ටයිඇන්ඩ්ඩයි ක්‍රමයට බතික් සාරියක් ගෙදරද ීම නිර්මාණය කර ගනිමු

බතික් නිර්මාණ පාඩම් මාලාව - 07
මාර්තු 10, 2021

අද තරුණි බතික් පාඩම මගින් ඉදිරිපත් කරන්නෙ වර්තමානයේ ඉතා ජනප්‍රිය සාරි විලාසිතාව වන බතික් සාරියක් නිර්මාණය කරගන්නා ආකාරයයි.

අත මිට මුදල් ඉතිරි කරගන්න ඔබේ දෑතින් සාදාගත් ලස්සන සාරියකින් හැඩ වෙන්න හිතවතියකට තෑගි දෙන්න විතරක් නෙවෙයි පුංචි පහේ ස්වයං රැකියාවකට අත ගහන්නත් මෙය කදිම අදහසක් වනු ඇත. මේ ආකාරයට සාරි පමණක් නොව සාය ගවුම් බ්ලව්ස් හා ඇඳ රෙදි, කොට්ටා උර, මේස රෙදි ආදිය ද නිර්මාණය කරගත හැකිය. මෙහිදී අප යොදාගනු ලබන ටයි ඇන්ඩ් ඩයි (ගැට පඬු) බතික් ක්‍රමයෙහි විශේෂත්වය වන්නේ බතික් කලාව ඉගෙනීමට අත්පොත තැබූ කෙනකුට වුව ඉතා පහසුවෙන් මෙම නිර්මාණය කර ගැනීමට ඇති හැකියාවයි.

 

සාරිය නිර්මාණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

සුදු කපු රෙදි (පොප්ලින්)

යාර 7 ක් පමණ

ගැට ගැසීමට නූල් (මේ සදහා ශක්තිමත් නුල් වර්ගයක් භාවිතා කරන්න)

කෝස්ටික් සෝඩා මේස හැඳි 4ක්

හයිඩ්‍රෝ මේස හැඳි 4ක්

වර්ණක මේස හැඳි 2ක්

(මේ සඳහා අප යොදාගෙන ඇත්තේ vat ඩයි වර්ගයේ r s n blue වර්ණයයි. නමුත් ඔබ කැමැති වර්ණයක් භාවිතා කළහැකිය)

උණු ජලය මිලි ලීටර් 500ක්

ඩයි දියකර ගැනීම සඳහා භාජන දෙකක් සහ හැන්දක් (ප්ලාස්ටික් හැඳි මේ සඳහා භාවිතා නොකරන්න)

බේසම් දෙකක් (එක බේසමකට ඇල් ජලය ලීටර් 10 ක් දමාගන්න. අනිත් බේසම සාරිය සේදීම සඳහා)

අත් වැසුම් යුගලයක්

මුව වැසුමක්

පළමුව ජායාරූපයේ පෙනෙන ලෙස (1ඡායාරූපය) සාරියේ පොටට යෙදෙන කොටසට නූල් යොදා ගැට ගසා ගන්න. ඉන්පසු සාරියෙහි අනිත් කොටස් ද නූල් යොදා තදින් ගැට ගසා ගන්න. සාරියෙන් මතුකර ගැනීමට අදහස් කරන මෝස්තරයට අනුව සම්පූර්ණ සාරියම නුල් වලින් ගැට ගසා ගෙන අවසන්වු විට සාරිය දිස්වන ආකාරය 2 ජායාරූපයෙන් පෙන්වා ඇත. සාරිය නිර්මාණය කිරීමෙහි දෙවැනි පියවර වන්නේ නූල් වලින් ගැට ගසා ගත් සාරිය ජලයෙන් පොඟවා ගෙන අනවශ්‍ය ජලය මිරිකා ඉවත්කර ගැනීමය. මේ සඳහා බේසමකට ඇල් වතුර පුරවා නූල් වලින් ගැට ගසාගත් සාරිය එම වතුර බඳුනට දමා හොඳින් පොඟවාගෙන අනවශ්‍ය ජලය මිරිකා ඉවත්කර ගන්න. (3 ඡායාරූපය )

තුන්වැනි පියවර ලෙස අප ඉදිරිපත් කරන්නෙ වර්ණ සකස් කර ගැනීමේ ක්‍රියාවලියයි. මුලින්ම අත් වැසුම් සහ මුව වැසුම පැළඳ ගන්න.. ඉන්පසු ඩයි සෑදීමට ගත් භාජන වලින් එකක් ගෙන එයට උණු ජලය මිලි ලීටර් 250ක් දමන්න. එයට කෝස්ටික් සොඩා මේස හැඳි 4ක් දමා හැන්දෙන් දියකර පසෙකින් තබන්න. අනෙක් භාජනය ගෙන ඉතිරි උණු වතුර මිලි ලීටර් 250 එයට දමන්න. එම ජල බඳුනට හයිඩ්‍රෝ මේස හැඳි4 දමා හොඳින් දියකරන්න. ඉන්පසු එයට වර්ණක මේස හැකි 2 දමා දියකරන්න. දිය කරගත් හයිඩ්‍රෝ සහ ඩයි මිශ්‍රණයට පෙර දියකරගත් කෝස්ටික් සෝඩා මිශ්‍රණයද එක්කරන්න. එයහොඳින් මිශ්‍රකර ගන්න. (4 ඡායාරූපය)

මෙසේ සකස් කරගත් ඩයි මිශ්‍රණය අප පෙර ඇල් ජලය ලීටර් 10 ක් යොදා සකස් කරගෙන තිබුණ බේසමට දමා ජායාරූපයෙහි පෙනෙන ආකාරයට හොඳින් මිශ්‍රකර ගන්න. හතර වැනි පියවර වන්නේ සාරිය වර්ණ ගන්වා ගැනීමයි. නූල් ගැට ගසා ගත් සාරිය සකස් කරගත් ඩයි බේසමට දමා මිනිත්තු 20 ක් පමණ තබන්න.(5 ඡායාරූපය)
 ඉන් පසුව සාරියෙහි අනවශ්‍ය ඩයි ඉවත්කර සෝදා ගැනීමට ගත් බේසමට වතුර දමා සාරිය සෝදා අනවශ්‍ය ඩයි ඉවත් කරගන්න. (6 ඡායාරූපය) දැන් ඡායාරූපයේ පෙනෙන ආකාරයට සාරියෙහි ගැට ගසා ඇති නුල් ඉවත්කරන්න.(7 ඡායාරූපය)
 නූල් ඉවත් කිරීමෙන් පසු නැවත වරක් සාරිය පිරිසිදු වතුරෙන් සෝදා (8 ඡායාරූපය) මඳ අව්වේ වේළා ගන්න. (9  -10 ඡායාරූප)
 
 
ඡායා - ආසිරි උපේන්ද්‍ර ඩයස්
 
 
ඉදිරිපත් කිරීම kenuri batik  ආයතනයේ අධිපතිනි
එච්. චන්දිමා ද සිල්වා