ගැහැනු දරුවකුට නිහතමානීකම ආභරණයක්

පාතකඩ සතින්ද්‍රා මෙහෙණිය
ජුනි 6, 2022

 

 

හමා ආ සිසිල් මඳනල බෝපත් අතර සිලි සිලි හඬ නංවමින් පරිසරයේ නිහඬ බව බිඳ හෙළීය. වැලි මළුවේ දහසකුත් එකක් පිය සටහන් අතර දෙපා තබමින් ඇය හෙමිහිට ඉදිරියට ඇදුණාය. මම ඇය අනුගමනය කළෙමි.

 

"භික්ෂුණින් වහන්සේ මුණ ගැසෙන්නයි මං ආවේ..." ඇය සන්සුන් සක්මන මොහොතකට නවතා මදෙස බලා සිටියාය. මම ළං වී නමස්කාර කළෙමි.

"තෙරුවන් සරණයි!" ඒ දයාලු හඬ මා සවන් තුළින් ගලා යයි. කසාවතින් දිලෙන ඒ කරුණාබර මුව මඬල මා හද නිවයි. ඕ තොමෝ පාතකඩ සතින්ද්‍රා මෙහෙණින් වහන්සේය.

බෝ මළුවේ කෙළවරක පිහිටි කුඩා බැම්මක ඉතා ම සන්සුන් ලෙස වාඩි වූවාය. අනතුරුව නෙතින් සංඥා කළේ මටය. ඇය අසලම මම හිඳ ගතිමි. මගේ අසුන වූයේ සුදු වැලි ඇතිරූ බිමය.

මා අභිමුව සිටින ඇයගෙන් අසන්නට පැන බොහෝය. ඒවා එකිනෙක මම ඇගෙන් විමසීමි.

 

අවසර මෙහෙණින් වහන්ස, ඔබ බුද්ධ ශාසනයට ඇතුළු වී කෙතරම් කාලයක් ගත වෙනවාද?

2007 වර්ෂයේ ජනවාරි 15 වැනිදා තමයි සසුන්ගත වුණේ. මේ මගේ පහළොස්වැනි අවුරුද්ද. පානදුර සීලවතී ආරාමයේ පාතකඩ ධර්මප්‍රිය සතින්ද්‍රා මෙහෙණිය නමිනුයි පැවිදි දිවියට අවතීර්ණ වුණේ.

 

ඔබ වහන්සේට මෙහෙණිදම් පුරන්නට සිත යොමුවුණේ ඇයි?

මම හිතන්නේ ඒකට මගේ සසර පුරුදු බලපාන්නත් ඇති. ඇත්තෙන්ම පිරිමියකුට වඩා කාන්තාවක් මහණ වන විට සමාජය බලන කෝණය වෙනස්. ඇයි ඔයා මහණ වෙන්න යන්නෙ? මොකක් හරි කලකිරීමක් ද? මොනවා ද ඔයාට තියෙන ප්‍රශ්න? මෙහෙම නොයෙක් දේ අහනවා. ඒත් මම ඒ අයට කියන්න කැමැතියි ඔබලා වඩාත් දුක් දෝමනස්සයන්ගෙන් පිරිලා. ඒත් ඒවා විඳව විඳවා ඉන්නවා මිසක ඒවායෙන් මිදෙන්න උත්සාහ කරන්නෙ නැහැ. සැනසීම සොයා යන්නෙ නැහැ. සතුට, සැනසීම ලෙස ඔබ දකින්නේම මේ තෙරක් නොපෙනෙන සංසාරයේ කාමභෝගී ගෙවන ජීවිතයයි.

මම පැවිදි බිමට ඇතුළු වන්නට නිමිත්තක් වෙන්නෙ මගෙ පවුල් පරිසරය. මගේ පවුලේ ඔක්කොම හත් දෙනයි. අක්කලා දෙන්නයි. නංගිලා දෙන්නයි. මල්ලිලා දෙන්නයි. මම පවුලෙ තුන්වැනියා. මගෙ අම්මා අඩු වයසින් විවාහ වෙලා. ඇයට අවුරුදු 27 වන විට අපි හත්දෙනාම ඉපදිලා. තාත්තා මැණික් ව්‍යාපාරිකයෙක්. කිසිම ආර්ථික අගහිඟතාවයක් තිබුණෙ නැහැ. ඒත් ජීවිතය කියන්නෙ යාන වාහන, මිල මුදල් නොවන බව මම මගේ අම්මාගෙන් වටහා ගත්තා.

 

ඔබ ගිහි ජීවිතයෙත් ඉඳලා තියෙනවා. දැන් මහණ දම් පුරනවා. මේ ජීවිත දෙකේ ඔබ දකින වෙනස මොකක්ද?

ගිහි - පැවිදි මේ ජීවිත දෙක අහසයි පොළොවයි වගේ. ලොකු වෙනසක් තියෙනවා. ගිහි කාන්තාවක් අනේක දුක් විඳිනවා. එහෙත් පැවිදි තෙරණියකට ඒ දුක් බොහොම අඩුයි. දැන් මේක කියවන ඇතැමුන් හිතයි අපි නම් දුක් විඳින්නෙ නැහැ කියලා. නැත්තෙ නැහැ. කාන්තාවකව උපත ලද බිලිඳිය, දැරිය, තරුණිය. සොයුරිය, බිරිය, මව, මිත්තණිය, සමාජ සේවිකාව මේ කොයි භූමිකාවේ දී වුවත් ඇයට යම් විඳවීමක් තියෙනවා. සෘණාත්මක ලෙස කතා කරනවා.

 කාන්තාවක් මවක් වන්න දරුවකු කුසට ආ දා සිටම දරාගැනීම් සමුදායකට මුහුණ දෙන්නට වෙනවා. ඒ වගේම වැඩි වගකීම්වලට නිතැතින්ම ඇයව යොමු වෙනවා. ඒ සියලු බැඳීම්වලින් පැවිදි ජීවිතය නිදහස්.

 

‍මෙ‍හෙනින් පාසල් අධ්‍යාපනය ලැබුවේ කොහෙද?

මම පාසල් ගියේ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ප්‍රාදේශීය කොට්ඨාශයේ පාතකඩ ගමේ පාසලට. උසස් පෙළට රත්නපුර ධර්මාලෝක විද්‍යාලයට ඇතුළත් වුණා.

 

මෙහෙණියක වන්නට පුරුදු පුහුණු කළ යුත්තේ මොනවාද? මෙහෙණි සසුනට ඇතුළත්ව ලැබූ අධ්‍යාපනය මොන වගේද?

පැවිදිවීමට පෙර වර්ෂයක් වගේ කාල සීමාවක් ආරාමයක නේවාසිකව ගුරුමෑණියක යටතේ වත් පිළිවෙත් පිරිය යුතුයි. සාමණේර බණ දහම් පොත ප්‍රගුණ කළ යුතුයි. පිරුවාන පොත් වහන්සේ පාඩම් කර ගැනීමත් අවශ්‍යයි. ධම්මපදය වගේ ධර්ම ග්‍රන්ථ ප්‍රගුණ කිරීම, භාවනාව පුරුදු පුහුණු කිරීම අවශ්‍යයි.

මම පැවිදි ජීවිතයට ඇතුළත්ව මාස 7ක් මාතර මුලටියන පියදාස රත්නායක ගුණානුස්මරණ සිල්මාතා අභ්‍යාස ආයතනයේ වසර දෙකක් දහම් පාඨමාලාවක් හැදෑරුවා. ත්‍රිපිටක ධර්ම දැනුම, භාෂා ඥානය සඳහා ඉංග්‍රීිසි විෂයයන් පමණක් නොව පරිගණක තාක්ෂණ දැනුම ද උකහා ගත්තා. ඉන් අනතුරුව බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධියත් (බාහිර) බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධියත් ලබා ගත්තා.

 

මෙහෙණියක ලෙස කාන්තාවකගේ ජීවිතය දකින්නේ කෙලෙසද? ඔබට ගිහි ජීවිතයේ ගැහැනිය පෙනෙන ආකාරය කෙබඳු ද?

ගෘහස්ථ ජීවිතයේත් සමාජය තුළටත් පිවිසි කාන්තාව යාන්ත්‍රීකරණ වී තිබෙනවා. ඇයව එක්තරා රාමුවකට කොටු වී දැඩි පීඩනයකට පත්ව තිබෙනවා. රැකියාවත් නිවෙසත් අතර ඇය යම්තාක් හෝ කායික මානසික පීඩනයකට ගොදුරු වෙනවා. ඇය මේ දුක් ගැහැට සියල්ල විඳ දරා ගනිමිනුයි ජීවත් වෙන්නේ. ගිහි කාන්තාවගේ ආරක්ෂාව, ගෞරවය වුව අවිනිශ්චිතයි. ඇයට නිතැතින්ම රැකවරණය අවැසියි.

මෙහෙණියකට සමාජ ගෞරවය සෙසු කාන්තාවකට වඩා වැඩියෙන් ලැබෙනවා. ඒ වගේම ඇයට අවැසි දේ දායක දායිකාවන් සම්පාදනය කර දෙනවා. යහපත් සමාජ සේවයක් සිදු කරන ගමන් ඇයගේ සසර ගමන කෙටි කර ගැනීමට ද වතාවත් පහසුවෙන්ම සිදු කර ගත හැකියි. බැඳීම් අඩුයි. එමෙන්ම බැඳීම් නැති තරම්.

 

ජීවිතයේ ලද අමතක නොවන අත්දැකීමක් මතක් කළොත්?

මම පැවිදි බිමට ඇතුළුවීම තමයි මෙතෙක් ලබපු සුවිශේෂිතම අත්දැකීම. ඒ වගේම අමතකම නොවන අත්දැකීමක් කියනවා නම් මම මංගල ධර්ම දේශනාව සිදු කළ ආකාරය අද වගේ මට මතකයි. ඒ හරියටම පැවිදි වී තෙමසකින්. මා එම බණ ගෙදරට වැඩියෙ පැය භාගයක ධර්ම දේශනාවකට දහම් කරුණු සූදානම් කරගෙනයි. එහෙත් විනාඩි පහක් ඇතුළත ඒ සියල්ල මා දේශනා කළා. ගමේ බොහෝ පිරිසක් සහභාගි වූ මෙතැනට මගේ ලොකු මෙහෙණින් වහන්සේත් වැඩමවා සිටියා. උන්වහන්සේ නැවත ධර්ම දේශනාව සිදු කළා. අදටත් බණකට වඩිද්දී එම සිදුවීම මතක් වෙනවා.

 

තරුණ දියණියන්ගේ ජීවිතය දකින්නේ කොහොමද? ඒ අයට දිය හැකි උපදෙසක්...

වර්තමානයේ දියණියන් බොහොමයක් තාක්ෂණයත් එක්ක අතරමං වෙලා. මුහුණපොතේ සැරිසරන වංචනිකයන්ගේ ගොදුරක් වෙලා තියෙනවා. යමක් දෙස වරක් දෙවරක් නොව කිහිපවරක්ම බලා තීරණ ගත යුතුයි. සරුව පිත්තල ලෝකය හරි ඉක්මනින් කඩා වැටෙනවා. කාන්තාවක ලෙස තමන්ට හොඳ අභිමානයක් ඇති කර ගැනීම අවශ්‍යයි. ඕනෑම තැනකදී තම ගෞරවය රැකෙන පරිදි ජීවත්විය යුතුය. ගැහැනු දරුවකුට නිහතමානීකම ආභරණයක්.

අදටත් ගැහැනු දරුවාටත් පිරිමි දරුවාටත් සමාජය සලකන්නේ දෙවිදිහකට. මේ තත්ත්වය අවබෝධ කරගත් කළ ඇය සුරක්ෂිතයි. පරිබාහිර ලෝකය ගැන සිහිකල්පනාවෙන් සිටීමට සිහි එළවා ගත යුතුයි.

 

අපි දැන් භාවනාව ගැන කතා කරමු. භාවනාවෙන් ගිහි ජීවිතයට ළඟා කරගත හැකි ප්‍රයෝජනය මොනවාද?

භාවනාව තුළින් මනස තුළ තිබෙන කලබලකාරීත්වය නැතිකර ගන්න පුළුවන්. විශේෂයෙන් සමථ භාවනාවෙන් සිදු කෙරෙන්නේම එයයි. සමාධි ගත සිතක් සකසා ගත් තැනැත්තාට නිවැරැදි දේ නිවැරැදි ලෙසටත් වැරැදි දේ වැරැදි ලෙසටත් දකින්නට හැකියි. ඒ වගේම කළ යුතු දේ සිදු කිරීමටත් නොකළ යුතු දේ නොකර සිටීමටත් හැකියාව පවතී.

භාවනාව නොකරන කෙනකුට නොපෙනෙන සියුම් පැතිකඩ පවා භාවනා කරන්නාට දැකිය හැකියි. එතරම් පුළුල් මනසක් ඔවුනට උරුම වනවා. භාවනාවෙන් මනස පුළුල් වීමක් සිදුවන අතර ඔබට පරිණත භාවයක් ඇතිකර දෙන්නටත් භාවනාවට හැකියි.

 

ඡායාරූප - හිරන්ත ගුණතිලක