විස තියෙන්නෙ පොල් තෙල්වල විතරද ?

ඇෆ්ලටොක්සින් ශරීර ගතවීම හඳුනා ගන්නේ කොහොම ද?
අප්‍රේල් 14, 2021

 

බක් මහ සැනකෙලි සමයේ පොල් තෙල් කියන්නේ කොහාගේ ගී හඬ, එරබදු මල් වගේ නැතිවම බැරි දෙයක්. එසේ තිබියදී විස පොල් තෙල් ගැන ලැබුණු ආරංචිය ගෘහණියකට බක් මහ අකුණක් වගෙයි.

පොල් තෙල් නැතුව කැවිලි හදන්න බැහැ. රසට කෑම උයන්නත් බැහැ. ගෘහණියට වෙලා තියෙන්නේ “ගෙදර හිටියොත් අඹු නහී. මඟ හිටියොත් තෝ නහී“ වාගේ වැඩක්. කෝවිඩ් වසංගත සමයේ ආ අලුත්ම වසංගතයක් වන්නේ ඇෆ්ලටොක්සින්. ඇස්පෙර්ගිලස් ෆ්ලේවර්ස් හෝ ඇස්පෙර්ගිලස් පැරසිටිකස් දිලීරය මඟින් නිකුත් කරන මේ විස පොල් තෙල්වලට එකතු වුණේ කොහොමද? ඇස්පෙර්ගිලස් ෆ්ලේවර්ස් හෝ ඇස්පර්ගිලස් පැරසිටිකස් මඟින් නිකුත් කරන මේ විස, දිලීරය වර්ධනය වුණු ආහාර මඟින් මිනිසාටත් සතුන්ටත් ශරීරගත වෙනවා. අපේ රට වගේ ඉහළ උෂ්ණත්වයක්, ඉහළ ආර්ද්‍රතාවක් ඇති රටවල මේ දිලීර වර්ධනය වුණු ආහාර වැඩිපුර දක්නට ලැබෙනවා. නරක් වුණු වියළුණු එළවළු, ධාන්‍ය, ඇටවර්ගවල මේවා ස්වභාවයෙන්ම අඩංගුයි. නියඟ, කෘමි හානි, නිසි පරිදි ආහාර ද්‍රව්‍ය ගබඩා නො කිරීමත් ඇෆ්ලටොක්සින් සෑදීමට හේතු වෙනවා. සියලුම වගාවන්වල ඉහත කී හේතූන් නිසා මේ විස දක්නට ලැබුණත් වැඩිපුර හමු වන්නේ ධාන්‍ය, ඇට වර්ග හා ඒවායින් සෑදූ නිෂ්පාදනවලයි. ඇෆ්ලටොක්සින්වලින් දූෂිත ධාන්‍ය පරිභෝජනය වැඩි පළාත්වල කිරිවල පවා මේවා අඩංගු වී තිබෙන්න පුළුවන්. කෝපි, සහල්, කුළුබඩුවල නිසියාකාරව ගබඩා නො කළ විට දිලීර පහසුවෙන් සෑදෙන්න පුළුවන්. උණුසුම, ආර්ද්‍රතාව පවතින පරිසරයක ගබඩා කිරීම ඇස්පෙර්ගිලස් ෆ්ලේවර්ස් හෝ ඇස්පෙර්ගිලස් පැරසිටිකස් දිලීර වර්ධනය වීමට හේතුවෙනවා. පිටරටින් ගෙන්වන ලද පොල් තෙල්වලට ඇෆ්ලටොක්සින් ආවේ ඒවා පිළියෙල කළ කටු පොල් හෝ සූරියකාන්ත හෝ පොල් ගෙඩිවල වර්ධනය වී තිබුණු ඇස්පෙර්ගිලස් ෆ්ලේවර්ස් දිලීරයෙන්. පොල් තෙල් කීවාට අද අපට වැඩිපුර මිලදී ගන්න ඇත්තේ පිරිසුදු පොල් තෙල් නො වෙයි. කටු පොල් වැනි ඇටවලින් හිඳ ගත් තෙල් මිශ්‍ර කළ තෙල් තමයි.

දිගින් දිගටම ඇෆ්ලටොක්සින් ශරීරගත වීම බරපතළ සෞඛ්‍ය තර්ජනයක්.

අධි රුධිර පීඩනය මෙන් මෙය ද නිහඬ මාරයෙක්. ඇෆ්ලටොක්සින් දෛනිකව ශරීරගතවී කලක් යන තුරුම කිසිදු රෝග ලකුණක් ඇති වන්නේ නැහැ. නො දැනුවත්වම මරණයට ළං වෙනවා.

* මෙය පිළිකා කාරකයක්. මිනිස් සිරුරේ සියලුම අවයවවලට බලපානවා. විශේෂයෙන්ම අක්මාවට, වකුගඩුවලට අහිතකරයි.

නිතර ඇෆ්ලටොක්සින් ශරීරගත වන්නන් අතර අක්මා පිළිකා සුලබයි. අක්මා පිළිකාවක් ඇති විට බර අඩු වෙනවා. කෑම අරුචිය, උදරයේ ඉහළ පෙදෙසේ වේදනාව, වමනය, ඔක්කාරය, වෙහෙස, දුර්වල බව, උදරය ඉදිමීම, සම , ඇස් කහ වීම, මල සුදු පැහැයට පිටවීම අක්මා පිළිකාවක ලකුණුයි.

අක්මා පිළිකාවට පමණක් නොව අක්මාව අකර්මණ්‍ය වීමටත් මේ විස හේතු වෙනවා. විශාල වශයෙන් ඇෆ්ලටොක්සින් ශරීරගත වුණොත් අක්මාව අකර්මණ්‍ය වෙනවා. කහ වීම, වෙහෙස, ඔක්කාරය, මරණය අක්මා අකර්මණ්‍යතාවේ ප්‍රතිඵලයි.

* නූපන් දරුවන්ටත් ඇෆ්ලටොක්සින් බලපානවා. උපත් ආබාධ සහිත දරුවන් බිහිවීමට එක් හේතුවක් වන්නේ මේ විසයි.

දරුවන් කුරු වීමට, දිගින් දිගට ඩයරියා පැවතීමට, මන්දපෝෂණයට, නිතර ආසාදනවලට ගොදුරු වීමට ඇෆ්ලටොක්සිනුත් හේතුවක්. ඇෆ්ලටොක්සින් ශරීරගතවී පැය 24 ක් තුළ මුත්‍රා පරීක්ෂණයකින් හඳුනා ගන්න පුළුවන්. සති ගණනක් හෝ මාස ගණනක් පුරා විස ශරීරගතවී ඇත්දැයි රුධිර පරීක්ෂණයකින් හඳුනා ගන්නවා.

* ඇෆ්ලටොක්සින් අපේ ප්‍රතිශක්තිය දුර්වල කරනවා. එනම් පහසුවෙන් ලෙඩ රෝගවලට අපව ගොදුරු වෙනවා. කෝවිඩ් - 19 වැනි වසංගතයක් පවතිද්දී මෙය ඉතා භයානක තත්ත්වයක්.

පොල් තෙල් , පරිප්පු, මිරිස් ආදී විවිධ දේවල ඇෆ්ලටොක්සින් අඩංගු බවට කලින් කලට ලැබෙන ආරංචි ඒ කනින් අසා මේ කනින් පිට කරන්න බැහැ. අප ආහාර තේරීමේදී මුදලටත් වඩා දිලීර නැති ආහාර තේරීමට මුල් තැන දිය යුතුයි.

 

 උපදෙස් ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවකිනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.