුරු හිත් අහස මත්තේය
රිදී රේඛාවක් ඇඳුණේ
ලොවම එක පසෙක හිඳ හිනැහුණු
මම මගෙම ලෝකයක සිරවුණුු
අසීමිත නිහැඬියාවක් බිඳ
ප්‍රේමයේ සීනු හඬ ඇසුණේ
එතැන් සිට හදවතේ අහුමුලු
පිරී ඉතිරී තුටින් බරවුණු
නුරා දෑසට එබෙන දෑසක
කැඩපතින් මං මාව දැක්කේ
වත්සලා ඉරෝෂිණී කරුණාරත්න
--------------
කැලෑ රෝස
සොඳුර !
ඔබ මා හැරදා ගියපසු
කිසිදා නොපිපුණු
කිසිදා නොම දුටු
ඉබාගාතේ සුවඳ හමනා
වන රෝස මල්
වල් වැදුණු ගෙවත්තේ
වැට මායිමේ
සැමතැනම සුපිපිලා
කේ.ඩබ්ලිව්. සිරිසේන
මාලබේ
හොඳම කවිය ඔබේ කවිය වුවහොත් ඔබට තිළිණයක් හිමි වේ. එබැවින් නිර්මාණය සමඟ ඔබේ නම, ලිපිනය, දුරකතන අංකය එවන්නත් අමතක කරන්න එපා.