නිකං කාලේ කන්නේ නැතුව ෆේස්බුක් බිස්නස් එකක් පටන් ගමුද?

මැයි 5, 2025

 

ෆේස්බුක් කියන්නෙ අද වෙද්දී ඉස්කෝලෙ යන පොඩි දරුවගේ ඉඳලා වයසක ආච්චිලා සීයලා වෙනකම් හැමෝම වගේ දන්න, පාවිච්චි කරන සමාජ ජාලා වෙබ් අඩවියක්නේ.

 

කොටින්ම ෆේස්බුක් කියන්නෙ මිනිස්සු අතරේ වැඩියෙන්ම ප්‍රසිද්ධ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක කිවුවත් වරදක් නැහැ. ඒ තරමටම ෆේස්බුක් කිවුවම නොදන්න, පාවිච්චි නොකරන කෙනෙක් නැති තරම්.

කාලයක් තිස්සෙ පාවිච්චි කළාට වැඩි දෙනෙක් මේ ෆේස්බුක් ගැන හුඟක් කාරණා ගැන දැනුම්වත් නැහැ. හැබැයි ෆේස්බුක් කියන්නේ විනෝදෙට පාවිච්චි කරන දෙයක්ම විතරක් නෙවෙයි, සල්ලි හොයන්න පුළුවන් හොඳ මාර්ගයක්. අද කියන්න යන්නේ ඒ ගැන.

 

ෆේස්බුක් පේජ් එකක් අත්‍යවශ්‍යයි

 

අද තමන්ගේ පෞද්ගලික ජීවිතයයි ෆේස්බුක් ගිණුමයි දෙකක් නෙවෙයි එකක් තරමටම සමීප වෙලා. උදේ නැඟිට්ට වෙලාවේ ඉඳන් රෑ නින්දට යනකම්ම ෆේස්බුක් එකේ උඩට පහළට යන අපිට ෆේස්බුක් පේජ් කීයක් නම් හම්බෙනවද? ඒ හැම එකක්ම වගේ මොකක් හරි බිස්නස් එකක් වෙනුවෙන් එහෙමත් නැත්නම් මූල්‍ය අරමුණක් වෙනුවෙන් කරගෙන යන ඒවා. ඒ විදිහෙ පේජ් එකක් ඔයාගේ ව්‍යාපාරයටත් හදාගන්න පුළුවන්නම් ඒක ව්‍යාපාරය ගැන ප්‍රසිද්ධියක් ලබා ගන්න වගේම අලුත් කස්ටමර් බේස් එකක් හදාගන්නත් හොඳ අවස්ථාවක්.

 

අප්ඩේට් එක වැදගත්

 

ෆේස්බුක් පේජ් එකක් හදනවා කියන්නේ තත්පර ගාණක වැඩක්. ඒ නිසා ඒක ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන එකක් නැහැ. හැබැයි පේජ් එකක් තිබ්බ පළියට බිස්නස් එක ගොඩ යයි කියලානම් හිතන්න එපා. බිස්නස් එකට ලස්සන නමක් දාලා, ලෝගෝ එකක් දාලා. ව්‍යාපාරයේ විස්තරත් එක්ක ටැග් එකක් දාලා.. ඕනෑම කෙනකුගේ ඇස් රඳවා ගන්න පුළුවන් විදිහට ආකර්ෂණීයව පවත්වාගෙන යන්න ඕනේ. අද පෝස්ට් එකක් ශෙයා කරලා තව සුමානයකින් පෝස්ට් එකක් ශෙයා කරලා හරි යන්නේ නැහැ. දවස ගාණෙම ටයිම් ෂෙඩුල් කරලා පෝස්ට් කිහිපයක්ම දාන්න. තමන්ගේ ව්‍යාපාරයට අදාළ ෆේස්බුක් ගෘෘප්වලටත් ඒවා ශෙයා කරලා වැඩි අවධානයක් අරගන්න.

 

බ්‍රෑන්ඩ් එකක්

 

ෆේස්බුක් එකේ අපිට බ්‍රෑන්ඩ් එකක් හදා ගන්න පුළුවන්. හොඳ නමක් හදා ගන්න පුළුවන්. එහෙම බලද්දී ෆේස්බුක් කියන්නේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්වල අංක එක. ෆේස්බුක් එකෙන් ඕ‍ෙනම දෙයක් විකුණගන්න පුළුවන්. ඉස්සරනම් අපි සල්ලි වියදම් කරලා පත්තරේ ඇඩ් එකක් දැම්මා. ෆේස්බුක් එකේ තියෙනවා ෆේස්බුක් මාකට් ප්ලේස් කියලා එකක්. ෆේස්බුක් මාකට් ප්ලේස් එකේ වැඩ කරන ගොඩක් බ්‍රෝකර්ස්ලා ඉන්නවා. වාහන විකුණන අය ඉන්නවා. ෆේස්බුක් මාකට් ප්ලේස් එක හරහා ගොඩක් ව්‍යාපාර සිදු වෙනවා. අපි ෆේස්බුක් දාන දේ මිනිස්සු අතරට යන්න නම් රීච් එකත් බලපානවා. ඉතින් රීච් එක හදාගන්න ඕනේ තමන්ම තමයි.

 

බූස්ටින්

 

ෆේස්බුක් පේජ් එකක් තියෙන ඕනෑම කෙනෙක්ට ලැබෙන තවත් අවස්ථාවක් තමයි බූස්ටින් කියන්නේ. පේජ් මීඩියා කියන්නෙත් මේකටමයි. හිතන්න ඔබ පොතක් ෆේස්බුක් හරහා විකුණනවා කියලා. ඒ දාන ෆොටෝ එක බූස්ටින් කිරීම හරහා පොත ඉතා ඉක්මනින් ප්‍රචාරය කරගන්න පුළුවන්. ඒ වගේම පුංචි පුංචි වීඩියෝ හදලා පේජ් එකට අප්ලෝඩ් කිරීමෙනුත් පේජ් එක වෙත බොහෝ දෙනකුගේ ආකර්ෂණය ලබාගත හැකිය. ඒ විතරක් නෙවෙයි මේ වීඩියෝවලින් සල්ලි හොයන්නත් පුළුවන්.

මේ හැමදේම එක්ක ටච් එකේ හිටියොත් ඔයාගේ පුංචිම පුංචි ව්‍යාපාරය දියුණු කරගන්න එක හිතන තරම් අපහසු නැහැ.