ඔබත් ස්ත්‍රී ජීවිතයට ඇලුම් කරන ‍ෙකනෙක්ද?

ජනවාරි 31, 2022

 

ස්ත්‍රීත්වය වනාහි අද වන විට සමාජයේ බොහෝම කතාබහට ලක්වන මාතෘකාවකි. ලංකාව තුළ පමණක් ලියාපදිංචි කර ඇති කාන්තා සංවිධාන ප්‍රමාණය බොහෝය. වර්ෂයේ කාන්තාවන්ටම එක දිනක් වෙන්කර දී ඇත්තේ ද මෙම මතවාදයට සමාජයේ වටිනාකමක් දීම සඳහාය. එහි දී කාන්තාවන්ට පිරිමින් හා සමාන අවස්ථා, වරප්‍රසාද, ආරක්ෂාව, ගෞරවය වැනි සාධාරණ සංකල්පවල පටන් පුරුෂ විරෝධය, පුරුෂයන් හෙලා දැකීම වැනි දැඩි මතධාරී අන්තයන් කරාද ගමන් කරනු දැකිය හැක. මේ සියල්ලටම හේතු වී ඇත්තේ පිරිමින්ට සාපේක්ශව ස්ත්‍රීන් හට මුහුණ දීමට සිදුවී ඇති දුක් ප්‍රමාණය අධික වීමය. ​අපගේ භාග්‍යවතුන් වහන්සේ පවා ස්ත්‍රීත්වය විශාල දුක් සහිත ජීවිතයක් කියා වදාළා තිබේ. සංයුත්ත නිකායේ මාතුගාම සංයුත්තයේ ස්ත්‍රියට ආවේණික වූ දුක් පිළිබඳ මෙසේ සඳහන් වේ.

 

“පුරුෂයෙක් විඳින්නේ නැති, පුරුෂයකුට සාධාරණ නොවුණ ස්ත්‍රියක් පමණක් විඳින පළමු දුක තමයි “දහරෝව සමානෝ පතිකුලං ගච්ඡති” තරුණ කාලයේදීම ඇයට සිදුවෙනවා පිට කුලයකට (ස්වාමියාගේ නි‍ෙවසට) යන්න.“ඤාතකේහි විනා හෝති” නෑයන්ගෙන් වෙන්වෙන්න සිදුවෙනවා. අඳුනන්නේ නැති පිරිසක් සමඟ ජීවත් වෙන්න වෙනවා. එහි පරිසරය අතිශයින් පීඩාකාරි වුවද විය හැකියි. සමහරවිට ස්වාමිපුරුෂයා යන නාමයට පවා නොගැළපෙන ලෙස එහිදී ඔබට සිදුවන වැරැදි, අසාධාරණකම් දෙස ඔහු නෑහුනා නොදැක්කා මෙන් සිටියහොත් දිගින්දිගටම එල්ලවන පීඩාව අවසානයක් නොමැති නිසා දික්කසාද වීමටද සිදුවුවහොත් ඒ නිසා සමාජයෙන් වන පීඩාවලටද මුහුණ දීමට සිදුවේ. මෙසේ තවත් කුලයක ජීවත් වන්නට සිදුවීම පුරුෂයාට නැති, ස්ත්‍රීන්ට ආවේණික දුකක්.

 

දෙවැනි දුක තමයි “උතුනී හෝති” කායික සැපයෙන් සිටීමට කවුරුත් කැමැතිය. නමුත් යම් දැරියක් තරුණියක් වූ පසු ඇය ඍතු වේ. මාසිකව ඍතු වීම නිසා කාන්තාවට ඒ කායික දුක උසුලන්නට සිදු වී තිබෙනවා. ඒක ඇයට කායික දුකක්, කායික පීඩාවක්, කායික අපහසුවක්. අමිහිරි වේදනාවක්. නමුත් ඒ දුකෙන් ඇයට ගැලවීමක් නැත. එයත් පුරුෂයාට අයිති නැති කාන්තාවක් වීම නිසා ලද දුකක්.

 

තුන්වැනි දුක වන්නේ “ගබ්භිනී හෝති” හෙවත් ස්ත්‍රිය ගැබ් ගැනීමයි. දරු සම්පත පිළිබඳව ලෝකයා කොතරම් ආස්වාදයෙන් කතා කළද දරුවකු කුස තුළට පැමිණි දා පටන් දරුවාව තම පණ මෙන් ආරක්ෂා කළ යුතුය. තමන් කැමැති දෙයක් කෑමට නොහැක. කැමැති වේලාවේ නෑමට බැරිය. පෙර මෙන් විනෝද විය නොහැක. මාස 9ක් යනතුරු බරක් උසුලාගෙන සිටිය යුතුවේ. එයත් පුරුෂයාට අයිති නැති කාන්තාවක් වීම නිසා ලද දුකක්.

 

හතරවැනි දුක ලෙස වදාරන්නේ “විජායති” දරුවකු බිහි වීම ලෝක සම්මතයට තව කෙනෙකුට සතුට උපදවන කාරණයක් වෙනවා. නමුත් මෙය කාන්තාවකගේ ජීවිතයේ අභියෝගයකි. මවක් දරුවා බිහි කරන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක් කරය. දරුවකු බිහි කරන අවස්ථාවේ ඒ මව විඳින කායික වේදනාව තරම් වේදනාවක් තවත් නැතැයි කියති. ඒ වගේ අභියෝගයක් තමයි ඇය බාර ගන්නේ. ඒ අභියෝගය බාරගෙන ඇය දුකක් විඳින්නේ. පුරුෂයාට සාධාරණ නැති ලෝකයේ තිබෙන ලොකුම දුක තමයි ඒ අම්මා විඳින්නේ.

 

පස්වැනි කාරණය “පුරිසස්ස පාරිචරියං උපේති” එනම් ස්වාමියා වෙනුවෙන් කෑම පිළියෙල කිරීම, ඔහුගේ රෙදිපිළි සේදීම, ඔහුගේ සැප දුක සොයා බැලීම උදෙසා කාන්තාව බැඳී ඇත. මෙම කාරණා සෑම ස්වාමිපුරුෂයකුම බලාපොරොත්තු වේ . ඉස්සර අපේ අම්මලා කුස්සියේමයි. අදත් එහෙමමයි. අද කාන්තාව රැකියාවට ගියත්, නි‍ෙවසේ සිටියත් ඇයට ආවේණික වැඩ ඇය ම කළ යුතුයි. කෙතරම් අසනීපයෙන් සිටියත් ඇයට උරුම වැඩ ඇය කරනවා. ඒ දුකෙන් ගැලවෙන්න බැහැ. ඇයට සිතෙන්න පුළුවන් ‘රැකියාවටත් ගිහින් වෙහෙසෙනවා, නැවත ගෙදර ඇවිත් වෙහෙසෙන්න ඕනේ. මට විවේකයක් ඇත්තේ ම නැද්ද’ කියලා. ඇත්තෙන්ම කාන්තා ජීවිතය කියන්නේ විවේකය ගොඩාක් අඩු එකක්. භාග්‍යවතුන් වහන්සේ වදාළා ඒ දුක පුරුෂයාට සාධාරණ නොවූ, කාන්තාවකට පමණක් උරුම වූ දුකක් කියලා.

 

මෙම කාරණා සලකා බැලීමේදී අපට පෙනෙන්නේ ස්ත්‍රීයක් වී ඉපදීමට වඩා පුරුෂයකු වී ඉපදීම යහපත් බවය. මීට අමතරව රැකියා ක්ෂේත්‍රයේදීත් සමාජයේ අනෙකුත් කාරණාවලදීත් කොතරම් සුදුසුකම් තිබුණද ස්ත්‍රීන්ට වඩා පුරුෂයන්ට අවස්ථාව වැඩිය. මෙම කාරණයේදී බෞද්ධයන් වන අපි කාන්තා විමුක්තියේ සිට ලිබරල්, සමාජවාදී සහ රැඩිකල් ස්ත්‍රීවාදය දක්වාම ඇති බටහිර මතවාද සරණ යාමට පෙර දෙවරක් සිතිය යුතුය. ඒකාන්තයෙන්ම කාන්තාවන්ට සමාජයෙන් වන අසාධාරණකම්, වෙනස්කොට සැලකීම් යනාදියට එරෙහිව සටන් කළ යුතුමය. නමුත් බෞද්ධ කාන්තාවක් ලෙස ස්ත්‍රීත්වය ඔබට සදාකාලිකවම උරුම වූවක් නොවන බව පළමුවෙන්ම තේරුම් ගත යුතුය.

 

අප මෙහිදී පිළිගතයුතු කරුණ නම් මේ දීර්ඝ සංසාරයේ අප විසින් ඕනෑ තරම් කාන්තාවන් ලෙසත් පිරිමින් ලෙසත් නපුංසකයන් ලෙසත් ඉපදී ඇති බවය. බොහෝ කාන්තාවන් ස්ත්‍රී අයිතිවාසිකම් ගැන හඩ නගද්දී වැටහෙන කරුණ නම් ඔවුන් තමන් ලද ස්ත්‍රීත්වය කෙරෙහි තදින් උපාදානය වී ඇති බවය. ඔවුන් ස්ත්‍රීත්වය වනාහි ශ්‍රේෂ්ඨ දෙයක් බවත්, එය අභිමානවත් දෙයක් බවත් ආඩම්බරයට කරුණක් බවත් වැනි නොයෙක් දේ පවසති. නමුත් පෙර දේශනාවේ මෙන් තවත් බොහෝ දේශනාවන්හි සඳහන් වන පරිදිත්, සමාජයේ මුහුණ දීමට ඇති ප්‍රායෝගික තත්වයන් සලකද්දීත් සනාථ වන කරුණක් නම් පුරුෂයෙක් වී ඉපදීම ස්ත්‍රීයක් වී ඉපදීමට වඩා හැම අතින්ම පාහේ වාසිදායක බවය. ඕනෑම කාන්තාවකට මම පිරිමියෙක් වෙලා ඉපදුණානම් හොඳයි කියා ජීවිතයේ එක වරක් හෝ සිතී ඇති. අප සියලු දෙනාම කර්මානුරූපව සකස් වූ සත්ත්වයෝය. යමෙකුට යම් ජීවිතයක ඉපදීම නිසා මුහුණ දීමට වන අපහසුතා වෙනත් ආකාරයකින් ඉපදුණානම් මුහුණ දීමට සිදු නොවේ නම් වරද ඇත්තේ එම ජීවිතය සකස් කල කර්මයේ බව අප පිළිගත යුතුය. එමනිසා අප කළයුත්තේ අන් අය කෙරෙහි ගැටීම නොව තමා හිරවී සිටින එම කර්ම රටාව වෙනස් කිරීමය. ඒ සඳහා පළමුවම ඔබ ස්ත්‍රීත්වය කෙරෙහි පවතින උපාදානය අතහැරිය යුතුමය.

 

භාග්‍යවතුන් වහන්සේගේ අපූරු දේශනාවක් තිබෙනවා අංගුත්තර නිකායේ සංයෝග විසංයෝග ධම්මපරියාය සූත්‍රය නමින්. යම් ස්ත්‍රියක් ස්ත්‍රී භාවය ඉක්මවා යන්නේ නැත්තේ ඇයි කියා එහි විස්තර වෙනවා. ඒ ස්ත්‍රිය, ස්ත්‍රී ඉන්ද්‍රියයන් මෙනෙහි කරයි නම්, ස්ත්‍රී ආකල්ප, ස්ත්‍රී මාන්නය, ස්ත්‍රිය කැමැති දේ, ස්ත්‍රී ක්‍රියාව, ස්ත්‍රී අලංකාරය ආදිය මෙනෙහි කරමින් දවස ගෙවනවා නම්, ඒවාට කැමැති නම්, ආසා නම්, සතුටු වෙනවා නම්, ඇලී නම් ඉන්නේ ඒක අයහපතක්. ඒ වගේ ම “රාගයෙන් යුතුව” පුරුෂ ක්‍රියාවට, පුරුෂ ආකල්පවලට, පුරුෂ මාන්නයට පුරුෂයන් කැමැති දේට, පුරුෂ ස්වරයට, පුරුෂ අලංකාරයට කැමැති වෙලා ඒවාට ම ආශා කර කර ඒවා ම කැමැති ව ඒවායේ ම රාගයෙන් යුතුව ඇලී ඉන්නේ, බාහිරෙන් පුරුෂයෙක් පතනවා නම්, ඔහුත් සමඟ එකතු වීමෙන් නම් ඉන්නේ ඒ කාන්තාවට ස්ත්‍රීත්වයෙන් මිදෙන්න බැහැ. එය ඉක්මවා යන්න බැහැ. නමුත් මේ ශාසනය හරි පුදුම දෙයක්. ස්ත්‍රී දුක ඉක්මවා ගිය එකක්. ඒකයි මේ ශාසනයේ ලක්ෂ ගණන් මුනිවරියන් බිහි වුණේ. භාග්‍යවතුන් වහන්සේ වදාළා යම්කිසි ස්ත්‍රියක් ස්ත්‍රී ඉන්ද්‍රියයන් මෙනෙහි කරන්නේ නැත්නම්, ස්ත්‍රී ක්‍රියා, ස්ත්‍රී ආකල්ප, ස්ත්‍රී මාන්නය, ස්ත්‍රී හඬ, ස්ත්‍රී අලංකාරය මෙනෙහි කර කර ඒවාට ආශා කරමින් ඉන්නේ නැත්නම්, ඒවායින් සතුටු වෙන්නේ නැත්නම්, ඒවාට ම ඇලී සිටින්නේ නැත්නම්, ඒ වගේ ම ස්ත්‍රියගේ ස්වභාවය තමයි පුරුෂයන්ට ඇලී සිටීම. එසේ පුරුෂයන්ට ඇලී සිටින්නේ නැත්නම් ඒ ස්ත්‍රියට ස්ත්‍රී බව ඉක්මවා යන්නට පුළුවන් කියා. ඒ කියන්නේ ඇයට නිවන කරා යන්න පුළුවන්. එහෙමයි ගෞතම බුදු සසුනේ මුනිවරියන් බිහි වුණේ.

එසේම කිසිදිනක වැරදි කාමසේවනය නොකල යුතුමය. ඔබේ ස්වාමිපුරුෂයා ඔබට නොගැළපෙන්නේ නම් නීත්‍යානුකූලව වෙන්වන තුරු ඔබව පරිස්සම් කර ගන්න. මන්දයත් පුරුශයන් ස්ත්‍රීන් වීමත්, ස්ත්‍රීන් ස්ත්‍රීත්වයෙන් නොමිදීමත් වැරැදි කාම සේවනයේ විපාකය.

 

එමනිසා අඳුරට සාප නොකිරීමට වඩා එක පහනක් හෝ දැල්වීම වටී කියන කතාව සිහිකරමින් ස්ත්‍රීත්වය නිසා උරුමවුනු ඔනෑම දුකක් ඉදිරියේ සමාජය කෙරෙහිත්, පුරුෂාධිපත්‍යය කෙරෙහිත් ගැටීම වෙනුවට මේ දුර්ලබව ලැබුණු බුද්ධශාසනයේ පිහිටෙන් කර්ම රටාව වෙනස් කර අවැසිනම් ස්ත්‍රීත්වය වෙනස්කර ගැනීමට පවා ඇති මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන, නැතිනම් ස්ත්‍රීත්වය හෝ පුරුෂත්වය කෙරෙහි හෝ උපාදාන නොවී ඒ සියල්ල ඉක්මව ගිය පරම ශාන්ත විමුක්තිය උදාකර ගැනීමට උත්සාහ කරමු.

 

 

 

අනුශාසනාව

පූජ්‍ය , තෙලඟපාත ධම්මජෝති ස්වාමින් වහන්සේ