වර්ෂ 2025 ක්වූ July 14 වැනිදා Monday
පැයට ඉඳිආප්ප අටදහසක් හදන්න මාතලේ හදපු සුපිරි මැෂිම

ව්‍යාපාරික සාර්කත්වය කරා ළඟාවීමට නවින තාක්ෂණය බෙහෙවින්ම බලපාන සාධකයකි. "අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී." යනුවෙන් කුමාරතුංග මුනිදාසයන් පවසා ඇත්තේ බොහෝ ගැඹුරින් අපේ අනාගතය දකිමිනි. සැබැවින්ම අපේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීම අද වෙනදාට වඩා තදින්ම දැනෙයි.
උද්ධමනය ඉහළ යෑම හමුවේ පවුලේ ආර්ථික බර තදින්ම දැනෙන්නේ ගෘහිණියටය. ඒ් සඳහා විකල්ප සොයා ගැනීමේ හැකියාව ඇත්තේ ද ඇයටමය. ඒ් නිසාම පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අපේක්ෂාවෙන් තමුන්ගේ ව්‍යාපාරයක් හෝ රැකියාවක් පිළිබඳ බොහෝ ගෘහිණියෝ සිහින දකිති. මෙවන් සිහින දකින යුවතියන් නව තාක්ෂණය මුසුව තම ව්‍යාපාර දියුණු කර ගැනීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේද ගැන වැඩි උනන්දුවක් දක්වති.
පුංචි ජූස් බාර් එකක් කරන කාන්තාවකට පවා වර්තමානයේ තාක්ෂණය භාවිත කිරීමට සිදුවෙයි. එපමණක් ද නොවෙයි නිවෙසක කඩයප්පන් සාදන ගෘහිණියකට ද තම අැණවුම් ප්‍රමාණය ඉහළ නංවාගැනීමට නවීන තාක්ෂණයේ උපකරණ භාවිතයට යොමුවීමට නිරායාසයෙන්ම සිදු වී තිබේ. මෙවැනි පසුබිමක අපගේ තරුණී පාඨකයන් ද නිරතුරුවම මෙවැනි උපකරණ මිලදීගත හැකි ස්ථාන හා උපකරණ හා යන්ත්‍ර සාදන ආයතන ගැන අපගෙන් විමසති.
අපගේ සුවහසක් පාඨකයන්ගේ ඉල්ලීම හා උනන්දුව නිසාම එවැනි උපකරණ නිෂ්පාදනය කරන තරුණ ව්‍යාව්‍යාසයකයන් ගැන අපි දැනුම්වත් කරමු. මෙවර අප ඔබට හඳුන්වා දෙන්නේ ඉතාම ප්‍රයෝජනවත් නවීන උපකරණ නිෂ්පාදන රාශියක් සිදු කරන තරුණ ව්‍යාවසායකයෙකි. ඔහු කරනු ලබන්නේ විවිධ කෑම වර්ග, බයිට් වර්ග සෑදීම සඳහා යන්ත්‍ර නිර්මාණය කිරීමයි. පැයක් ඇතුළත ඉඳිආප්ප දෙදහසේ සිට අටදහස දක්වා සැකසිය හැකි ඉඳිආප්ප මිරිකන යන්ත්‍ර, ඉතාම අලංකාරව සකසන මල් මුරුක්කු මිරිකන යන්ත්‍ර, කුකීස්, වයින් බිස්කට් සාදන යන්ත්‍ර, ඉඳිආප්ප කලවම් කරන මැෂිම්, ලැවරියා සාදන මැෂිම්, රොටරි මිශ්‍රණ, දෙහි මිරිකන යන්ත්‍ර, ලී කැටයම් කපන යන්ත්‍ර ඇතුළු විවිධ වර්ගයේ යන්ත්‍ර රාශියක් නිෂ්පාදනය කරන ඔහු අපට හමුවුයේ මාතලේ යටවත්ත ග්‍රාමයෙනි. යසන්ත නිරෝෂන නම් මේ දක්ෂ ව්‍යවසායකයා තම හැකියාවෙන් උපන් රටට මෙහෙවරක් කිරීමට කැපවෙන මේ වටිනා කටයුත්ත ගැන අපට සඳහන් කළේ මහත් අභිමානයෙන්.
“මම උපන්නේ අම්පාර ගල්ගම කියන ග්‍රාමයේ. මුලින්ම මම සේවය කළේ ඕමාන් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශයේ. මට ඒ රටේ හොඳ වැටුපක් ලැබුණා. හොඳ වැටුපක් රැකියාවක් තිබුණාට මගේ හිතේ තිබුණු හීනය තමයි මගේ මවුබිම වෙනුවෙන් යමක් කරන්න ඕනේ කියලා. ඒ වගේම අලුත් යමක් නිෂ්පාදනය කිරීම. වසර හයක් කරපු රැකියාවට සමුදීලා මම ලංකාවට ආවේ අලුත් දෙයක් කරන්න.
ඇවිත් අලුත් යන්ත්‍ර සාදන්න පටන් ගත්තා. මුලින්ම මේ වැඩේට ලක්ෂ තුනක් වගේ මුදලක් මට වැය වුණා. තනියෙන් පටන් ගත්තු වැඩේ ටික කාලයක් ගතවෙන විට තවත් තරුණයෝ කිහිප දෙනෙක් සම්බන්ධ කර ගත්තා. මම මේ යන්ත්‍ර නිෂ්පාදනය කරන්නේ සේවාදායකයාගේ අවශ්‍යතාවය අනුවයි.
ඒ කියන්නේ තමුන්ගේ කර්මාන්තයට අවශ්‍ය කොයි තරම් ප්‍රමාණයේ උපකරණයක් ද කියලා අපට මුලින්ම සඳහන් කළාම පසුව ඒ උපකරණයට ලැබෙන ඇණවුමට අනුව එය නිර්මාණය කරනවා. ඊට පසුව ඒ සේවාදායකයා අපගේ ආයතනයට පැමිණ තමුන්ගේ ඉල්ලීමට අනුව අපේ නිර්මාණය සකස් කර තිබෙනවාද කියන පරීක්ෂා කර එයට තමුන්ගේ කැමැත්ත ලැබුණාට පසුව තමයි අපි යන්ත්‍රය අදාළ සේවාදායකයාට ලබා දෙන්නේ. උදාහරණයක් ලෙස පැයක් ඇතුළත ඉදිආප්ප දෙදහසක් සාදන යන්ත්‍රයක් අවශ්‍ය යැයි කවුරු හරි අපට ඇණවුමක් ලබා දුන්නොත් ඒ ඉල්ලීමට සරිලන ලෙසින් අපි සකස් කර දෙනවා.
ඒ වගේම එම උපකරණයට තවත් අවශ්‍ය වෙනත් අමතර ක්‍රියාකාරකම් සහිත අමතර කොටස් අවශ්‍ය බව සඳහන් කළොත් ඒ අනුව අපගේ නිෂ්පාදනය සකස් කර අදාළ සේවා ආයතනයට ප්‍රවාහනය කර දීමටත් කටයුතු කරනවා.
මේ වනවිට මා සමඟ තවත් තරුණයන් 15ක් පමණ සේවය කරනවා. මේ සෑම සේවකයෙකුගේම අදහස් හා තාක්ෂණ දැනුම මුසු කරමින් තමයි අපි මේ නිර්මාණ සිදු කරන්නේ. අපේ සාමූහික උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි මේ සෑම නිෂ්පාදනයක්ම සේවාදායකයාගේ අතට පත් වෙන්නේ. මේ වන විට අපගේ ආයතනයේ විවිධ වර්ගයේ යන්ත්‍ර හාරසියයකට වඩා අපට නිෂ්පාදනය කරන්න හැකි වී තිබෙනවා.
ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම අපේ රට වෙනුවෙන් යමක් කර විදේශ රටවලටත් අපගේ යන්ත්‍ර අපනයනය කිරීමට මට හැකි වී තිබෙනවා. මේ වනවිට රටවල් පහකට වඩා වැඩි සංඛ්‍යාවකට අපේ නිෂ්පාදනය අපනයනය කරමින් අපේ රටට ඩොලර් උපයන ගැනීමට ලැබීම තමයි මම ලබපු ලොකුම ජයග්‍රහණය”
දුමින්ද කාරියවසම්