විස්ම විශ්වය

ජූලි 14, 2025

පාවෙන වගා බිම්

බංග්ලාදේශය නිරන්තරයෙන්ම ජල ගැලීම්වලින් පීඩාවට පත්වන්නේ එහි පිහිටීම හේතුවෙන්. මේ නිසා බංග්ලාදේශ වැසියන්ට පාරම්පරික කෘෂි වගාවන්ට අලුත් ක්‍රම අත්හදා බලන්නට සිදුවුණා.

 

ජලය මත පාවෙන මෙවැනි වගා පාත්ති එවැනි ක්‍රමවේදයක් වුවත් ඊට අවුරුදු 200ක පමණ ඉතිහාසයක් තිබෙනවා. විශේෂයෙන්ම ගං වතුර කාල සීමාවලදී එරට බොහෝ සේ මෙම වගාවන් දක්නට ලැබෙනවා. මුහුදු මට්ටම ඉහළ යාම සහ පහත් ප්‍රදේශවල වැඩි භූමි ප්‍රමාණයක් ජලයෙන් යටවීම නිසා නසීර්පුර වැසියන් අවුරුද්දේ මාස 10ක්ම ජලගැලීම් තත්ත්වයක දිවි ගෙවන බව අනාවරණය වී තිබෙනවා. කලකට ඉහත මෙම වගා බිම් ගොඩබිම් ප්‍රදේශ ලෙස දක්නට ලැබුණත් අද වන විට මුහුදු ජලය මෙන්ම ගංගා ජලය ඉහළ යාමත් සමඟ මෙම බිම් සදාතනිකවම ජලබිම් බවට පත්ව අවසන්.

 

පිපිඤ්ඤා, ගස්ලබු, කරවිල, බණ්ඩක්කා, නිවිති, වට්ටක්කා සහ තක්කාලි වැනි භෝග වර්ග මෙහි වගා කර තිබෙනවා. අද වන විට නසීර්පුර නගරාසන්නව හෙක්ටයාර 120ක් පාවෙන වගාබිම් දක්නට ලැබෙනවා. සෑම අස්වනු නෙළීමකින් පසුව පාත්ති නැවත සකසනු ලබනවා. ජපන් ජබර ලෙස අප හඳුන්වන Water Hyacinth මෙන්ම වෙනත් ජලජ ශාක සහ උණ බම්බු එකට ඈඳා ගනිමින් මෙම පාත්ති සකස් කෙරෙනවා.

----------------

දියමන්ති ඇපල්

Black Diamond Apple ලෙස හැඳින්වෙන මෙම කළු ඇපල් අතිශය දුර්ලභ පලතුරු විශේෂයක් ලෙසයි සැලකෙන්නේ.

 

ටිබෙට් කඳුකරයේ මෙන්ම චීනයේ ඇතැම් ප්‍රදේශවල වගාකෙරෙන තද දම් පාටකට සමාන කළු පැහැයකින් යුත් මෙම පලතුර දක්නට ලැබෙන්නේ පලතුරු සහ එළවළුවල ඇති ස්වභාවික වර්ණකයක් වන ඇන්තොසියානින් වර්ණකයේ ඉහළ සාන්ද්‍රණය හේතුවෙන්. අනෙකුත් ඇපල්වලට සාපේක්ෂව මෙහි රසය මෙන්ම ගුණය ද ඉහළයි. විශේෂයෙන්ම ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් මෙම ඇපල් විශේෂය පොහොසත්. අභිජනන ප්‍රභේදයන් ඔස්සේ සිදුවන මෙම වගා ක්‍රියාවලිය ඉතාම සියුම් නිසාත්, නිශ්චිත උෂ්ණත්වයක් සහ ආලෝක පාලනයක් යටතේ සාධක ගණනාවක් සපුරාලිය යුතු නිසාත්, දැඩි තත්ත්ව ප්‍රමිතීන් අනුගමනය කළ යුතු නිසාත්, පලදාව නෙළා ගැනීමට දිගු කාලයක් ගතවන නිසාත් කළු ඇපල් වගාව අසීරුය. එනිසාම සුඛෝපභෝගී පලතුරක් ලෙස මෙය විශේෂිත වෙළෙඳපොළවල අලෙවි වන්නෙත් අමෙරිකානු ඩොලර් 7ක් වැනි ඉහළ මිලකටයි.

------------------------

විලට වැටුණොත් ගල්

ටැන්සානියාවේ නේට්‍රෝන් විල පිළිබඳ ප්‍රසිද්ධ අදහස තරමක් අද්භූතයි. ඒ අනුව බොහෝ දෙනාගේ අදහස වන්නේ නේට්‍රෝන් විලට වැටෙන ඕනෑම සත්ත්වයකු ගල් වෙන බවයි. විලේ පැහැයත් තරමක් බියකරු බවක් ගෙන දෙනවා.

 

නැඟෙනහිර අප්‍රිකානු රිෆ්ට් නිම්නයේ පිහිටි නේට්‍රෝන් විල සාපේක්ෂ වශයෙන් නොගැඹුරු විලක්. උපරිම ගැඹුර අඩි 10ක්. ආසන්න වශයෙන් සැතපුම් 35 - 40 අතර ප්‍රමාණයක මෙම විල පැතිර තිබෙනවා.

 

විල සම්බන්ධයෙන් අද්භූත බවක් රැඳී තිබීමට ප්‍රධාන හේතුව වන්නේ එහි 10.5 ඉක්මවන PH අගයයි. සෝඩියම් කාබනේට් ඇතුළු ඛනිජ ලවණ බහුල නිසාම එහි ජලය අධික ලවණතාවකින් යුතුයි. එනිසාම දිය බීමට පැමිණෙන සත්ත්වයකුගේ පාද හෝ විලට වැටෙන පක්ෂියකුගේ සිරුර අධික ලවණවලට නිරාවරණය වීමෙන් සත්ත්වයා අඩපණ වී ජලයේ ගිලෙනවා. කටුක පරිසරයක වුවත් නේට්‍රෝන් විලට අනුවර්තනය වූ මත්සයින් විශේෂ එහි දිවි ගෙවනවා.

 

------------------------

පිරිමින් වසඟ කළ නෙළුම් පා

පුරාණ චීන මතයකට අනුව කාන්තාවන් රූමත් බවින් පරිපූර්ණ වීමට නම් ඇය සතුව නෙළුම් මල් වැනි ඉතා කුඩා පා යුගලක් තිබීම අත්‍යවශ්‍ය වුණා.

සාමාන්‍ය මිනිස් පාද එකළ සැලකුණේ කාන්තාවකට විවාහ පත්වීමට තිබූ ප්‍රධාන බාධකයක් ලෙසයි. මේ නිසාම අවුරුදු 4 - 5 වැනි ඉතා ළාබාල වයසේ සිටම පාද බැඳීම හෝ පාද වෙළීම ලෙස හැඳින්වෙන ඉතා දරදඬු පිළිවෙත් ඔස්සේ මෙවැනි පා යුගලක් හිමිකර ගැනීමේ දුෂ්කර කටයුත්තට මුහුණ දීමට චීන ගැහැනු දරුවන්ට සිදුවුණා.

චීන කාන්තාවන් තුළින් මෙම අමුතු පිළිවෙත දක්නට ලැබුණේ 10 වැනි සියවසේ අගභාගයේ සිට 20 වැනි සියවසේ මුල්භාගය කාලය දක්වා කාලයේයි. මෙහිදී අඛණ්ඩව වසර ගණනාවක් පුරා වෙළුම්පටි යොදා දෙපතුල් ඇඟිලිත් සමඟ තදින් ගැට ගැසීමක් සිදු වෙනවා. එවිට අස්ථි බිඳී ගොස් වෙළා ඇති ආකාරයෙන්ම පාදවල ඇඟිලි සැකසෙනවා. පතුල් නෙළුමල් ලෙස සැකසෙන්නේ ඒ අනුවයි.

ඉතාම වේදනාකාරී මෙම පිළිවෙත හරහා ඇතැම් ගැහැනු දරුවන් අධික වේදනාවට මෙන්ම ආසාදනවලට ද ලක්වුණා. ඇතැම් විට ජීවිත අවදානමකට පවා මුහුණ දීමට සිදුවූවත් සමාජය තුළ වූ දුර්මතය පිළිගැනීම ඊට වඩා බලවත් වුණා. නමුත් පසුකාලීනව මෙය නීතිමය තහනමට ලක් වූ අතර තවදුරටත් නෙළුම් පා ස්ත්‍රීත්වයේ සංකේතයක් වූයේ නැහැ.