සියලු පාපයන්ගෙන් වැළකී කුසලයෙහි යෙදෙන්න

බලා සිටියදී යහපත උදා වෙයි
මාර්තු 3, 2021

 

අනුශාසනාව - රනිස්වල ශාලරුක්ඛාරාමාධිපති මගලෙගොඩ විද්‍යාලයේ විදුහල්පති, සියනෑ හාපිටිගම් දෙකොරළේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති අතිපූජ්‍ය

රදාවඩුන්නේ ශාන්ත

අමරනන්ද ස්වාමීන් වහන්සේ

 

 

කර්ම විපාක.... යම් ක්‍රියාවක් සිදු කළහොත් එහි ප්‍රතිඵලය කොයි මොහොතේ හෝ ඵලදෙන්නට ගනී. අප අතර සිටින මිනිසුන් ශාරීරික, මානසික, ආර්ථික හා සමාජීය වශයෙන් නොයෙකුත් වෙනස්කම් දැකිය හැක්කේ ඒ නිසාය.

 

හැඩ රුව ඇතිවීම, බුද්ධිය පිහිටීම, වත් පොහොසත්කම් ලැබීම, ආයුෂ අඩු වැඩි බව එකිනෙකාට වෙනස් වන්නේ තම තමන් කළ කී දේ අනුවය. අද ජීවත්වන බොහෝ දෙනෙක් මෙය එතරම් තැකීමක් නොකරයි.

බුද්ධ කාලයේ සැවැත් නුවර විසූ තෝදෙයිය සිටුවරයාගේ පුත් සුභ මානවකයා විසින් බුදුරජාණන් වහන්සේට ප්‍රශ්න දහහතරක් යොමු කරන ලදී. එම ප්‍රශ්න සහ බුදුරජාණන් වහන්සේ සුභ මානවකායට දුන් පිළිතුරු බැලීමෙන් අපට කර්මය පිළිබද මනා අවබෝධයක් ලැබිය හැකියි.

ද 01. තථාගතයන් වහන්ස, මේ ලෝකයෙහි අල්ප වූ ආයුෂ ඇති ද වැඩි ආයුෂ ඇති ද විවිධ වූ වයස් ප්‍රමාණයේ ආයු වළඳන අය ද වෙති. එයට හේතුව කුමක්ද?

ද මේ ලෝකයෙහි වැඩි දෙනා පාප කර්මයන්හි ඇති බරපතලකම නොසලකා ලොව ප්‍රධානම සත්වයා වන මනුෂ්‍යයාගේ පටන් නොයෙකුත් සත්වයන් මරණයට පත් කරති. ආයුධ පාවිච්චි කර බියවද්දවයි. ඉන් දුකට පීඩාවට පත් ඇතැම් සත්තු එකෙනෙහිම මරණයට පත් වෙති. නැතිනම් කාලයක් වේදනා විඳ මිය යති. මේ පාපකර්මය නිසා උපනූපන් ආත්මවලදී මවුකුස තුළ දී හෝ බාල වයසේදී තරුණ වයසේදී, මධ්‍යම වයසේදී හෝ නොසිතූ ලෙස මිය යති.

ද 02. තථාගතයන් වහන්ස, බොහෝ ආයුෂ ඇති වී ජීවත් වී මැරෙන්නෝද ඇත. ඔවුනට බාධාවකින් තොරව බොහෝකල් සියක් අවුරුද්දක් වුවද ඊට වැඩියෙන් වුවද ජීවත් විය හැකිව තිබේ. මෙයට හේතුව කුමක්ද?

මේ ලෝකයෙහි උපත ලද සමහරු දීර්ඝායු සම්පත් විඳිති. ඔවුනට අතුරු ආන්ත්‍රාවලට මුහුණ දීමට සිදු නොවේ. බරපතල මාරකයකට අණතුරකට මුහුණ දීමට සිදු වුවද, කෙසේ හෝ ජීවිතය ගැළවේ. ඔවුහු ප්‍රාණ ඝාතයෙන් වැළකී, අනුන්ට හිංසා පීඩා කිරීමෙන් තොරව ජීවත්වීමේ ඉෂ්ඨ විපාක වශයෙන් මෙසේ දීඝායු ලබති.

ද 03. බුදුරජාණන් වහන්ස, මේ ලෝකයෙහි විවිධ රෝගාබාධ සහිතව ජීවත් වන්නෝ සිටිති. අතිශය භයානක රෝගයන්ට ද ගොදුරුව බොහෝ දුක් විඳිති.

සත්වයන්ට හිංසා කිරීම, අතින් පයින් පහරදීම, අවමන් කිරීම, නින්දා කිරීම, ඇනුම් පද කියා අපහාස කොට සතුටුවීම, ලෙඩුන්ට නොසැළකීම, ආත්මාර්ථකාමීවීම, ලෙඩ දුක් බෝවෙන රෝග වළක්වාලීමට කිසිදු වෑයමක් නොකිරීම, අනුන්ට ඊර්ෂ්‍යා කිරීම, නිතර කෝපවන ගතිය, තම බිරියට දූදරුවන්ට වද දීම, වෙසස්කම් කිරීම යනාදිය හේතුවෙන් රෝගාබාධවලින් මුළු ජීවිතයම පෙළෙන බව ඉන් අදහස් වේ.

ද 4. බුදුරජාණන් වහන්ස, එසේම රෝගාබාධයන් නොමැතියි කිව හැකි තරම් අයද අඩුවෙන් කලාතුරකින් රෝගාබාධයන් වැළදෙන්නෝද අප අතර සිටිති.

ලෙඩ රෝග නැතිව සිටීමට හේතු නම් අනුන්ට හිංසා නොකිරීමයි. ඔවුන් අනුන්ට අවමන් නොකරයි. කෝප නොවෙයි. අනුන්ට ඊර්ෂ්‍යා නොකෙරේ. අනුන්ගේ දියුණුවට කැමැති වේ. මෛත්‍රී කරුණා ගුණ ඇත්තෙක් වේ. වැඩිහිටියන්ට සැලකීම වැඩිහිටි නිවාස තැනීම, නති බැරි අයට සැලකීම අංග විකල අයට පිහිටවීම වැනි දෑ සිදුකරන අයට රෝගාබාධවලින් හිරිහැර වන්නේ නැත.

ද 5. ශාස්තෘන් වහන්ස, සමහර කෙනෙක් අවලස්සන, දුටු කෙනෙක් අප්‍රිය බවට පත්වන ස්වරූපයකින් යුක්තය. ඔවුනට කෙනෙක් ප්‍රිය උපදෙවන්නේද නැත. මෙයට හේතුව කුමක්ද?

ක්‍රෝධ කිරීම, නින්දා කිරීම, අපහාස කිරීම හේතුකොටගෙන දුර්වර්ණවීම, අවලස්සනවීම, විරූපීවීම සිදුවේ.

ද 6. ශාස්තෘන් වහන්ස, දුටු දුටුවන්ගේ සිත් ගන්නා සුළු හැඩරුව, පාට, පෙනුම ඇති ප්‍රියශීලි ගති පැවතුම් ඇති පුද්ගලයෝ අප අතර වෙති. ඔවුන් දැකීම ද ඔවුන් සමඟ කතාබස් කිරිමද සතුටකි. සැනසීමකි. මෙයට හේතුව කුමක්ද?

රූප සම්පත්තිය ඇතිවීමට හේතු මෛත්‍රී කරුණාව, අන් අයගේ දියුණුවට කැමැත්ත, කරන කියන කටයුතු සැලකිල්ලෙන් කිරීම, ජරාවාස වූ ගිලන්හල්, වෙහෙර විහාරස්ථාන, දාගැබ්, පාසල්, පාලම්, හෝ පොකුණු, උයන්වතු, ජලාශ ආදිය අලුත්වැඩියා කිරිම, ප්‍රතිසංස්කරණය කිරීම, වස්ත්‍ර පූජාව, සුවඳ වර්ග, මල් පූජාව, ජලාශ පිහිටුවීම, වැසිකිලි කැසිකිලි පිරිසුදු ලෙස තැබීම, කායික මානසික පිරිසුදු ජීවිතයක් ගත කිරීම, ආදිය රූප ශෝභාව ඇතිවීමට හේතුය. සත්‍යවාදී වීම, කේලාම් වලින් වැළකීම ද රූප සම්පත්තිය ඇතිවීමට හේතුය.

ද 7. භාග්‍යවතුන් වහන්ස, කිසිදු ප්‍රසිද්ධියකින් තොර කිසිදු කෙනෙක් දන්නා කියන බවකින් තොර අප්‍රකට මනුෂ්‍යයෝ මේ ලෝකයෙහි සිටිති. මෙයට හේතුව කුමක්ද?

ඊර්ෂ්‍යා කිරීම, වෛර කිරීම, අනුන්ගේ දියුනුව වළක්වාලීම, අනුන්ගේ සම්පත් නොඉවසන ගතිය, පූජනීය භූමි විනාශ කිරීම, අන් අයට අවමන් කිරීම ආදිය නිසා උපනුපන් ආත්මලදී කල ඵලයකින් තොර ජීවිතයක් ගත කෙරේ.

ද 8. භාග්‍යවතුන් වහන්ස, අතිශයින්ම ප්‍රසිද්ධ මහේශාක්‍ය, මහානුභාව සම්පන්න මනුෂ්‍යයෝ සිටිති. මෙයට හේතුව කුමක්ද?

ගරුකළ යුත්තන්ට ගරු කිරීම, සීලයෙන් ගුණයෙන්, වයසින්, දැනුමින්, වැඩිවූවනට සැලකීම ආදිය නිසා පුද්ගලයා මහේශාක්‍ය බව ලබයි.

ද 9. සර්වඥයන් වහන්ස, කිසිදු සම්පත්තියක් තබා තමන්ට කියා ඉන්නට තැනක්වත් නොමැතිව කිසිවකුගේ හව්හරණයක් උපකාරයක් නොලබන අසරණ පුද්ගලයෝ අප අතර සිටිති. කොතෙකුත් උත්සාහ දරුවත් ඔවුන් එකම තැනය. මෙයට හේතුව කුමක්ද?

දානාදී පිංකම් නොදීම, පරිත්‍යාග නොකිරීම, තද මසුරුබව, දුගී දුප්පත් අසරණ අයට හිංසා කිරිමයි.

ද 10. සර්වඥයන් වහන්ස, බොහෝ පිරිවාර සම්පත් ඇති වතුපිටි, ඉඩකඩම් ඇති ධනයෙන් කිසිදු අගහිඟයකින් තොර පුද්ගලයන් වන්නේ කුමන හේතුවෙන්ද?

අන් අයට ඇප උපස්ථාන කරන නැති බැරි අයට පිහිටවන, වැඩිහිටි නිවාසවලට උපකාර කිරීමෙනි.

ද 11. ගෞතමයන් වහන්ස, මිනිසුන් විසින් කොන් කරනු ලබන පහත් කුලවල අපත ලබන්නේ ඇයි?

ආඩම්බරකම, අධික මානය නිසා පහත් යැයි සම්මත කුලවල පවුල්වල ඉපදේ. අන් අය තලා පෙලා කතා කිරිම මඟින් නිච කුලවල ඉපදේ. ලොව පවතින සම්මත නීතිරීතිවලට අවනත නොවන්නෝ මෙලෙස උපදී.

ද 12. ගෞතමයන් වහන්ස, වැදගත් යැයි සම්මත පවුල්වල අපත ලබන්නෛ් කෙසේද?

ගුණයට දහමට නැඹුරුවීම, නීති ගරුක වීම තුළිනි.

ද 13. බුදුරජාණන් වහන්ස, කොතරම් පැහැදිලිව කරුණු කීවද, තේරුම් ගැනීමේ නුවණක් නැති දැනීමෙන් ඇසීමෙන්, ඇසුරෙන් දැනුමක් ලබාගත නොහැකි මෝඩ අය සිටිති. මෙයට හේතුව කුමක්ද?

ඉගෙනගන්නා අයට උපකාර නොකිරීම, දුර්වල අයට අවමන් කර ඔවුන් අධෛර්යමත් කිරීම, අන් අය වරදට පෙළඹීම, අනාචාරය, පාසල් ශාස්ත්‍රශාලා විනාශ කිරීම හේතුවයි.

ද 14. බුදුරජාණන් වහන්ස, අතිශය තීක්ෂණ නුවණින් යුක්ත යමක් දුටු විගස ඇසූ සැණින් කරුණු අවබෝධ කර ගැනීමේ පුදුමාකාර නුවණක් ඇති මනුෂ්‍යයෝ වෙති. මෙයට හේතුව කුමක්ද?

පාපයන්ගෙන් වැළකී කුසලයන්හි යෙදීම, පන්සිල්වලට අනුව තම ජීවිත හැඩගස්වා ගැනීම, නීති ගරුක වීම මඟින් උපනූපන් ආත්මවලදී ප්‍රඥාව පහළ වේ. භාවනාව, ආලෝක පූජාව, පොත පත දීම, පිරිවෙන් පාසල් දියුණු කිරීම, බුද්ධිය මෙහෙයවා ලෝකයාගේ යහපත පිණිස කටයුතු කිරිම මඟින් තීක්ෂණ බුද්ධියක් උරුම වේ.

එලෙසින් සුභ මානවකායගේ ප්‍රශ්න දහහතරට පිළිතුරු සැපයීම නිසා ලෝකවාසීන්ට වැදගත් කරුණු ගණනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබේ. ඒවා අද ලෝකයට ද වැදගත් වේ. හොඳ දෙයක් කළොත් හොඳ විපාකත්, නරක දෙයක් කළොත් නරක විපාකත් ලැබෙන බව ඉන් අනාවරණය කෙරේ.

ඒ බව නොදැන බොහෝ දෙනා පාප ක්‍රියාවල යෙදී අනන්ත දුක් විඳිති.