ගර්භණී සමයට ගැළපෙන සැහැල්ලු ඇඳුම් අඳින්න කාලය ඇවිල්ලා

චූටි පැටියා බඩේ දී ඇඟිලි උරනව බලන්න කැමැතිද?
ජූලි 7, 2021

 

 

දැන් බබා ටික ටික දඟලන්න පටන් අරන්. හැබැයි අම්මට එකවරම මොකක්ද මේ කියලා හිතා ගන්න අපහසුයි. සිනිඳු බෝලයක් එහෙමත් නැත්නම් වායු බුබුලක් එහාට මෙහාට ගමන් කරනවා කියලයි හිතෙන්නේ.

උදෑසන අපහසුතා ක්‍රමක්‍රමයෙන් පහව යන බව හිරණ්‍යාට ටිකෙන් ටික දැනෙන්න වුණා. ඒත් එක්කම අමුතු සැහැල්ලුවකුත් දැනුණා.

"සේමිත ඔයා දන්නවද දැන් අපේ පුංචි බබාට සති 13 කුත් වෙලා."

 

"ඔව්, ඔව්. දැන් ඔයාගේ පෙනුම වෙනස්. පුංචිම පුංචි බණ්ඩියක් පේන්න පටන් අරන්. දැන් නම් ඔයාට ගවුම් අඳින්න පටන් ගන්න වෙයි."

"ඔව් මාත් හිතුවා. මම කැමැතිම නැහැ බඩ එද්දි කලිසම් අඳින්න. විශේෂයෙන්ම වැඩට යද්දි."

"හෙට සෙනසුරාදානේ. අපි උදේට බෙල්ලන්විල ගිහින් එහෙමම ෂොපින් කරමු. ඔෆිස් අඳින්නත් එක්ක එකපාර ගවුම් 3, 4 ක්ම ගමු."

"හිරණ්‍යාට ආස හිතුණා. මැටර්නිටි ෆ්‍රොක් එකක් අඳිද්දි ඒ අම්මා දිහාව හැමෝම බලන්නේ හරිම ගෞරවාන්විත හැඟීමකින්. සමහරු හිරට හිරේ කලිසම් ඇඳලා ඒ ගෞරවාන්විත බව නැති කරගන්න හැටි ගැනත් ඇයට හිතුණා."

සති 13 පටන් ගැබිනිවියේ දෙවැනි ත්‍රෛමාසිකය පටන් ගන්නේ. ගබ්සාවක් වීමට ඇති කාලය බොහෝ දුරට මඟහැරිලා ගිහින් කිව්වොත් හරි.

මේ වෙද්දි චූටි පැටියාගේ උස සෙන්ටිමීටර් 8 ක්. කලලයේ බර ග්‍රෑම් 28 ක් වගේ. කලලයේ හිස කොහොමටත් සිරුරත් එක්ක බලද්දි ටිකක් ලොකුයිනේ. කලලය වගේ හතර ගුණයක් විතර හිසේ ප්‍රමාණය. බබා දැන් පුංචිකමට ඇඟිල්ල උරන්නත් පටන් අරන්. අහලා ඇතිනේ අම්මගේ බඩේ ඉද්දි බබාගේ ඇඟේ රෝම පිරිලා කියලා. හැබැයි බබා එළියට එද්දි නම් මේ ඔක්කොම වගේ හැලිලා. මෙන්න මේ රෝම එන්න පටන් ගන්නෙත් මේ කාලේදි වැදෑමහ ඇතුළේ තිබෙන වතුර එහෙමත් නැත්නම් උල්බ තරලය දැන් බබා බොනවා. එය නැවත මුත්‍රා මඟින් පිටවෙනවා. මේ විදිහට එම ක්‍රියාවලියත් චක්‍රයක් වගේ සිදු වෙනවා.

දැන් අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයක් කළොත් බබා ඇඟිලි උරන හැටි බලන්න පුළුවන්.

"අනේ මට ආසයි බලන්න. කවද්ද ආයේ ස්කෑන් එක තියෙන්නේ."

සේමිතට ඉවසිල්ලක් නැහැ.

"ඉන්න, ඉන්න. තව සති දෙක තුනක් තියෙනවා." හිරණ්‍යා එහෙම කිව්වට මොකද එයාටත් ඉවසිල්ලක් නැහැ.

මේ වෙද්දි බබාගේ අවශ්‍යම අංග සියල්ලම වගේ සැකසී අවසන්. පුංචි පුතෙක් නම් වෘෂණ කෝෂ ත්, හුරුබුහුටි දුවෙක් නම් ඩිම්බ කෝෂ ත් සම්පූර්ණයෙන් ම වැඩී අවසන්. ඇත්තටම කීවෝත් ඇගේ ඩිම්බ කෝෂ තුළ ඩිම්බ මිලියන දෙකකටත් වඩා වැඩී අවසන් කීවෝත් ඔබට පුදුමත් හිතේවි. නමුත් උපතේ දී මේ ඩිම්බ ප්‍රමාණය භාගයකටත් වඩා අඩුවේවි.

හැබැයි තවමත් හරියටම දුවෙක් ද පුතෙක් ද කියලා නිශ්චිතවම කියන්න අපහසු වේවි.

දැන් බබා ටික ටික දඟලන්න පටන් අරන්. හැබැයි අම්මට එකවරම මොකක්ද මේ කියලා හිතා ගන්න අපහසුයි. සිනිඳු බෝලයක් එහෙමත් නැත්නම් වායු බුබුලක් එහාට මෙහාට ගමන් කරනවා කියලයි හිතෙන්නේ. කලින් සතියේ කිව්වා වගේ කුළුඳුල් මවට නම් මෙය දැනෙන, නොදැනෙන තරම්. ඒ ඇයට ඒ සම්බන්ධ අත්දැකීම් නොමැති නිසා.

කුස පෙනෙන නොපෙනෙන ප්‍රමාණයට තිබුණත් දැන් කුසේ ඉන්න පුංචි පැටියාව නිතර අතගාන්න, ආදරණීය ලෙස අමතන්න පටන් ගන්න කාලය හරි. මේ දේ නම් බැහැර කරලන්න හිතන්නවත් එපා. දරුවා කුසෙන් පිටතට ආ පසුත් කුසේදී මේ කාලේ ඉඳන් ඇසුණු ශබ්දවලට බෙහෙවින්ම සංවේදී වේවි. හරිම හුරුබවක් දැනේවි. අම්මා පමණක් නොව තාත්තා ගැනත් ආදරණීය බවක් දක්වාවි.

සාමාන්‍යයෙන් පෙරදිග රටවල අය පුරුදුවෙලා සිටින්නේ මුල් ත්‍රෛමාසිකයේ දී ගර්භණීබව සඟවා ගෙන ඉන්න. පිටතට නොපෙන්වා ඉන්න. ඒත් මින් ඉදිරියට නම් තවදුරටත් රහසක් ලෙස තබාගත් දේ හෙළි කරන්නටම වේවි.

මේ වෙද්දි ගර්භණි මව මුලදී ගත කළ කාලය අමතක කරලා සැහැල්ලු කාලයක් ගත කරන්නේ දරුවා ඉපදී විනාඩි කිහිපයක් ඇතුළත ලබා දිය යුතු මවුකිරිවල අඩංගු කොලෙස්ට්‍රම් නිපදවීම පටන් අරන්. කහ හෝ තැඹිලි පැහැයෙන් ඇලෙන සුළු ස්වභාවයෙන් මේවා වරින්වර පිටවේවි. වේදනාවක් නැතිනම් එය සාමාන්‍ය දෙයක්. පියයුරුවල ඇරියෝලාව හෙවත් තද පැහැති කොටසේ පැහැය තරමක් තද පැහැයට හැරීම, ඇරියෝලාව වටා ගැටිති ඇතිවීම සමහර මවුවරුන් වෙතින් දැකගත හැකියි. එය ඉතාම සාමාන්‍ය තත්ත්වයක්.

මාතෘ සායන කරා යෑම අතිශය වැදගත්. එහෙත් කෝවිඩ් වසංගතයත් සමඟින් ඒවා නිසිලෙසම සිදු නොවෙන්නට පුළුවන්.

දැන් ගර්භණී මව්වරුන්ටත් සයිනෝෆාම් එන්නත දෙන්න පටන් අරන් නේ. මේ ඒ සඳහා හොඳම කාලය. මුල් මාස තුනේ දී ඒ පිළිබඳ යම් චකිතයක් තිබුණත් දැන්නම් බයවෙන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිතුමිය යොමු කරන තැන්වලින් පමණක්, බොහෝවිට MOH කාර්යාල වැනි ඔබට දැනුම්දෙන ස්ථානයෙන් පමණක්ම එන්නත ලබා ගන්න. කිසිසේත්ම සාමාන්‍ය පුද්ගලයන් එන්නත් ලබා ගන්න තැන්වලින් එන්නත ලබාගන්න උත්සාහ කරන්න එපා.

මේ සමඟින් වෛද්‍යවරයා ලබාදෙන යකඩ, කැල්සියම්, පණු බෙහෙත්... මේ දේවල් ගැනීමත් නොවැරදීම සිදු කරන්න. ගැබිනි මවුවරුන්ට ත්‍රිපෝෂ ලබාදීමත් මේ කාලය වෙද්දි ඇරඹේවි.

සායනය වෙත යන සෑම වාරයකදීම මුත්‍රා සාම්පලය රැගෙන යන්නට අමතක කරන්න එපා.

 

 

 

අදහස් දැක්වීම

ද සොයිසා කාන්තා රෝහලේ

නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය

රුවන් පතිරගේ