අලංකාර මැස්මකට මේ දැනුමත් අත්‍යවශ්‍යයි

අප්‍රේල් 4, 2022

 

මහන මැෂිමක් කියන්නේ මුදල් මවන යන්තරයක් බව මේ ලිපි පෙළ ආරම්භයේදීම කතා කළා මතක ඇති. එරංග රණසිංහයන් කළ ඒ දැනුවත් කිරීම මොන තරම් සත්‍යයක් ද කියලා ප්‍රත්‍යක්ෂ වුණා පසුගිය සති අන්තයේ දී. පුතාට පාසල් නිල ඇඳුම් දෙකක් මසා ගැනීමට ටවුන් එකේ ටේලර් ෂොප් හතරකට ගියා.

 

හැමෝම බිසී. සති දෙකකට එහා දින දුන්නේ. ඊළඟ අවුරුදු නිවාඩුව ළඟ ළඟම නිසා එච්චර කල් අරින්න බැරි නිසාත් ගෘහස්ථව මැහුම් ශිල්පයේ යෙදෙන කාන්තාවන් තුන් දෙනෙක් ළඟට ගියා. ම්හු... එයාලටත් වැඩ ගොඩ ගැහිලා. යාන්තම් අටවැනියා දින දෙකකින් ලබා දෙන්න වැඩේ බාර ගත්තා. එහෙම වුණේ ඇයට වැඩ අඩු නිසා නෙවෙයි. අක්කාගෙ ක්ලාස් මේට් කෙනෙක් නිසා. ආර්ථික අර්බූදය ගැන කතා කරන අතරේ එයා මෙහෙම කතාවක් කිව්වා.

“අද කාලෙ තරුණ ගැනු දරුවො මැහුම්, ගෙතුම් ඉවුම් පිහුම් ඉගෙන ගන්න ලොකු උනන්දුවක් නැහැ. ඒත් මේවා ගෙදර ඉඳන් ලොකු ආදායමකට යන්න පුළුවන් වැඩ... මල්ලිට කිව්වාම මොකද.... අයියා ගන්න පඩිය වගෙ දෙගුණයකට වඩා මම හම්බ කරනවා. උදව්වට එන ළමයටත් හොඳ පඩියක් ගෙවනවා. නැත්තං කොහෙද අද කාලෙ ඔළුව උස්සාන ඉන්නෙ...

ඒ අක්කාගෙ මහත්තයා පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙක්. මාසෙ ආදායමට ලැබෙන ගණන හිතාගන්න පුළුවන්නෙ.

හොඳයි එහෙම නම් අපි බලමු අද ඔබට ලැබෙන්නේ මොනවගේ දැනුමක් ද කියලා.

ඉඳිකටුව දක්වා පිළිවෙළින් නූල ගෙන ආපසු එක්වරම නුල අමුණා ගන්නට යන්න එපා. බොහෝ දෙනෙක් කරන්නේ නූලේ කෙළවර දතින් කඩා දෙතොලට තබා නූල් අග්‍රය රවුම් කර ගැනීමයි. එහෙම නෙමෙයි. මෙහෙම කරන්න.

* නූල් අග්‍රය ට්‍රිමර් එකක් හෝ තියුණු කතුරකින් නූල ඇලයකට සිටින සේ කපන්න. එවිට නූල් අග්‍රය ඉතිරී යාමකින් තොරව, පහසුවෙන් ඉඳිකටු සිදුරෙන් ඇතුළු කරගැනීමට හැකියාව ලැබෙනවා. මෙහිදී ඉඳිකටු සිදුරේ වම් පසින් නුල ඇතුළු කර, අඟල් හතරක පමණ ප්‍රමාණයක් දකුණු පසින් පිටතට ගන්න. ඉඳිකටුවට නූල දැමීමට ප්‍රථම පුට් එක පහතට කර තබා ගැනීමට අමතක කරන්න එපා.

උඩ සහ යට නූල් බුරුලට මැසීමට බලපාන හේතු පිළිබඳ පසුගිය සතියේ දී කතා කළා. මේ දෙපැත්තේම නූල් කැඩෙන්නට බලපාන්නෙ මොන විදිහෙ කාරණාද කියලා.

 

මැෂිමේ යට නූල කැඩීමට හේතු

මෙය සිදුවන්නේ කලාතුරකිනි. ඒ සඳහා බලපෑ හැකි හේතු පහත දැක්වෙයි.

 

01. බොබිනයේ නූල පහසුවෙන් ඇදී නොඑන තරමට තදවීම.

02. නුල පරණවීම සහ අතිශය සිහින් වීම.

03. නූල අක්‍රමවත්ව ඔතා තිබීම.

 

උඩ නූල කැඩීයයාමට බලපාන සාධක

 

මෙය බොහෝ විට ආධුනිකයන්ට

අත්විඳීමට සිදුවන තත්ත්වයක්

විදිහට පෙන්වා දෙන්නට පුළුවන්.

එහිදී...

* නිවැරැදි අයුරින් නූල අමුණා නොතිබීම

* නූල පමණට වඩා තදවීම

* නූල සිහින් හෝ පරණ වීම

* ඉඳිකටුව වැරැදි ආකාරයට සවිකර තිබීම

* නූල පාලනය කරන දුනු සහිත කම්බිය කැඩීම හෝ ඇදවීම

* බොබිනයේ නූල් තදින් ඔතා තිබීම

* බොබින් කෝෂයේ ප්ලේට් එක ගෙවී තිබීම

* නූල දිරා තිබීම

* ඉඳිකටුවේ සිදුරට වඩා නූල මහත්වීම  මැෂින් ඉඳිකටුව කැඩෙන්නේ ඇයි?

 

ඒ වගේම යමක් මැසීමේදී ඉඳිකටුව කැඩීයාම හරිම අපහසුවට පත්වන දෙයක්. මැෂින් ඉඳිකටුව කැඩෙන්නේ ඇයි? ඒ සඳහා හේතු ගණනාවක් බලපෑ හැකියි.

* රෙද්දේ ප්‍රමාණයට වඩා ඉඳිකටුව සිහින් වීම

* ඉඳිකටුව ඇදවීම

* නූල ඉඳිකටුවට වඩා මහත්වීම

* මහනවිට මැහුම තදින් ඇදීම

* නියමිත ඉඳිකටු භාවිත නොකිරීම

* ඉඳිකටුව ප්‍රමාණයට වඩා දික්වීම

* ඉඳිකටුව මැස්ම තුළ තිබියදීම රෙද්ද යන්ත්‍රයෙන් ඉවතට ඇදීම.

ඉඳිකටුව කැඩී ගියහොත් මේ කරුණු වලින් එකක් හෝ කිහිපයක බලපෑම නිසා විය හැකි බව දැන් ඔබ දන්නවා.

ඒ වගේම මහන කෙනකු අපහසුවට පත්වන තවත් කාරණාවක් වන්නේ මහන රෙද්ද මැෂිම අතරින් පහසුවෙන් ඇදී නොයෑමයි.

 

මැස්ම මැෂිම අතරින් පහසුවෙන් ඇදී නොයන්නේ ඇයි?

* ඔබ මැසීමට තෝරා ගත් රෙද්ද මත පීඩන පාදය තැබූවිට වුවමනා ප්‍රමාණයට වඩා තදවීම හෝ රෙද්ද ඉතාම සියුම් වීම

* පීඩන පාදයට යටින් ඇති දැති තට්ටුව නියම ප්‍රමාණයට වඩා යටින් සිටින සේ සවි කිරීම හෝ එම දැති ගෙවීයෑම

* මහන රෙද්දේ ඉටි ගතියක් තිබීම

එයට හේතුව විය හැකියි.

 

එසේම මහන රෙද්ද රැලි ගැසීමත් මහන කෙනා අපහසුවට පත්කරවන කරුණක්. මහන රෙද්ද රැලි ගැසෙන්නේ කුමන හේතුවකින්ද?

* රෙද්දට වඩා මහන නූල ඝනකම් වීම

* මැහුම පමණට වඩා දිග වැඩිවීම

* ඉඳිකටුවේ තුඩ මොට්ටවීම

 

 

ලබන සතියේ තවත් කොටසක්