පුංචි දෝණි හැඩකරනා හරිම කදිම විලාසිතා

පාසල් නිවාඩු කාලයේ ආදරණීය දෝණිට ඇඳුමක් මසමු
දෙසැම්බර් 12, 2022

 

සැහැල්ලු ගමනට බිමනට කදිම කලිසමක් සහ බ්ලවුසයක් දෝණිත් වැඩි කැමැත්තක් දක්වාවි පුංචි පැටවුන්ට තමන්ගෙම දෑතින් ඇඳුමක් වහල දෙන්න හැකි නම් කෙතරම් අගනේද? උදාවන උස සමය නිවාඩුවක් ගත කරන්නට විනෝද චාරිකාවක් යන්නේ නම් පුංචි දෝණිට මේ ඇදුම කදිමයි. ඇයට ඉතා පහසුයි. හැමදේම මිල වැඩි කාලෙක මේ ඇඳුම අඩු පිරිවැයකින් මසා ගන්නත් පුළුවන්.

 

අද අපි බලමු මේ ඇඳුම මසා ගන්නේ කොහොමද කියලා.

 

මේ සඳහා අවශ්‍ය මිමි:-

උරහිස සඳහා අඟල් 12

කරවට සඳහා අඟල් 11

ඉණ දක්වා උස සඳහා අඟල් 12

උස සඳහා අඟල් 18

පපුවවට සඳහා අඟල් 26

ඉනවට සඳහා අඟල් 24

උකුළවට සඳහා අඟල් 28

 

පළමුව බ්ලවුසය සඳහා සුදුසු රෙදි වර්ගයක් තෝරා ගන්න. බ්ලවුසයේ ඉදිරිපසට ප්ලිට් තබා ඇත. එය ඇඳුමේ රේද්දෙන්ම වාසි තබා කපාගැනිමට හැකියාව ඇත.

පතරොම සාදා ගැනිම සඳහා නැම්මට තබා ගන්න. ඉහලින් හරහට රේඛාවක් අඳින්න එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බේදා එම පිළිතුරට මැහුම්වාසි අඟල් 1/2 ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. උරහිසේ සිට පහතට මසා ඇති ප්ලිට් එක සඳහා අඟල් 1 ක් හෝ අඟල් 1.5 ක් එකතු කරගන්න. එය AB වේ. B සිට අඟල් 1 1/4 ක් පහත් කර A ලක්ෂ්‍යයට යා කරන්න. එය AC වේ.

කරවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AD වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය AC රේඛාවේ හරහට ලකුණු කරන්න. එය AE වේ. DE යාකර මූලික කර අදින්න. ( මුලික කර ප්ලිට් මැසු පසු නැවතත් බලන්න. වෙනසක් ඇතිනම් ලකුණු කර කපාගන්න.)

E සිට පහතට ඉණ දක්වා උස හා සම්පූර්ණ උස පහත් කර හරහට රේඛා අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බේදා එම පිළිතුර A සිට පහතට ලකුණු කරන්න. එය AF වේ. හරහට රෙඛාවක් අඳින්න. එය අත්කට රේඛාව යි. අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි හා බුරුල සඳහා අවශ්‍ය නම් එකතු කර අත්කට රෙඛාවේ හරහට ලකුණු කරන්න එය FG වේ.

ඉණවට ප්‍රමාණය හතරෙන් බේදා එම පිළිතුරට මැහුම් වාසි එකතු කර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය HI වේ.

උකුළවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි එකතු කර උකුළ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය JK වේ.

GI K යාකර අංශය අදින්න. අත්කට වක්‍රය ඇඳිම සඳහා C සිට අත්කට රේඛාවට කෙලින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍ය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මෙ සිට මැද ලක්ෂ්‍ය දෙසට ලකුණු කරන්න. C සිට එම ලක්ෂ්‍ය කැපීයන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය ඇඳගන්න.

ඉදිරිපස විවරය සඳහා අඟල් 5 ක් 6ක් පමණ පහතට කපාගන්න.

 

පසුපස

පසුපස සඳහා නැම්මට තබාගන්න. ප්ලිට් කොටස සඳහා එකතුකරන ලද පරතරය අතහැර කර ගැඹුර අඟල් 1ක් හෝ අඟල් 1.5 ක් පහත් කර ඉදිරිපස ප්‍රමාණයට කපාගන්න.

 

අත

මේ සඳහා අවශ්‍ය මිමි:-

අත උස අඟල් 10

අත අගවට අඟල් 6

කැප් උස අඟල් 3

පතොරොම් අත්කට

අඟල් 5

අත සඳහා නැම්මට තබා ගන්න. ඉහළින් රෙඛාවක් අඳින්න. නැම්මෙ උඩ සිට පහතට කැප් උස පහත් කරන්න. එය AB වේ. හරහට රේඛාව අඳින්න. A සිට පහතට උස පහත් කන්න. එය AC වේ. හරහට රේඛාව අඳින්න. එය වාටිය නැම්ම රේඛාව යි. වාටිය රේඛාව සඳහා මැහුම් වාසි තබා වාටිය රේඛාව අඳින්න. පතරොමේ අත්කට ප්‍රමාණය A සිට හැඩේට ලකුණු කරන්න. එය AD වේ. එම රේඛාවේ මැද ලක්ෂ්‍ය ලකුණු කර අත්කට වක්‍රය අඳින්න. අත අග වට ප්‍රමාණය දෙකෙන් බෙදා එම පිළිතුරට මැහුම්වාසි එකතු කර වාටිය නැම්ම රේඛාවේ හරහට ලකුණු කරන්න. එය BEවේ. ED යා කරන්න.

අත අග බැන්ඩ් එක සදහා වෙනම කොටසක් කපාගතයුතුයි..

 

කලිසම

මේ සඳහා අවශ්‍ය මිමි:-

ඉණවට අඟල් 28

ගොල්ෆ උස අඟල් 6

දණහිස දක්වා උස අඟල් 12

උස අඟල් 21

 

රෙදි කොටස බලවාටියට නවාගන්න. අඟල් 1/2ක් මැහුම්වාසි තබා ඉණරේඛාව අදින්න. ඉණ රේඛාවේ සිට පහතට ගොල්ෆි උස හා සම්පුර්ණ උස පහත් කර හරහට රේඛා අදින්න. වාටිය සදහා අඟල් 1 1/2ක් තබා ගන්න. බලවාටියේ සිට ඉණ රේඛාවේ අඟල් 2 ලකුණු කරන්න. එය ED වේ. බලවාටියේ සිට ගොල්ෆි රේඛාවේ හරහට අඟල් 1 ක් ලකුණු කරන්න.එය ED වේ. ED යාකරන්න. ඉණවට ප්‍රමාණය හතරෙන් බෙදා ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය DF වේ. ඉණ මිම්මේ මැද ලකුණු කර එතැන් සිට වාටියට කෙළින් ඉරක් අඳින්න.

දණහිස වට හතරෙන් බෙදා එම පිළිතුර දණහිස රේඛාවේ මැද සිට දෙපසට ලකුණු කරන්න. කකුළවට හතරෙන් බෙදන්න එම ප්‍රමානය වාටිය නැම්ම රේඛාවේ සිට දෙපසට ලකුණු කරන්න. දෙපස හැඩකර ඇද මැහුම් වාසි තබාගන්න .

පසුපස සඳහා ගොල්ෆියෙන් අඟල් 1.5ක්ද වාටියෙන් හා දණහිස රේඛාවේ න් අඟල් 1ක්ද වැඩිකර අඳින්න.

මෙලෙසින් මසා ගනිමු.

බ්ලවුසයේ ප්ලිට් මසා කර සාදාගන්න.

අත අග කප් කොටස අල්ලා ගන්න.

ඉදිරිපස විවරයට පටි තබා මසා ගන්න. කර පේශින් කරන්න. දැන් අත අල්ලා අංශය මසන්න. කලිසමේ ඉදිරිපස ගොල්ෆි යට බොත්තම් ඇල්ලීම ට මසා ගන්න. දැන් පසුපස ගොල්ෆිය මසන්න. ඉන් පසුව දෙපස මසා ඉණපටිය අල්ලා ගන්න. දැන් වාටිය මසා ඇඳුම නිමා කර ගන්න.

උපදෙස්

මැහුම් උපදේශීකා

දිලුෂි දසනායක