පොඩි දරුවන්ට අකුරු කියවී‍ෙම් චාරිත්‍රය නිවැරැදිව කරන්නේ කොහොමද?

ජූලි 7, 2021

 

වර්තමානයේ දී පොඩි දරුවන්ට අකුරු කියවීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කරනු ලැබේ. පොඩි දරුවන්ට අකුරු කියවීමේ එම චාරිත්‍රය නිවැරැදි ක්‍රමයට සිදු කළ යුත්තේ කෙසේද? යන්න මෙම ලිපියෙන් විමසා බැලේ.

යම්කිසි දෙවිකෙනෙක්, මනුස්සයෙක්, සතර අපාගත සත්ත්වයෙක්, ජීවත්ව ඉන්න තැනින් මියගිය පසුව, ඒ සමඟම අතරක් නැතිව ප්‍රතිසන්ධිය ලබයි. ඒ අණ්ඩජ, ජලාබුජ, සංසේචජ, ඕපපාතික යන ක්‍රම අතරින් එක්තරා ක්‍රමයකට ය. ඒ ඒ තැන්වල උපත ලැබූ පසුව තිරිසන් සත්ත්වයන් තමන්ගේ පැටවුන්ට ද, මනුස්සයන් තමන්ගේ දරුවන්ට ද, අනෙක් සියල්ලෝම තම තමන්ගේ දරුවන්ට තමන් සිටින භූමියට අදාළ දේවල් උගන්වනු ලැබේ. ඒ අතර මිනිසුන් දරුවන්ට මුලින්ම උගන්වන දිනයේදී විවිධ චාරිත්‍ර, වතාවත් අනුගමනය කරනු ලැබේ.

 

වර්තමානයේ දී බොහෝ විට කරන්නේ යමිකිසි දේවරූපයක් ඉදිරියේ තබාගෙන හෝ පූජා ද්‍රව්‍ය කිහිපයක් තබාගෙන තමන්ගේ ආදරණීය දරුවන්ට මංගල අකුරු කියවීමයි. බෞද්ධ පින්වතුන් නම් එය මව්පියන් හෝ ස්වාමින් වහන්සේ නමක් ලවා හෝ ගුරුවරයෙක් වැනි සුදුසු වැඩිහිටියෙක් ලවා සිදු කරන බව පෙනේ.

මෙවැනි අවස්ථාවක කුමන චාරිත්‍රයක් කළත් අප ඒ කරන දෙය තුළින් බලාපොරොත්තු වෙන උසස් ප්‍රතිඵල ලැබෙනවාද? නොලැබෙනවා ද? ලැබෙනවානම් ලැබෙන්නේ කුමන ප්‍රතිඵලද? නොලැබෙනවා නම් නොලැබෙන්නේ කුමන හේතු නිසාද? දැනට කරමින් සිටින දේ නිවැරැදිද? දැන් කරමින් සිටින චාරිත්‍ර ආරම්භ වුයේ කුමන කාලයේද? අතීතයේ දරුවන්ට අකුරු කියවන්නට කටයුතු කර ඇත්තේ කුමන ආකාරයටද? කියා නුවණින් විමසා දැන ගත යුතු ය.

දරුවන් වේවා, වැඩිහිටියන් වේවා, සියලු දෙනාම සිදුකරගන්නා කුසල කර්මවලට යහපත් හොඳ කුසල විපාකත්, අකුසල් කර්මවලට අයහපත් නරක අකුසල විපාකත් ලැබේ. ඒ නිසා නුවණැති පින්වතුන් කිසිසේත්ම අකුසල කර්මයක් වන දෙයක් නොකර ඉන්නට වගබලා ගත යුතු ය. ඔවුන් දිට්ඨධම්ම වේදනීය කර්මයට, කුසල විපාකත්, අකුසල විපාකත් යන දෙයාකාරයම ලැබෙන බව තේරුම් ගත යුතු ය. මේ කරන කියන හැම දෙයක්ම මෙලොවට පමණක් නොව, පර‍ලොව වශයෙන් ඊළඟ භවයටත් විපාක ලැබෙන බව තේරුම් ගත යුතු ය. එපමණක් නොව මතු කවදා හෝ දවසක විපාක ලැබෙන බව තේරුම් ගත යුතු ය.

මේ බව තේරුම් ගත හැක්කේ නාම රූප ධර්ම, ස්කන්ධ, ධාතු, ආයතනාදිය ගැන දන්නා අයට පමණි. නොදන්නා අයට නම් කිසිසේත්ම මෙය තේරුම් ගත නොහැක.

දරුවන්ට අකුරු කියවීමේදී දරුවාගේත් මව්පියන්ගේත් නාම රූප ධර්ම වලට වර්තමානයේ දී ලැබෙන හොඳ ප්‍රතිඵලත්, අනාගතයේ යම් දවසක සසරින් එතෙර වන තෙක්ම ලැබෙන යහපත් ප්‍රතිඵලවලටත් අවධානය යොමුකර ඒ චාරිත්‍රය සිදු කිරීම වටී.

එය තවත් සරලව කිවහොත් දරුවාට දීර්ඝායුෂ ලැබෙන, වර්ණය, සැපය, බලය ලැබෙන, ධනය භවභෝග සම්පත්, ලැබෙන, මුළු අනාගතයම දීප්තිමත් වන මෙලොවට වගේම පරලොවටත් ප්‍රයෝජනවත් වන කුසල ප්‍රතිපදාවක හැසි‍රෙමින් මංගල අකුරු කියවීම කළ හැකි නම් බෙහෙවින් වටී. එහි ප්‍රයෝජනය දරුවාට පමණක් නොවේ. මව්පියන්ටත් සම්බන්ධ වන සියල්ලටමත් දෙලොවටම ලැබේ.

වර්තමානයේ දී බොහෝ දෙනා දේව පින්තූර ළඟ තබාගෙන ඒ දෙවිවරු ළඟ දරුවාට අකුරු උගන්වන්නට කටයුතු කරන බව පෙනේ.

එම දෙවිවරුන්ගේ මුලාරම්භය සොයාගෙන යන විට, වර්තමානයේදී භාවිත කරන ඒ දෙවිවරු අතර බහුතරයක් ත්‍රිපිටක අටුවා ටීකා පරිවාර ග්‍රන්ථ ආදියේ දී අපට හමුව වන්නේ නැත. ඒ බහුතරයක් දෙවිවරු ශ්‍රී ලාංකීය ජනතාව අතරට පැමිණීමේ ආරම්භය ලෙස හමුවන්නේ විවිධ ආක්‍රමණිකයන් ට මේ රට හසු වූ විවිධ කාල වකවානුවලදීයි.

බෞද්ධ ඉතිහාසය තුළ අපට හමුවන්නේ, ශක්‍ර දිව්‍ය රාජයා, සතරවරම් දෙවිවරු, උපුල්වන් දෙවියන්, සුමන සමන් දෙවියන් ආදී කොට ගත් දිව්‍ය ලෝක හයට ඇතුළත් වන දෙවි දේවතාවුන් වේ. වර්තමානයේ දී බොහෝ දෙනා මංගල අකුරු කියවන්නට දරුවන් ඉදිරියේ තබන දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඉතිහාස කතා අපට හමුවන්නේ හින්දු ආගම තුළයි.

කුමන කරුණක් නිසාවත් සම්‍යක් දෘෂ්ටික වේවා මිත්‍යාදෘෂ්ටික වේවා දෙවි කෙනෙක් සරණ යෑමෙන් ලැබෙන්නේ ඉතා අවම ප්‍රයෝජනයකි. දෙවියන්ට මිනිසුන් උදෙසා කළ හැකි දේවල් ඉතා සීමා සහිත වේ. ඒවා බොහෝ විට ලැබෙන්නේ මිනිසුන් විසින් ඉල්ලන දේවල්වලට ලැබෙන උදව්වක් උපකාරයක් වශයෙන් පමණි.

ඒ කිසිම දෙවි කෙනකුට කෙනෙක් මියගිය පසු ඔහුව දිව්‍ය ලෝකයකට රැගෙන යන්නට හෝ ආයුෂ, වර්ණය, සැපය, බලය, භවභෝග සම්පත් දීමට හෝ කර්මයෙන් සිදුවන කාරණා කිසිවක් කර දෙන්නට හෝ නොහැක. දෙවියන් විසින් කරගන්නා කුසල අකුසල කර්ම දෙවියන්ටම විඳවන්නට සිදු වේ. ඔවුන්ට හැකි වන්නේ භෞතිකමය වශයෙන් යම් සුළු උපකාරයක් කිරීමට පමණි. ඒවා එම දෙවිවරු විසින් කරදෙනවා ද? නොකර ඉන්නවාද? තමන් කරගත් කුසල කර්ම නිසා ඒවා හේතුඵල ස්වභාවය අනුව ඉෂ්ට වී ඒවා දෙවිවරු විසින් ඉටුකර දුන්නා යැයි රැවටෙනවාද? යන්න වෙනම විමසා බැලිය යුතුය. ‍ෙම් ලිපියෙන් එවැනි මාතෘකාවක් කතා කරන්නේ නැත. මේ ලිපියේ අරමුණ දරුවන්ට අකුරු කියවීමට භාවිත කළයුතු නිවැරැදිම චාරිත්‍රය කුමක්ද යන්නයි.

මෙ ආදී ලෙස සියලුම කරුණු පරීක්ෂා කර බලන විට දරුවන්ගේ ජීවිතයේ සුවිශේෂී ම අවස්ථාවක් වන මංගල අකුරු කියවන අවස්ථාව, එම දරුවන්ගේත්, මව්පියන්ගේත් ජීවිතවලට මහා පින්කමක් වීම දෙලොවටම උපකාර වේ.

ඒ සඳහා සුදුසුම ක්‍රමය වන්නේ භාග්‍යවතුන් වහන්සේ වැඳ නමස්කාර කර ත්‍රිහේතුක උත්කෘෂ්ට ඥාන සම්පයුත්ත කුසල් සිදු කර, නුවණට අග්‍ර වන සැරියුත් මහා මහරහතන් වහන්සේ සහ මතක ශක්තියට අග්‍ර වන ආනන්ද මහරහතන් වහන්සේත් සිහිපත් කරමින් කටයුතු කිරීම ය.

ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ ගැනත්, සැරියුත් මහරහතන් වහන්සේ ගැනත්, ආනන්ද මහරහතන් වහන්සේ ගැනත්, සරලව ඔබේ පුංචි දරුවාට තේරෙන භාෂාවෙන් කතන්දර ස්වරූපයෙන් කරුණු කිහිපයක් කියා දිය හැකි නම්, දරුවාගේ පුංචි හිතට ශ්‍රද්ධාව ද ලොකු කැමැත්තක් ද ඇති වේ. ඒ ඇසුර ආභාසය නිරන්තරයෙන් ලැබෙන විට ලොකු මහත් වන ඒ දරුවාගෙන් බලාපොරොත්තු විය යුත්තේ සත්පුරුෂ, ගුණධර්මවලින් පොහොසත් නුවණැති අනාගතයේ බබළන ශ්‍රේෂ්ඨ දරුවකු යි. මංගල අකුරු කියවීම සඳහා මේ ආකාරයට කටයුතු කළ හැකි ය. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරමින් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් මේසයක් මත සුදු රෙද්දක් එලා තැන්පත් කළ යුතු ය. ඊට මඳක් පහළින් සැරියුත් මහා රහතන් වහන්සේත්, ආනන්ද මහ රහතන් වහන්සේත් අරමුණු කළ හැකි පින්තූර දෙකක් තැබිය යුතුය. පළමුව පන්සිල් සමාදන් විය යුතුය. බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරියේ මංගල අකුරු ඉගෙන ගන්නා දරුවා අතින් මල්, පහන්, සුවඳ දුම්, ප්‍රණීත දානය බුද්ධ පූජා වශයෙන් පූජා කර දරුවා අතින් මහත්ඵල මහානිසංස ලැබෙන පින්කම් කරවිය යුතු ය. ඉන්පසුව සැරියුත්, ආනන්ද මහරහතන් වහන්සේලාගේ ප්‍රතිමා වහන්සේලා ඉදිරියේ දරුවා ලවා මල්, පහන්, සුවඳ දුම්, ප්‍රණීත දාන පූජා පවත්වා මහරහතන් වහන්සේලාට දානය පූජා කිරීමේ පිනත් සිදු කරවිය යුතුය.

සම්බුද්ධ පූජා ආදිය පැවැත්වීමෙන් පසු ශක්‍ර දිව්‍ය රාජයා සහ සතර වරම් දෙවියන් සිහිපත් කර අවශ්‍යනම් පහන් දැල්විය හැකිය. ඉන්පසුව දෙවියන්ටත්, ඥාතීන්ටත් පින් අනුමෝදන් කර, දරුවා අතින් මංගල අකුරු කියවීම සුදුසුය. ‍‍ෙම් කටයුතු සිදු කරන කාලය පුරාවටම, පූර්ව, මුඤ්චන, අපර චේතනා අනුව දරුවාටත්, මව්පියන්ටත්, සම්බන්ධ වූ සියලු දෙනාටත්, අලෝභ, අදෝස, අමෝහ යන ත්‍රිහේතුක උත්කෘෂ්ට ඥාන සම්පයුත්ත කුසල් සිත් ඇති වේ. ඒ පින් බලයෙන් දිට්ඨධම්ම වේදනීය, උපපජ්ජවේදනීය, අපරාපරීය වේදනීය වශයෙන් මහනීය උසස් කුසල විපාකයෝ ඒ මොහොතේ පටන් සසර වසනා තුරුම ලැබේ. ඒවා දෙවියන්ගෙන් ඉල්ලා ලබා ගැනීමට නොහැක. ධර්මයේ හැසිරීම නිසා උපදවා ගත හැකි මහනීය උසස් ප්‍රතිඵල වේ. බොහෝ දෙනා තමන්ගේ ජීවිතයේ සුවිශේෂීම අවස්ථාවන් බොහෝවිට මිත්‍යා දෘෂ්ටිය නිසා වැරැදි දේවල්වලින්ම දෙෙලාවටම අයහපත් වන කර්මවලින් පුරවා ගනී. නමුත් නුවණැති පුද්ගලයෝ ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රිය ආදී පරමාර්ථ ධර්ම ගැන දැනගෙන ධර්මයේම හැසිරේ. "ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී" යන උතුම් බුදු වදනට අනුව ධර්මයේ හැසිරීම නිසා ඒ රැස්කරගත් පුණ්‍ය කුසල කර්මයෝ ඔවුන් සසර සැරිසරන තාක් කාලයක්, ඇතිව නැතිව යන, නාම රූප ධර්මයෝ නැවත හට ගන්වන්නට හේතු ධර්ම වෙමින් සියලුම ලෞකික ලෝකෝත්තර සැපය ලබා දෙයි.

 

 

 

 

අනුශාසනාව

පූජණීය , තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ

මිණිපුර අමාශාන්ති තපෝවනය,

පැල්වාඩිය, රත්නපුර.